දුආ ප්‍රාර්ථනා


ඔබගේ දුආ ප්‍රාර්ථනා පිළිගැනීමට, යම් යම් කොන්දේසි සපුරාලිය යුතුය. ඒවා ගැන ඔබ සැලකිළිමත් වන්න.


1. අල්ලාහ් හැර වෙන කිසිවකුට ආරාධනා නොකරන්න. 

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "ඔබ ඉල්ලන්නේ නම්, අල්ලාහ්ගෙන් (පමණක්) ඉල්ලන්න, ඔබ උදව් සොයන්නේ නම්, අල්ලාහ්ගේ උපකාරය පතන්න." (තිර්මිදි 2516)

නියත වශයෙන්ම මස්ජිදයන් සියල්ල අල්ලාහ්ගේ (නැමදුම) වෙනුවෙන්ම ඇත්තේය. එබැවින් (ඒවායේ) අල්ලාහ් සමග වෙනත් කිසිවෙකු (නැමදීමට නාමය පවසා) ආරාධනා නොකරනු. (72:18)

අපි ඔබව පමණක් නමදින්නෙමු. ඔබෙන් පමණක් පිහිට පතන්නෙමු (අල් ෆාතිහා 1:5)

2. ෂරියාහි හෙවත් ඉස්ලාමීය උගැන්වීම හරහා නියම කර ඇති ආකාරයන්ගෙන් අල්ලාහ්ට සමීප වීමට උත්සාහ කරන්න. (පළතුරු ආදිය පූජා කර දෙවියන්ගෙන් පිහිට පැතීම වැනි දෑ ඉස්ලාමය තුල උගන්වා නැත). 

3. ඉක්මන් ප්‍රතිචාරයක් සෙවීමෙන් වළකින්න. මක් නිසාද යත්, දෙවිඳුන් ගේ ප්‍රතිචාරය ඔබ සිතනවාට වඩා (ඔබට වඩාත් යහපත්) වෙනත් ආකාරයකට ලැබෙනවා වෙන්නත් පුළුවන. ඔබ ඔබගේ ඉල්ලීම හැකි තරම් දිගටම කරගෙන යන්න. එය ඔබටම යහපතකි.

4. ඔබේ දූආ ප්‍රාර්ථනා පාපය හෝ ඥාති සබඳතා බිඳ දැමීම සම්බන්ධව නොවිය යුතුය. ඔබටත් අන් අයටත් යහපත වෙනුවෙන් පමණක් දුආ ප්‍රාර්ථනා කරන්න. ඔබට සතුරු කෙනෙකු සම්බන්ධව නම් ඔහුගේ සතුරු කමින් ආරක්ෂාව ලබා දෙන ලෙසත් ඔහුටත් අල්ලාහ්ගේ තෘප්තිය දිනාගත් අයෙකු බවට පත්වෙන්න අවස්ථාව උදාකර දෙන ලෙසත් ප්‍රාර්ථනා කරන්න.

5. අල්ලාහ් ගැන ධනාත්මකව සිතන්න. ඔබ ඔබේ දෙවියන් ගැන හොඳින් සිතන්නේ නම් සහ ඔහුගෙන් හොඳම දේ බලාපොරොත්තු වේ නම් අල්ලාහ් ඔබට ඔහුගේ අනුග්‍රහය ලබා දෙනු ඇත.

6. ඔබ දුආ ප්‍රාර්ථනා ඉල්ලන අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන අවධානයෙන් හා සිහියෙන් සිටින්න. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "අල්ලාහ්ගෙන් අවධානය වෙනතකට යොමු වූ හදවතකින් කරන දූආ ප්‍රාර්ථනා වෙත අල්ලාහ් පිළිතුරු නොදෙන බව දැන ගන්න." (අත්-තිර්මිදි 3479)

7. ඔබේ ආහාර පාන සහ ඇඳුම් පැළඳුම් ආදීය නීත්‍යානුකූල ප්‍රභවයන්ගෙන් ලැබෙන බවට සහතික වන්න. වරදක් වී ඇත්නම් පසු තැවී තව්බා කරන්න.

"සැබැවින්ම අල්ලාහ් පිළිගන්නේ භක්තිවන්තයන්ගෙන් පමණි" (අල්මායිදා 5:27)

තහනම් කරන ලද මූලාශ්‍රවලින් තම ආහාර, පාන සහ ඇඳුම් පැළඳුම් ආදීය ලබා ගන්නා අයෙකුට ප්‍රතිචාරයක් නොලැබෙන බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වස ල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ.

7. දූආ හි ආක්‍රමණශීලීත්වයෙන් වළකින්න, මක්නිසාද අල්ලාහ් දුආහි ආක්‍රමණශීලීත්වයට කැමති නැත. අල්ලාහ් මෙසේ පවසයි. (එබැවින් විශ්වාසවන්තයිනී!) ඔබ ඉතාමත් යටහත් පහත්වද, ගුප්ත වශයෙන්ද,  ඔබගේ අල්ලාහ් වෙතම (ඔබට අවශ්‍ය දැය ඉල්ලා) ප්‍රාර්ථනා කරනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවූවන්ව ප්‍රිය කරන්නේ නැත. (7:55)

8. යම් කිසි අනිවාර්ය රාජකාරියකින් ඔබව වෙනතකට යොමු කිරීමට ඉඩ සලසමින් ප්‍රාර්ථනාවෙහි නොයෙදෙන්න. උදාහරනයකින් පවසනවා නම් ඔබේ ඔබ දූආ පදනම මත ඔබේ දෙමාපියන්ගේ අයිතිවාසිකම් නොසලකා හැරිය යුතු නොවේ. තම මව කතා කළහොත් ඇයට පිළිතුරු දීමට ඔබ ඉදිරිපත් විය යුතුය. ඔබට අල්ලාහ් ගෙන් ඕනෑම වෙලාවක, ඕනෑම තත්වයක සිටිමින් වුව දුආ ප්‍රාර්ථනා කල හැකියි. දුආ ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් කල් තියා ඔබට සූදානම් වෙන්න හැකිනම් එය මනා පිළිවෙලකට කරන්න. වඩාත්ම සුදුසු වෙලාවාක් තෝරා ගන්න.


ශුද්ධවූ අල් කුරාණය මක්කාවේ ජීවත් වූ අවසන් නබි මොහම්මද් (ﷺ) තුමාට අරාබි භාශාවෙන් පහළ කල දිව්‍ය වදන්ය. නබිතුමා සම්බන්ධ හදීස් ඇත්තේද අරාබි බසිනි. එම දිව්‍ය උගැන්වීම කිසිඳු වෙනසකට ලක් නොකර පහල වූ භාශාවෙන්ම අපටත් භාවිත කිරීමට ලැබීම අප ලද ඉමහත් භාගයකි. එම නිසා කුරනය තුලින් හෝ නබි තුමා විසින් පෙන්වා දී ඇති සමහර දුආ ප්‍රාර්ථනා අර්ථය වටහා ගෙන එම අරාබි වදන්ම භාවිතා කරමින් දුආ ප්‍රාර්ථනා කිරීමට උත්සහ ගත යුතුයි. තේරුම් ඇතිව එම අරාබි වදන්ම භාවිතා කිරීමට හුරු නැතිනම් තමන් තමන්ට හුරු භාශාවෙන්ම දුආ ප්‍රාර්ථනා කිරීම වරදක් නොවේ. අල්ලාහ් සුභානවතාලා අප සියල්ලගේ හදවත් තුල ඇති දේ පවා දන්නා කෙනෙකි. එනිසා හිත පතුලෙන්ම අවංකව මෙම දුආ ප්‍රාර්ථනා කිරීමට නැඹුරුවීම උසස් ගුණාංගයකි.  

by sjw