දෙවියන් සිටින බවට සාක්ෂි

  1. දිව්‍යමය හෙළිදරව් 
  2. හේතු-ඵල තර්කය 
  3. සැලසුම් සහගත බවේ තර්කය 
  4. ප්‍රාතිහාර්යයන් පිලිබඳ තර්කය 
  5. ස්වභාවික අත්දැකීම් සහිත තර්කය

දෙවියන් ඇත කියන අය බහුතරයක් ද, දෙවියන් නැත කියන අය සුලුතරයක් ද, මේ ගැන නිශ්චිත අදහසක් නොදෙන සුලු පිරිසක් ද අප අතර සිටී.

දෙවියන් නැත යැයි විශ්වාස කරන මිනිසුන් දෙවියන් නැත යැයි මෙතෙක් සාක්ෂි සහිතව තර්ක කර හෝ ඔප්පු කර නැත. යමක් නැත යැයි ස්ථිර කිරීමට නම් ඒ පිළිබදව 100% සොයා බලා හමු නොවූ විට එය තහවුරු කල යුතුයි. 

'දෙවියන් නැත' කියන අය දෙවියන්ව හෙව්වෙ කොහෙද? ඒ සදහා භාවිතා කල ඉන්ද්‍රියයන් හෝ උපකරණ මොනවද? පියවි ඇසට නොපෙනීම හෝ වෙනත් සීමා සහිත බලයන් ඇති උපකරන භාවිතා කර සොයා බලා තමාට හමු නොවූ නිසා දෙවියන් නැහැ කියා ස්ථීරව කීම සදාචාරාත්මක නෑ. එවැනි අය, අපි දෙවියන්ව හෙව්වා ඒත් අපිට හම්බ උනේ නෑ කියා කීම යුක්ති සහගතයි.

'දෙවියන් සිටියි' යැයි විශ්වාස කරන බොහෝ පිරිසක් ලොව තුල සිටී. මෙහිදී දෙවියන් ලෙස සලකන්නේ එක් සර්වබලධාරී දෙවියෙකි. ඔහු ඇතැයි විශ්වාස කරන අය විවිධ නම් වලින් ඔහුව හඳුන්වයි. ඉන් නම් කිහිපයක් ලෙස අල්ලාහ්, The God, බ්‍රහ්ම, ශක්‍ර ආදී ලෙස සඳහන් කල හැක.

දෙවියන්ගේ ස්වරූපය කෙසේ දැයි හොඳම විග්‍රහය ලැබෙන්නේ ඉස්ලාම් දහමේ ඇති (කිසිඳු වෙනසකට ලක් නොවූ දෙවියන්ගේම වදන් ලෙස සලකන) අල් කුරාණය තුලිනි. (පරිච්චේදය 112).


(නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසන්න; දෙවියන් (අල්ලාහ්) එක්කෙනෙකි. ඔහුට (කිසිවෙකුගේ) අවශ්යතායක්ද නොවන්නෙකි. ඔහු (කිසිවෙකුවත්) ප්‍රසූත කලේ නැත. (කිසිවෙකු විසින්) ඔහුව ප්‍රසූත කරනු ලැබුවේද නැත. තවද, ඔහුට සමාන කිසිවෙක්ද නැත. (112:1-4)

දෙවියන් සිටින බවට සාක්ෂි

  • 1) දිව්‍යමය හෙළිදරව්

දෙවියන් විසින්ම මිනිසාව දැනුවත් කිරීමට පහල කලා යැයි ප්‍රචලිත දිව්‍යයමය හෙළිදරව්වන් මගින් ලැබෙන තොරතුරු පිළිබඳ තර්කය.

දෙවියන් විවිධ අවස්ථාවල මනුෂ්ශ්‍යයා වෙත පහළ කල දේව මාර්ගෝපදේශ අතරින් සුබූර්, තව්රාත් (The Old Testament), ඉන්ජීල් (New Testament/ Bible), ශුද්ධවූ කුරාණය ඒවායින් සමහරකි. ඇතැම් ඒවා දැන් සොයාගත නොහැකි අතර සමහර ඒවා මිනිසුන් අතරේ තිබේ. ඒවායිනුත් සමහර ඒවා මිනිසුන්ගේ අදහස්ද කලවම් කර දෙවියන්ගේ වදන් වෙනස්කම් වලටද ලක් කර ඇත. එනමුත්, දෙවියන්ගේ අවසන් පණිවිඩය පහල වූ ස්වරූපයෙන්ම පහල වූ භාශාවෙන්ම කිසිඳු වෙනසකට ලක් නොවී ආරක්ෂා වී සහ භාවිතයේ ඇත. එය අල් කුරානයයි . මෙමගින් දෙවියන් සිටිනවා යැයි තර්ක කල හැක. අල්කුරාණය අධ්‍යයනය කළොත් දෙවියන් සිටින බවට බොහෝ සාධක ලබා ගත හැකිය.

  • 2) හේතු-ඵල තර්කය

ආරම්භ වන ඕනෑම දෙයකට හේතුවක් ඇත. විශ්වයට සහ එහි ඇති සෑම දෙයකටම ආරම්භයක් ඇත. එනිසා එයට හේතුවක් තිබිය යුතුය. එම හේතුව දෙවියන් වහන්සේ ලෙස දක්වන තර්කය. දෙවියන් වහන්සේ පළමු හෝ හේතු රහිත හේතුව විය.

හේතු රහිතව පවතින දෙය සහ හේතු සහිතව පවතින දේ අතර වෙනස පහත සටහනින් වටහා ගමු.

දෙවියන් සියල්ල මැව්වා නම් දෙවියන්ව මැව්වේ කවුරුන්ද යන (සමහරු අසන) ප්‍රශ්නයට මෙතනින් පිළිතුරු ලැබේ. පහත සඳහන් ක්‍රියාව ඔබත් කර බලන්න.

සුදු කොළයක් ගෙන එය දෙකට මැදින් ඉරක් ගසා සළකුණු කරන්න. එහි වම් පැත්ත දෙවියන් ලෙස සඳහන් කරන්න. දකුනු පැත්ත 'නිර්මාණාත්මක ස්වරූපවලින් පවතින දේවල්' ලෙස ලියන්න. (විශ්වය/ විශ්වයන්/ සහ ඒවා තුල ඇති සියල්ල)

දැන් ඉහත සටහනේ ඇති තොරතුරු වම් පැත්තට සහ දකුනු පැත්තට දාන්න.

වම් පැත්තේ සිටින දෙවියන්ට නිර්මාණ කරුවෙක් නැත. එනම් දෙවියන්ව නිර්මාණය කළ කෙනෙක් නැත. ඔහු සදාකල් පවතින කෙනෙකි. ඔහු විසින් දකුනු පැත්තේ ඇති දැය නිර්මාණය කළ නිසා ඒවාට ආරම්භයක් සහ අවසානයක් ඇත.

  • 3) සැලසුම් සහගත බවේ තර්කය

විශ්වය පුදුමාකාර වන අතර එහි ඇති දෑ හි පුදුමාකාර නිර්මාණාත්මක බවක් සහ මනා පිළිවෙලක් ප්‍රදර්ශනය කරයි. නිර්මාණ වල ස්වභාවය එසේ සංකීර්ණ සහ පිළිවෙලයි නම්, සර්වබලධාරී අපූරු නිර්මාණකරුවෙක් සිටිය යුතු යැයි තර්ක කල හැක.

V16-TURBO එන්ජිම සංකීර්ණ දෙයකි -එය සැලසුම් කර හදපු කෙනෙකු සිටී. [ඔබ එය දන්නවා]. එසේනම් මෙම වේගවත් [warthog] සත්වයාව සැලසුම් කර නිර්මාණය කළ නිර්මාණ කරුවෙකු නොසිටින්නේද?

මෙම මිග් යානය සංකීර්ණ දෙයකි -එය සැලසුම් කර හදපු කෙනෙකු සිටී. [ඔබ එය දන්නවා]. එසේනම් මෙම රාජාලියාව සැලසුම් කර නිර්මාණය කළ නිර්මාණ කරුවෙකු නොසිටින්නේද?


මිනිසාගේ ශරීරය සංකීර්ණ දෙයකි - එය සැලසුම් කර නිර්මාණය කල කෙනෙකු සිටිය යුතුය. [ඔබට එය විශ්වාස කල නොහැකිද?]


විශ්වය සංකීර්ණ දෙයකි - එය සැලසුම් කර නිර්මාණය කල කෙනෙකු සිටිය යුතුය.  [ඔබට එය විශ්වාස කල නොහැකිද?]

  • 4) ප්‍රාතිහාර්යයන් පිලිබඳ තර්කය.

ස්වභාවධර්මයේ නීති උල්ලංඝනය කිරීමේ අර්ථයෙන් ඉඳහිට ප්‍රාතිහාර්යයන් සම්බන්ධයෙන් විශේෂිත ඓතිහාසික සිදුවීම් අපට අසන්නට ලැබේ. එවැනි ප්‍රාතිහාර්යයන් පැවතීමට අද්භූත බලවේගයක් හෝ දෙවි කෙනෙකු සිටීම අවශ්‍ය වේ යන තර්කය.

උදාහරණ කිහිපයක්:

  • ඉබ්‍රාහිම් (අ:ස) සම්බන්ධ ප්‍රාතිහාර්යයන්
  • සාලීහ් (අ:ස) සම්බන්ධ ප්‍රාතිහාර්යයන්
  • ලූත් (අ:ස) සම්බන්ධ ප්‍රාතිහාර්යයන්
  • මෝසෙස් (අ:ස) සම්බන්ධ ප්‍රාතිහාර්යයන් 
  • ජීසස් (ඊසා) (අ:ස) සම්බන්ධ ප්‍රාතිහාර්යයන් 
  • මොහම්මද් (ﷺ) සම්බන්ධ ප්‍රාතිහාර්යයන් 
  • සහ බෞද්ධ ඉතිහාසයේද ගෞතම බුදුන්වහන්සේ සම්බන්ධ ප්‍රාතිහාර්යයන් 

බොහෝ ප්‍රාතිහාර්යන් එම කාලයේ අවස්ථාවට සීමා වූ අතර මොහම්මද් නබි (ﷺ) තුමාට පහල වූ කුරානය නම් ප්‍රාතිහාර්යය අදටත් ජීවමානව ඇත.

  • 5) ස්වභාවික අත්දැකීම් සහිත තර්කය.

බොහෝ අයට දෙවියන් වහන්සේ වෙතින් කල ප්‍රාර්ථනා සම්බන්ධයෙන් සහ වෙනත් පුද්ගලික අත්දැකීම් ඇති බව කියා ඇත, එබැවින් දෙවියන් වහන්සේ සිටිය යුතුය යන තර්කය. යමෙකු තම මනසින් ප්‍රාර්ථනා කල විට එය අසා පිලිතුරු දෙන කෙනෙකු සිටින බව මින් පැහැදිලිය.

තවද, යමෙකු ඉතාම කරදරකාරී හෝ දුක්මුසු තත්වයකට පත්වූ විට එහෙමත් නැතිනම්, අවසානයට ඔහුට කර-කියා ගන්න දෙයක් නැති වූ විට නිරායාසයෙන්ම ඔහුට දෙවියන් සිහිවේ. ඔහු තම දුක්ගැනවිල්ල දෙවියන්ට කියමින් ඔහුගෙන් පිහිට අපේක්ශා කරයි. (ඇතැම් සතුන් පවා අහස බලාගෙන තම දුක්ගැනවිලි කියනා ආකාර අපි දැක ඇත්තෙමු). එනම් සහජයෙන්ම මේ ස්වභාවය අපි තුල ඇති දෙයක් බව හැඟෙයි. මෙවන් තත්ව සම්බන්ධ තර්ක මගිනුත් දෙවියන් සිටින බව පෙන්නුම් කරයි.


(නබියේ!) ඔබ වෙතින් මගේ වහලුන් මා ගැන විමසුවහොත් (එයට ඔබ මෙසේ කියනු): නියත වශයෙන්ම මා සමීපයෙහි සිටින්නෙමි. (කවුරුන් හෝ) මාව ආරධනා කළ හොත් එම ආරාධනා කරන්නාගේ ආරාධනාවට මා පිළිතුරු දෙන්නෙමි".  එබැවින් ඔවුන් මා වෙත ප්‍රාර්ථනා කළ යුතුය. (එමගින් ඔවුන් සෘජු මාර්ගය අත් කර ගන්නාහ). (2:186)

by sjw

විචාර බුද්ධිය අවධිකර ගැනීම සඳහා අමතර කරුණු කිහිපයක් .

1). අවසාන බලධාරියා

මෙම උදාහරණය බලන්න. පාසැල් ළමුන්ගේ බලධාරීන් මෙසේය. 

පන්ති නායක -> පන්තිභාර ගුරුවරයා -> ප්‍රදේශ භාර ගුරුවරයා -> උප විදුහල්පති -> විදුහල්පති -> කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ නිලධාරී -> අධ්‍යාපන අමාත්‍යාන්ශයේ බලයලත් නිලධාරී -> අධ්‍යාපන ඇමති -> ජනාධිපති හෝ රජතුමා (එතනින් අවසන්).

ජනාධිපති හෝ රජු කියන්නෙ බලය අසීමිත ලෙස ඇති අවසන් තීන්දුව ගත හැකි එකම පුද්ගලයා. ඔහුට ජනාධිපති හෝ රජු වීමට හේතු එකක් හෝ කිහිපයක් තිබේ. එනිසයි ඔහුට ඒ බලය හිමිව තිබෙන්නෙ. එම තනතුර හෝ බලය ඉතා දිගු කලක සිට පැවත එන්නකි. අපි ඉපදෙන්නටත් පෙර එම බලය අපේ රටේ තිබුනා. ඈතම ඉතිහාසයට ගිය විට කුඩා ගෝත්‍රයක නායකයා ලෙස හෝ එම බලය, එම තනතුර තිබෙන්නට ඇති. තවත් අතීතයට ගිය විට දෙදෙනෙක් අතර එක්කෙනෙකුට එම බලය තිබෙන්නට ඇති. එක්කෙනෙක් විතරක් ඉන්න අතීතයට ගියාම ඔහුට කොහොමත් ඒ බලය තිබුනා. එයා වසර මිලියනයක් තනියම හිටියා නම් ඒ වසර මිලියනය පුරාම ඔහු තමයි ඒ බලය ඇත්තා. තවත් අතීතයක් පුරා ඔහු හිටියා නම් ඒත් ඔහු තමයි ජනාධිපති හෝ රජු. ඔහුට වඩා වෙන බලවතෙක් නොමැති නිසා ඔහුට ආරම්භයක් ඇති වෙන්න හේතුවක් තියෙන්න විදිහකුත් නෑ. එනම් ඔහු එම බලය සහිතව සදාකල් සිටම පවතින කෙනෙක් විය යුතුයි. ඔහු එසේ අතීතයේ හිටපු නිසා තමයි (පසුව) ඔහුට වඩා බලය අඩු අය බිහි උනේ. ඔහු නොසිටියා නම්, (ඔහුත් නෑ), ඔහුට වඩා බලය අඩු හෝ වැඩි කිසිවෙකුත් නෑ, ජනාධිපතිලත් නෑ, අපි ඉහත කතා කල පාසලත් නෑ පාසැල් ළමයිනුත් නෑ.  

ඉතින් මේ සදාකල් බලයක් සහිතව තනියම සිටින කෙනාට දෙවියන් කියා කිව්වම ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. අප කුමණ මාතෘකාවක් ගැන කතා කලත් එහි අවසානයට සිටින්නේ ඒවායේ නිර්මාතෘ වන සර්වබලධාරී දෙවියන්වහන්සේමය. හැම කාරණාවකටම හේතුව එතුමයි.

කෙළවරේ සිටින බලධාරියා සම්බන්ධ තව උදාහරණයක්.

අපි හිතමු ලෝකෙ තියෙන ප්‍රභලම රාජ්‍යයේ යුද හමුදා වෙඩික්කරුවෙක් විශේෂ සතුරෙකුව ඉලක්ක කරගෙන සිටී. නමුත් ඉහලින් අවසර ලැබෙන තෙක් ඔහුට වෙඩි තියන්න බෑ. ඔහු ඔහුගේ ඉහල නිළධාරියාගෙන් අවසර ඉල්ලනවා. එම ඉහල නිළධාරියා ඔහුට ඉහළින් සිටින්නාගෙන් ඒ ගැන අහනවා. එම නිළධාරියාත් තමාට ඉහලින් සිටින උසස් නිළධාරියාගෙන් අහනවා. ඔහු යුධහමුදාපතිගෙන් අහනවා. ඔහු ජනාධිපතිගෙන් අහනවා. දැන් අර සතුරාට වෙඩි තැබීම ප්‍රායෝගිකව සිදු වීමට නම මෙම ජනාධිපති අවසන් තීන්දුව දිය යුතුයි.

මෙසේම යමක් නිර්මාණයක් ලෙස බිහිවී තිබේ නම්, එහි කෙළවරේ එයට වගකියන අවසන් පෙළේ සිටින බලධාරියෙක් (හෙවත් දෙවියන් වහන්සේ) සිටිය යුතුයි. ඔහුගේ නිර්මාතෘ කව්ද යන ප්‍රශ්නය නැවත ඇසීමට නොහැකි අවස්ථාව එයයි.

2). එක් එක් අයගේ විවිධ වූ නිර්මාණශීලී හැකියාවන්

මී මැස්සන් එකතු කරගත් අමුද්‍රව්‍ය වලින් තම කූඩුව සාදන විදිහ සහ කොට්ටෝරුවා අමුද්‍රව්‍ය භාවිත නොකර තම නිවස සාදන විදිය එකෙනෙකට වෙනස්ය. මිනිසුන් දෙදෙනෙක් මැටි වලින් සහ ඇලුමීනියම් වලින් වෙනස් ආකාර වලින් මුට්ටි සාදයි. මකුළුවා තම නිවස හදන්නේ අමුතුම ආකාරයකටය. එයාගෙ අමුද්‍රව්‍ය එයාගෙ ශරීරය ඇතුලෙමයි තියෙන්නෙ. හරි පුදුමයි නේද? 

ඉතින් දෙවියන්වහන්සේ අපිට වඩා වෙනස් ආකාරයකට එයාගෙ නිර්මාණ ඇති කරනවා කිව්වම අපි ඇයි එය විතරක් සැකෙන් බලන්නෙ? අපේ හැකියාවෙන් අපි පොඩි පොඩි දේවල් හදනවා. මිනිසුන් තම සීමිත හැකියාව උපයෝගී කරගෙන මැටි වලින්, ප්ලාස්ටික් සහ ලෝහ භාවිතා කර සෙල්ලම් සතුන් හදනවා අපි දැක ඇත්තෙමු. දෙවියන් ඔහුගේ අසීමිත බලය භාවිතා කර පෙර උදාහරණයක් හෝ නැතිවම ඇත්ත සතුන් නිර්මාණය කරනවා. දෙවියො කියලා කියන්නෙ සර්වබලධාරී කෙනෙක්. ඉතින් දෙවියො දෙවියන්ගෙ බලයෙන් විශ්වයන් සහ ඒ අතර ඇති දේවල් නිර්මාණය කරනවා. 

එනිසා දෙවියෝ යමක් නිර්මාණය කලා හෝ මැවීමකින් යමක් ඇති කලා කිව්වම අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ.

3). සියල්ල නිරීක්ෂණය කරමින් පවතී

නිරීක්ෂන විශ්වයටම සාපේක්ෂව මිනිසා හරියට කාන්තාරයේ ඇති එක වැලි කැටයක් තරම් කුඩාය. ඒත් මිනිසා තම හැකියාව භාවිතා කර නිරීක්ෂන විශ්වයේ කෙලවරත් නිරීක්ෂනය කරනවා. වාහනයක් වේගෙන් ගියාම ඒකත් අල්ලලා නඩු දානවා. මිනි-කැමරා දැන් කමිස බොත්තමේ පවා. යන යන තැන් වල CCTV කැමරා නිසා හොරකමක් වත් කරන්න අමාරුයි. ඒ මදිවට චන්ද්‍රිකා මගිනුත් අපි දිහා බලා සිටිනවා. අහසට ගිය චන්ද්‍රිකා ඉතා දුර සිටියත් ඒවායෙන් පණිවිඩ මිනිසාට ලැබෙමින් පවතී. ඉතින් මේ වැලි කැටයක් තරම් කුඩා වූ මිනිසාගේ හැකියාව මෙතරම් සංකීර්ණ නම් විශ්වයම නිර්මාණය කළ සර්වබලධාරී දෙවියනේ හැකියාව කොහොම ඇත්ද? ඉතින් දෙවියන්ම පවසා තිබෙනවා ඔහුගේ බලයෙන් විශ්වයත් මිනිසාවත් නිර්මානය කළ බව. මිනිසාගේ හදවත තුල ඇති රහස පවා ඔහු දන්න බව. මිනිසාගේ අනාගතය ගැනත් දන්න බව පවසනවා. සියල්ල දකින බවත් සියල්ල අසන බවත් පවසනවා. ඉතින් ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි කියලා දැන් හිතෙන්නෙ නැද්ද? ඒ තමයි දෙවියන්ගෙ හැකියාව.

4). මියගොස් සිටින සියළුම මිනිසුන්ව විනිශ්චය දිනයට දෙවියන් වෙත කැඳවනු ලබයි.

දැන් දියුනු රටවල රියදුරු රහිතව තනියම පිටත් වූ වාහන වැඩ අවසන් වී ආපසු මුල් තැනටම එනවා. ෆෝන් එකෙන් යවන මැසේජ් එකකින් කොහේ හෝ නතර කරල තිබුණු වාහනය තමන්ව හොයාගෙන ලඟටම එනවා. ඉතින් මිනිසා මෙතරම් දියුණුයි නම්, දෙවියන් පවසන විනිශ්චය දිනයට සියල්ල ආපසු කැඳවීම ගැන අපි පුදුම වන්නේ ඇයි?

5). කැස්බෑවන්ගේ, වවුලන්ගේ සහ සහ සංචාරක කුරුල්ලන්ගේ තාක්ෂණය.

දැන් නම් කුඩා ලමයෙකුට උනත් GPS තාක්ෂනයේ උපකාරයෙන් තම මාර්ගය සොයාගෙන දීර්ඝ ගමනක් ගොස් නැවත ආපසු ඒම එතරම් ගැටලුවක් නොවේ. මිනිසා තම හැකියාවෙන් GPS තාක්ෂණය සොයා ගත්තායැයි සිතමු. නමුත්, මීට වසර ගනනාවකටම පෙර සිට ඉහත සතුන් මොන තාක්ෂණය හරහාද කිලෝමීටර් දාස් ගනනින් දුර වූ තමන්ගේ ගමන් මාර්ග සොයා ගත්තේ? සත්තු මිනිසාට වඩා තාක්ෂණය අතින් දියුණුයි කියනවද, නැත්නම් එම සතුන්ගේ නිර්මාතෘ ඔවුන්ට එම හැකියාව ලබා දී ඇතැයි විශ්වාස කරනවද? මෙය වටහා ගැනීමට දෙවියන් කුරාන් ආයත් එකක් පහළ කර තියෙනවා "මී මැස්සන්ට දැණුම දෙන්නේ ඔහුය කියමින්'. එසේනම් අපි භාවිතාකරන හෝ සොයාගන්නා දැණුම පිටුපස සිටින්නේ දෙවියන්ම බව අපට සිතාගත හැකිය. කවුරුන් හෝ දැණුමක් ලබා ගත්තා නම්, සොයා ගත්තා නම් ඒ දැණුමේ මුල් හිමිකරු දෙවියන් වහන්සේය. එනිසා දැණුම අතින් දෙවියන්ට වඩා උසස් කෙනෙකු සිටිය නොහැක.

6). මිනිසාගේ දෘෂ්ඨි පරාසය සීමා සහිතය. 

අපට වඩා සමහර සතුන්ගේ දෘෂ්ඨි පරාසය වැඩිය. කුඩා දේ අපේ පියවි ඇසින් දැකිය නොහැකි විට අපි අන්වීක්ෂත් ඉතා දුරුන් ඇති වස්තු නිරීක්ෂණයට දුරේක්ෂත් භාවිතා කරයි. සමහර ආලෝක කදම්භ දිහා අපට එක එල්ලේ බලා සිටීම අසීරුය. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ දෘෂ්ඨිය සම්බන්ධව මිනිසාට යම් යම් දුර්වලතා සහ සීමා මායිම් ඇති බවය. ඉතින් දෙවියන්ව අපේ ඇසට නොපෙනුනායි කියා දෙවියො නැතැයි කියා අපට තහවුරු කළ නොහැක. දෙවියො පමණක් නොව බොහෝ දේ අපේ ඇස් වලට නොපෙනේ. නමුත් ඒවා පවතී. අපට දුරේක්ෂ මගින් නිරීක්ෂනය කළ හැක්කේ විශ්වයෙන් 5% ක් තරම් ප්‍රමාණයක් පමණි. ඉතින් පහලම අහසේ පවතින විශ්වයත්, ඊට ඉහලින් ඇති තවස් අහස් හයක් සහ ඊටත් ඉහලින් ඇති දෙවියන්ගේ රාජධානියත් නිර්මානය කළ සර්වබල්ධාරී දෙවියන්ව අපේ පියවි ඇසින් හෝ දුරේක්ෂ මගින් බැලිය නොහැකි බව වටහා ගන්න. (නමුත් ස්වර්ගයට පිවිසෙන අයට දෙවියන්ව දැකීමට අවස්ථාවක් ලබා දෙන බව දහම තුල සඳහන් වේ).

7). වෙනස් ස්වරූප

අපේ ඇස් වලට හසුවන බහුතරයක් එකෙනෙකට වෙනස් ස්වරූප වලින් තිබේ. එය අපට සාමාන්‍ය දෙයක් නිසා ඒ ගැන අපි පුදුම වෙන්නෙ නෑ. ඉතින් සියල්ලට වඩා බලසම්පන්න (සර්වබලධාරී) දෙවියන්වහන්සේටත් ඔහුට ගැලපෙන වෙනස් ස්වරූපයක් තියෙනාවා යැයි කීම ගැන අපි පුදුම වන්නේ ඇයි. එය එසේ විය හැකියි.

8). දැනුම ලබාදීමේ ක්‍රම වේද.

කුඩාම කල අම්මා තමයි දරුවාගේ ගුරුවරිය. අම්මා එක එක විදිහට දරුවට පාඩම් කියා දෙනවා. ඉන් පසු වෙන විදිහකට පාසැල් ගුරුවරු ළමයින්ට පාඩම් කියා දෙනවා. මිනිසුන් විවිධ ආකාර වලින් දැනුම ලබා ගන්නවා. ඇමෙරිකාවේ පුද්ගලයෙක් එහෙදි ලබා දුන් පණිවිඩයක් අපි අපේ රටේදි එය ලබාගන්නවා. සමහර විට එවෙලෙම පරිඝණක තිරය හරහා කියවනවා, නැත්නම් Download කරගෙන පසුව කියවා බලනවා. ඉතින් දෙවියන් වහන්සේ තමන්ගේ නිර්මාණයක් වන මිනිසාට ඔහුට ගැලපෙන ක්‍රම වේදයකින් (මලායිකාවරයෙක් හරහා) පෘතුවියට පණිවිඩයක් එවා එහි සිටින මිනිසෙකු හෙවත් නබි වරයෙකු ලවා අපට එය ලබා දී ඇතැයි කිව්වාම අපි පුදුම වෙන්නේ ඇයි? එය කියාවා බලන්න පුළුවන්. දැන් එය Download කරගන්නත් පුලුවන්. අවසානයට දෙවියන් එවූ පණිවිඩය ශුද්ධ වූ අල් කුරාණයයි. එය ඔබ ළඟ තියෙනවාද? ඔබ එය කියවා බැලුවාද?  

9). නිර්මාණ වල රහස්

කිසිම මිනිසෙක් මීට පෙර දැක නැත දෙයක එහි අභ්‍යන්තර හෝ භාහිර ස්වභාවය ගැන තොරතුරු මුළින්ම කිව හැක්කේ කාටදැයි යන ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර කුමක්ද? එයට දිය හැකි එකම පිළිතුර නම්, "එහි නිර්මාණකරු විය යුතුයි" යන්නය. මිනිසුන් නොදන්නා බොහෝ කරුණු දෙවියන්වහන්සේ තම පණිවිඩය තුල ලියා ඇත. එනිසා එම පණිවිඩය එවා ඇත්තේ එම නිර්මාණවල නිර්මාතෘමය යන්න වටහා ගැනීම අපහසු නොවේ. කුරානයේ විද්‍යාත්මක හෙලිදරව්වන් යන සබැඳි ලිපිය කියා බැලීමෙන් එය වඩා හොදින් තහවුරු කර ගත හැක.

ඉහත සඳහන් කරුණු කෙරෙහි අවධානය කර බැලීමෙන් දෙවියන් සිටින බව අපට ප්‍රත්‍යක්ෂ කර ගත හැකි නොවේද?

දෙවියන් පිළිබඳව ඔබේ අදහස අපටත් කියන්න