
ඉස්ලාමය ගැන පැහැදිලි කරන්න යන ඔබට උපදෙසක්.
මෙය ඉස්ලාම් ධර්මය ගැන පැහැදිලි කරන්න යන අයෙකුට මෙන්ම ඉස්ලාම් ධර්මය ගැන දැනගන්න යන කෙනෙකුටත් ප්‍රයෝජනවත් ලිපියකි.
[මුස්ලිම් නොවන අය අසන පොදු ප්‍රශ්න 100ක් මෙම ලිපිය අවසානයට සඳහන් කර ඇත. ඒවාට පිළිතුරු අපගෙන්ද ලබා ගත හැක].
දෙවිඳුන් මෙසේ පවසා ඇත.
(නබියේ!) ඔබ (මිනිසුන්ට) ප්‍රඥාවෙන්ද, අලංකාරවත් හොඳ ඔවදන් මගින්ද ඔබගේ දෙවියන්ගේ මාර්ගය දෙසට ආරාධනා කරණු මැනව! තවද ඔවුන් සමග (තර්ක කිරීමට සිදු වුවහොත්) ඔබ (ගෞරවණීය හා) අලංකාරවත් අන්දමින් තර්ක කරනු මැනව!; (16:125)
නියත වශයෙන්ම කවුරුන් තමන් වෙත හොඳ ඔවදන් පැමිණෙන විට, ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් විනිශ්චය දිනදී තමන්ගේ තත්වය වටහා ගනු ඇත. මන්දයත් නියත වශයෙන්ම මෙය ඉමහත් ගෞරවණීය ධර්මයක් වන්නේය.(41:41) මීට කළින් හෝ මීට පසුව හෝ (පරිශ්ද්ධ වූ කුරානය වන) මෙයට බොරු (කිසි සේත්) ළඟා වීමට නොහැකිය. ඉතාමත් ප්‍රශංසාවට අයත් කෙනා හා ඥානවන්තයා විසින් (මෙය) පහළ කරන ලදී. (41:42)
මිනිසාගේ නිර්මාතෘ මිනිසාට සුදුසු ලෙස මාර්ගෝපදේශ සහිත දහමක් ඉදිරිපත් කර එය නබිවරු හරහා සමාජගත කර ඇත. එම දහම ලැබුණු අය විසින් එය මෙතෙක් නොලැබුණු අයට පැවසීම අනිවාර්ය යුතුකමකි.
නමුත් මිනිසාගේ ස්වභාවය මතම මෙය තරමක් අර්බුධකාරී කටයුත්තකි. එය ප්‍රකාශ කිරීමේදී ප්‍රකාශ කරන්නාට නොයෙකුත් අපහසුතා, සිත්තැවුල් ආදී තත්ව වලටද මුහුණ දීමට සිදු විය හැක. එය ඉතිහාසයේ සිටම සිදුවී ඇත.
කොතරම්ම දුර්මාර්ගයේ සිටින කෙනෙකු උවත් තම දෙමාපියන්, මුතුන් මිත්තන් ආදීන් ගිය මාර්ගයේම යන්නමයි වැඩි කැමැත්තක් දක්වන්නෙ. දෙමාපියන්ගෙ පාරෙම යමින් නයින්ට, හරකුන්ට, මීයන්ට, ගින්දරට, ගස් ගල් වලට නමදින මිනිසුන් පවා බිහිඋනේ එනිසයි. ඔවුන්ට පහදා දීම ඉතා අසීරුයි.
මිනිස් සිත් අධිකව හිතුවක්කාරයි මුරන්ඩුයි යන්න පෙන්වා දීමට මෙම ආගම දහම නම් මාතෘකාවට වඩා වෙන කාරණාවක් ලොව නැති තරම්ය. දෙවියන්ගේ පණිවිඩය කියන අයට කිසිම ලෞකික වාසියක් අත් නොවන නමුත්, එය ලබන්නාට තම ජීවිත කලය තුල ලැබිය හැකි වටිනාම දෙය ලෙස මෙය තිබියදීත් මෙවැනි වාතාවරණ ඇතිවීම නම් පුදුම සහගතය.
"ඔබ ඔබගේ නිර්මාතෘව හඳුනාගන්න" යන ලොව ඇති ලස්සනම පණිවිඩය සමහරුන්ට කිව්වාම ඔවුන් පණත් එපා කියල දුවන තත්වයක් තමයි බොහෝ විට දකින්න තියෙන්නෙ. සමහරුන්ට එම පණිවිඩය ඇසීමත් කේන්තියට කරුණකි. සමහරුන්ට එය විහිළුවකි.
නමුත් කෙනෙකුව දුර් මාර්ගයේ සිට ඍජු මාර්ගයට පැමිණවීම වෙනුවෙන් කටයුතු කිරීම ගැන තමාට ඇතිවන සතුට මේ සියල්ලට වඩා ඉතා ඉහළ බව සෑම මුස්ලිම් කෙනෙකුම හොඳින් දන්නා කරුණකි. එම පණිවිඩය අන් අයට ලබා දීම යනු තම යුතුකමට අමතරව තමා ඔහුට හෝ ඇයට දක්වන ආදරයේ, කරුණාවේ, දයාවේ උපරිම අවස්ථාවකි. නමුත් අවාසනාවකට බොහෝ දෙනෙක් මෙය වටහා ගන්නේ නැත.
දෙවියන්වහන්සේ විසින් මිනිසාට බොහෝමයක් වරප්රසාදයන් ලබා දී ඇත. අනාගතටත් ඔවුන් වෙනුවෙන් ස්වර්ගය වැනි අනර්ඝ දේ පිළියෙල කර ඇති බව පවසා ඇත. නමුත් බොහෝ දෙනෙක් දෙවියන්ගේ පණිවිඩය නොසලකා හරිමින් ඔහුවවත් ගනන් නොගෙන සිටී. දෙවියන් මේ ගැනත් කුරාණය තුලින් මෙසේ පවසා ඇත.
මිනිසුන්ගෙන් බොහෝමයක් ඉතාමත් ගුණමකු අය වශයෙන් සිටින්නාහ.; (25:50)
දෙවියන් මිනිසාට දී ඇති නිදහස් ජීවන තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගෙන තමන්ගේම නිර්මාතෘවත් ඔහුගේ මාර්ගෝපදේශයත් නොසලකා හරින අයට මෙසේ අනතුරු හඟවා ඇත.
(නබියේ!) ඔබ මෙසේ පවසනු; "(සම්පූර්ණයෙන්ම) සත්‍යය වූ (මෙම ධර්මය) ඔබගේ දෙවියන් විසින් පහළ කරන ලදී" කැමැත්තන්ට මෙය විශ්වාස කළ හැකිය, අකැමැත්තන්ට (මෙය) ප්‍රතික්ෂේප කර දැමිය හැකිය". (නමුත් මෙම ප්‍රතික්ෂේප කරන) අපරාධකාරුවන්ට නියත වශයෙන්ම අපි නිරයම පිළියෙල කර ඇත්තෙමු; (18:29)
දෙවියන්ව විශ්වාස කරන අයට මෙසේ උපදෙස් දී ඇත.
විශ්වාසවන්තයිනී! ඔබ, ඔබවද, ඔබගේ පව්ලේ උදවියද, මිනිසුන්ද ගල්ද ඉන්දන බවට පත් කළ හැකි නිරා ගින්නෙන් ආරක්ෂා කර ගනු. ; (66:6)
ඉතින්, ඔබ ඔබට හමුවූ සත්‍යය දහම වන දෙවියන්ගේ මාර්ගෝපදේශය ඔබ ඉදිරියේ සිටින්නෙකුට පවසන්නේ මේ නිසාමය.
මෙම වැකි සත්‍යය වැකි බව මුස්ලිම්වරු විශ්වාස කරති. එම නිසා තමනුත් නිරයෙන් ආරක්ෂා වී තමන්ගේ වටපිටාවේ සිටින අයවත් නිරයෙන් ආරක්ෂා කරගෙන මරණින් මතු ජීවිත ජය ගැනීම උදෙසායි දහම ගැන අන් අයට දෙන්නෙ. නමුත් බහුතරයකට මෙය තේරෙන්නෙ නෑ.
ඇත්තවශයෙන්ම අල්ලාහ්වත් ඔහුගේ මාර්ගෝපදේශයත් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ඇති කුරාන් වැකි දෙස බැලූ විට, (එහි ඇති භයන්කර බව දකින විට) මෙම පණිවිඩ සමාජගත වන තරම හොඳටම මදි. මුස්ලිම්වරුන් මීට වඩා මේ ගැන සැළකිළිමත් විය යුතුය.
දෙවියන්ගේ පණිවිඩය අන් අයට කීමට ඔබට විවිධ පහසු ක්‍රම උපයෝගී කර ගත හැක. හැමෝටම එකම විදිහට දහම ගැන කියා දීමට නොහැක. අසන්නාගේ ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. ඔබට පහසුවක් වීම සදහා එක ක්‍රමයක් ගැන මම පහතින් සඳහන් කර ඇත්තෙමි. එහි ඇති කරුණුද ඔබට ගැලපෙන අයුරින් භාවිතා කර දෙවියන්ගේ පණිවිඩය ඔවුන් වෙත ලබා දෙන්න.
[පියවර 1]. තනිව හෝ දෙතුන් දෙනෙකුව විනාඩි 30 කට පමණ තමාට සවන්දීමට කැමති කරවා ගන්න. එයින් පළමු විනාඩි 30 ඔබ පමනක් කතා කරන බව පවසන්න. එම කාළය තුල ප්‍රශ්න කිසිවක් අහන්න එපා කියන්න.
එම කාළය තුල
- විශ්වයේත්, ඉස්ලාමයේත්, මිනිසාගේ ජීවන ගමනේත් මුල මැද අග ආදී සියල්ල පිළිබඳවත්,
- මේවායේ නිර්මාතෘ වන දෙවියන් වහන්සේ ගැනත්,
- ඔහු එවා ඇති පණිවිඩ සහ නබිවරු ගැනත් යන සියල්ල කෙටියෙන් විස්තර කළ යුතුයි.
එනම් මෙම දහම තුලින් මුල මැද සහ අග යන තුන් කාලය ගැනම කතා කළ හැකි බව ඒත්තු ගන්වන්න ඕනි. දෙවියන්ගේ මෙම දහමින් හැර, ලොව ඇති වෙන කිසිම දහමකින් මේ සියල්ල ගැනම පැහැදිළිව විස්තර කළ නොහැක. එනිසා එම සම්පූර්ණ කෙටි පහදා දීම ඉදිරි සාකච්චා සඳහා හොඳ අඩිතාලමක් වෙයි. [විනාඩි 30 ට පසු ඔවුන්ට ඇති ප්‍රශ්ණ සාකච්චා කරමින් අමතර තොරතුරු ඉදිරිපත් කළ හැකිය].
ඔබගේ විනාඩි 30 කතාවට පහත කරුණු උපයෝගී කර ගන්න.
1). දෙවියන් සිටින බවට සාදක කිහිපයක් පෙන්වා දෙන්න. මෙය තමයි වටිනාම කාරණාව. (ඊලගට වටින කාරණාව තමයි කුරානය තුල තිබෙන්නේ ඔහුගේම වදන් බව තහවුරු කිරීම. මේ ගැන ඔබ සිහියේ තබාගෙන කටයුතු කරන්න).
පහත සඳහන් කරුණු කෙටියෙන් විස්තර කරන්න. (වැඩි විස්තර මෙම වෙබ් අඩවියෙහිම ඇත).
- හේතු-ඵල දහම :- ඕනෑම දෙයක ආරම්භයට හේතුවක් තිබිය යුතුයි. සියල්ලෙහි ආරම්භයට හේතුව දෙවියන්ය. ඒ ගැන හිතන්න කියන්න.
- දිව්‍යමය හෙළිදරව් :- ඉස්ලාම් තමයි ලොව පැරනිතම ආගම. ඉතිහාසයේ සිට දෙවියන්ගේ මාර්ගෝපදේශ නබිවරු හරහා එවා ඇති බව පවසන්න.
- නිර්මාණවල සැලසුම් සහගත බව :- දෙවියන්ගේ සුවිශේෂී නිර්මාණශීලී හැකියාව ඔබේ ශරීරය තුලින්ම සහ සොභාදහම , විශ්වය ආදිය තුලින් දකින්න කියන්න. මේවා කිසිවක් ඉබේ විය නොහැකි බව පවසන්න.
- ප්රාතිහාර්යයන් :- නබිවරු ගෙනා පණිවිඩය දෙවියන්ගෙන් පැමිණ ඇති බව තහවුරු කිරීමට විවිධ ප්රාතිහාර්යයන් පෙන්වා ඇති බවත්, එසේ අවසානයට පැමිණි එක් ප්රාතිහාර්යයක් බැලීමට කැමතිනම් කුරානය (එහි පරිවර්ථනයක්) අරන් කියවා බලන ලෙසත් පවසන්න. එහි අන්තර්ගතයම ප්රාතිහාර්යයකි.
- ස්වභාවික අත්දැකීම් :- හැමෝගෙම හදවත් තුල දෙවියන් සිටින බව තමන්ම සිතා බලන්න කියන්න. අපි සත්‍යය ලෙස කෙනෙකුගෙන්, දිය හැකි කෙනෙකුගෙන් ප්‍රාර්ථනා කළ යුතු බව පවසන්න. තමන්ගෙම අයිති කරුගෙන් ප්‍රාර්ථනා කරන්න කියන්න.
2). දෙවියන් විසින් විශ්වය සහ එය නිර්මාණය කිරීම ගැන කුරාන් ආයත් ගොඩක් ඇති බව පවසන්න.
3). පලමු මිනිසා ආදම් (අ.ස)ව නිර්මානණය කිරීම, ඔහු සහ ඔහුගේ බිරිඳ පෘතුවියට පැමිණීම, ඔවුන්ගෙන් පරම්පරාව බෝ වීම, කල් යද්දි මිනිසුන් දෙවියන්ගේ මාර්ගයෙන් ඈත් වීම, ඉන් පසු කලින් කලට නබිවරු පැමිණීම, මුසා (අ.ස), ජේසු (ඊසා අ.ස) සහ මොහම්මද් ﷺ යන නබිවරු ගැන මතක් කරන්න.
4). නබිවරුන් විසින් අල්ලාහ්වම පමණක් නමදින ලෙසත්, ඔහුගේ දහම පමණක් අනුගමනය කරන ලෙසත්, වෙනත් මනඃක්කල්පිත රූප, පිළිම, ගස් ගල් ආදිය නොනමදින ලෙසත්, මිනිසුන්ගේ උපදෙස් තම ධර්මය ලෙස පිළි නොගන්නා ලෙසත්, ඔවුන්ව නොනමදින ලෙසත් උපදෙස් දුන් බව පවසන්න.
5). අන් සියල්ලන්ටම වඩා අල්ලාහ් බලසම්පන්න බවත්, සියල්ල දකින බවත්, සියල්ල අසන බවත් ඔහුම සියළුම දේ තම බලයෙන් නිර්මාණය කර ඇති බවත් පවසන්න. ඔහුට වඩා වෙන කිසිවෙකු උසස්වන්ත ලෙස සැලකීම මහත් පාපයක් බවත් අල්ලාහ්ම පවසා ඇති බව දැනුවත් කරන්න.
6). අප පැමිණියේ අල්ලාහ්ගෙන්ම බවත් අප නැවත යා යුත්තේද ඔහු වෙතම බවත් ඒ අතර තුර මෙලොවදී අපි අල්ලාහ් හමුවීමට යාමට පෙර සූදානම් විය යුතු බවත් පෙන්වා දෙන්න. අල්ලාහ්වත් ඔහුගේ ධර්මයත් ප්‍රතික්ෂේප කළ අය අවසානයේ අල්ලාහ් හමුවට ගොස් ඔහුට මුහුණ දෙන්නේ කෙසේදැයි අහන්න.
7). අල්ලාහ්ව ප්‍රශංසා කිරීමත්, යපහත් ලෙස ජීවත් වීමත්, පාපයන්ගෙන් ඈත්වී සිටීමට උත්සහ කිරීමත් යන මූලිකම කාරණා අපගේ මෙලොව ජීවිතයේ අරමුණු බව පහදා දෙන්න.
8). මිනිසාට වටහා ගත නොහැකිව අතරමං වී සිටින බොහෝ කාරණා අල්ලාහ් තම අවසන් පණිවිඩය වන අල් කුරාණය හරහා පැහැදිලි කර ඇති බව පවසන්න. මිනිසාගේ අත්පොත මිනිසාගේ නිර්මාතෘ දුන් කුරාණය බව දැණුවත් කරන්න.
විශ්වයේ ආරම්භය, මිනිසාගේ ආරම්භය, මරණින් මතු ජීවිතය, විනිශ්චය දවස, මලායිකාවරු, ජින්වරු, ස්වර්ගය, අපාය වැනි බොහෝ කරුණු ගැන හරියටම දැනගෙන මෙලොවත්, පරලොවත් ජයග්‍රහනය කිරීම සඳහා සත්‍යය දහම ලෙස පවසන මෙම ඉස්ලාම් හෙවත් විශ්ව දහම කෙරෙහි උනන්දුවන ලෙස පවසන්න.
9). අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ අයව අල්ලාහ් නිරයට දමන බව අල්ලාහ්ම පවසා ඇති බව පෙන්වා දෙන්න. අල්ලාහ්ගේ වදන් විහිළුවට ගත්තොත් තමන්ටමයි පාඩු බව පවසන්න.
10). මෙය තමන්ගේ ඉරණම සම්බන්ධ කාරණාවක් නිසා තමන්ගේ (මෙලොව සීමිත කාලයට වඩා) මරණින් මතු (සදාකල් පවතින) ජීවිතයේ යහපත වෙනුවෙන් අනිවාර්යයෙන්ම පියවර ගත යුතුව ඇති බව පවසන්න. ආගම වෙනස්කිරීම් වැනි කාරණා සමාජය ඉදිරියේ ගැටළුවක් යැයි සිතන්නේ නම් ඒ සදහා විකල්ප මාර්ග භාවිතා කරමින් හෝ අවශ්‍ය කාරණාව තුල ජීවත් වන්න යැයි පවසන්න. එසේම මරණින් පසු සමාජය තමන්ගේ උදව්වට නොපැමිණෙන බවද මතක් කර දෙන්න.
[පියවර 2]. ඉන් පසු ප්‍රශ්න ඇත්නම් අහන්න කියන්න.
ප්‍රශ්න අහන විට ධර්මය සම්බන්ධ ප්‍රශ්න පමණක් අසන ලෙසත් ධර්මයට සම්බන්ධ නොවන ප්‍රශ්න නොඅසන ලෙසත් ඉල්ලා සිටින්න. ඉස්ලාම් ධර්මය ශුද්ධ වූ අල් කුරාණයටත්, දෙවිඳුන් තම නබිවරයා හරහා අපට පෙන්වා දුන් ආදර්ශය හෙවත් හදීස් වලටත් යන කරුණු දෙක මත පමණක් පදණම්ව ඇත.
අවසාන දේව පණිවිඩය මොහම්මද් නබි (ﷺ) තුමාට අරාබි භාශාවෙන් පහළ වී ඇති බවත් එම භාශාවෙන්ම ඒවා එම කාලයේම ලේඛන ගත කර ඇති බවත් ඒවා ඉන් පසු කිසිඳු වෙනසකට ලක් නොවී අද වෙනකම්ම ආරක්ෂා වී සහ පහසුවෙන් භාවිතා කළ හැකි අයුරින් ඇති බවත් පවසන්න.
දෙවියන් විසින් දහම සම්පූර්ණ කර ඇති බවත්, වටහා ගැනීමේ පහසුවට අර්ථ විවරණ සහ පරිවර්තන ඇති බව පවසන්න.
ඔවුන් අසන සමහර ප්‍රශ්ණ පිලිතුරු දීමට අවශ්‍යය නැති ඒවාය. මේ එවන් ප්‍රශ්නයකට උදාහරණයකි.
සෞදි අරාබියේ සිටින රජතුමා මුස්ලිම් කෙනෙක්ද? මෙම ප්රශ්නය ඉස්ලාම් දහමට අදාල ප්‍රශ්නයක් නොවෙයි. එය එම රජතුමා සම්බන්ධ පුද්ගලික කාරණාවකි. ඔහු ගේ නියම තත්වය අල්ලාහ් තමයි දන්නෙ. (නමුත් සියළුම නබිවරු මුස්ලිම්වරුන්ය. අල්ලාහ් ඒ බව අපට දැනුවත් කර ඇත).
එමනිසා මුස්ලිම් සමාජයේ මිනිසුන්ගේ යම් යම් පුද්ගලික කාරණා අපට අදාල නොවන බව පවසන්න. එය තවත් පැහැදිළි කරනවානම්, අහවල් මුස්ලිම් මිනිසුන් හරි නරකයි. ඔවුන් අපිරිසිදුයි, ඔවුන් සලා කරන්නෙ නෑ, ඔවුන් බොරුකාරයින්....(මේවා සියල්ල මිනිසුන්ගේ පුද්ගලික දේවල්ය).
සමහර ප්‍රශ්න අහනව වචනවල තේරුම හරි හැටි නොදැන. අන්තවාදීන්, මූලධර්මවාදීන්, ත්රස්තවාදීන් වැනි වචන. මේවායේ නියම අර්ථ පහදා දිය හැක. එනිසා එවැනි ප්‍රශ්න කිහිපයකුත් සමග දහම සම්බන්ධව අසන පොදු ප්‍රශ්න කිහිපයක් පහතින් දක්වා ඇත.
අපට ඇතිවන ප්‍රශ්න වලින් පිළිතුරු සෙවිය යුතු වන්නේ දහමට අදාල ප්‍රශ්න පමණි. අපට වඩාත් වැදගත්වන්නේ දෙවියන් අපට පවසා ඇත්තේ මොනවද යන්නයි. ඒවා සියල්ල ඉතා මැනවින් පහදා දිය හැක.
නමුත් මේ සියල්ලටම වඩා වැදගත්ම ප්රශ්නය විය යුත්තේ 'සර්වබලධාරී අල්ලාහ් තමනෙගේ නිර්මාතෘද?' යන ප්රශ්නයයි. එයට පිළිතුර "ඔව්" ලෙස යමෙකුට පිළිගන්න පුළුවන් උනානම් අනිත් ප්‍රශ්න සියල්ල්ටම බොහෝමයක් පිළිතුරු එතුලම ඇති බව වැටහෙයි.
මුස්ලිම් නොවන අය අසන පොදු ප්‍රශ්න 100ක් ලිපිය අවසානයට සඳහන් කර ඇත.
පිළිතුරු දීමේදී ධර්ම මූලශ්‍ර උපයෝගී කරගෙන පිළිතුරු දීමට වග බලා ගත යුතුය. අපේ සිතට නැගෙන පුද්ගලික පිළිතුරු වලින් පිළිතුරු ලබා නොදිය යුතුය.
ප්‍රශ්ණ අසන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් නම් දෙන ලද පිළිතුර හොඳින් කියවා බලා වටහා ගන්න තමන් උත්සහ කළ යුතු බව පවසන්න.
එම පිළිතුර ප්‍රමාණවත් නොවන්නේ නම් එය පැහැදිළි වන තෙක් එයට පමණක් පිළිතුරු දෙන්න. එවෙලෙහිම පිළිතුරු දිය නොහැකි නම් එය සටහන් කර එයට පසුව පිළිතුරු දෙන්න පොරොන්දු වී වෙන ප්‍රශ්ණයකට යන්න.
පිළිතුරු දීමට අවස්ථාව නොදී ප්‍රශ්ණ පමණක් අසමින් සිටීමට ඉඩ නොදෙන්න.
ඔබට (හෝ ඔවුන්ට) මෙම ප්‍රශ්ණ වලට පහතින් දී ඇති යොමුව තුලින් අදාල ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමටද අවස්ථාව ඇත. අදාල අංකය හෝ මීට වඩා වෙනත් ප්‍රශ්න ඇත්නම් පහතින් ලියා අප වෙත දැන්විය හැක.
[මෙම වෙබ් පිටුව (Link එකක් ලෙස) ඔවුන්ට ලබා දීමෙහිත් වරදක් නැත. එවිට ඔවුන් සමග අපට උනත් සම්බන්ධ වී අසන ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දිය හැක].
[පියවර 3]. ඔබගේ කතාව සහ ප්‍රශ්ණ වලට පිළිතුරු දීම අවසන් වූ පසු ඔවුන්ට පුද්ගලිකවත් මේ ගැන අධ්‍යයනය කිරීම සදහා අපගේ මෙම වෙබ් අඩවියම ඔවුනට ලබා දෙන්න.
මෙම කාරණාව සුළු කොට සැලකීම හෝ නොසළකා හැරීම තමන් තමන්ටම කරගන්නා විශාල හානියක් බව ඔවුන්ට නැවත කියන්න. ඔවුන්ට එසේ හිතෙනවා නම් නොවරදවාම ප්‍රතික්ෂේප කිරීම හෙවත් ලොකුම පාපය සහ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ඇති කුරාන් ආයත් සහිත පිටු දෙකවත් කියවා බලන්න කියන්න.
[පියවර 4]. ඉන් පසු ඉඳ හිට ඉස්ලාමය සම්බන්ධ වටිනා තොරතුරු සහිත පණිවිඩ (WhatsApp මැසේජ් ලෙස) එවා මේ ගැන ඔබට නැවත මතක් කිරීම සිදු කළාට කමක් නැද්දැයි අසා එයට අවසර ලබා ගන්න.
මේ සියල්ල ඔහුගේම යහපත වෙනුවෙන් ඔබ කරන දේවල් බව ඔබම දනී. ඔවුන්ගේ ප්‍රතිචාර කුමක් උවත් ඔබ ඉවසීමෙන් සිටින්න. ඒ බව දෙවියන් මෙසේ පවසා ඇත.
(නබියේ!) නියත වශයෙන්ම අපි මිනිසුන්ගේ යහපත සඳහාම සම්පූර්ණයෙන්ම සත්‍යයයෙන් පිරි මෙම ධර්මය ඔබ වෙත පහළ කළෙමු. එබැවින් කවුරුන් (මෙය) අනුගමනය කර කටයුතු කරන්නේද, ඔහුටම එය හොඳකි. කවුරුන් එයින් මාර්ගය වැරද යන්නේද, එය ඔහුටම නපුරක් වශයෙන් අවසන් වනු ඇත. (නබියේ!) ඔබ ඔවුන්ව (සෘජු මාර්ගයෙහි යන ලෙස මෙන් බල කර), බේරා ගන්නෙකු නොව. (39:41)
ඉහත වැකියෙන් පවසන්නේ නබිවරයෙකුටවත් ඍජු මාර්ගය ලබා දිය නොහැකි බවය. නබිවරුන්ට පවා කළ හැක්කේ දහම කියාදීම පමණි. එය එය ලබාගැනීම අසන්නා සතු වගකීමකි. ඔහු ඔහුටම අවංක වී මෙය ලබා ගැනීමට ඉදිරිපත් විය යුතුයි. එවිට අල්ලාහ් එයට ඉඩ සලසනු ලබයි.
කාලය මත සත්තකින්ම, මිනිසා තම ආයුෂ කාලය නිකරුනේ වියදම් කර නියත වශයෙන්ම පරාජික මාර්ගයේ සිටින්නේය. එහෙත් කවුරුන්, විශ්වාසය තබා දැහැමි කාරනාවන්ද කර සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අතැහැර දැමීමෙහිද පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම විද දරා ගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙක් ඔවදන් දෙමින් සිටින්නෝද) ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත) (103:1-3)
අපි දහම අන් අයට හඳුන්වා දෙමින්, එය පහදා දෙමින් අපේ යුතුකම අපි කරමු. එපමණයි. දහම තුල කිසි බල කිරීමක් නැත. අවසානයට ඔබ ඔබේ ඉරණම සමග සිටී, ඔහු ඔහුගේ ඉරණම සමග සිටී.
මුස්ලිම් නොවන අය අසන පොදු ප්‍රශ්න 100ක්. ඒවා සියල්ල ඉතා මැනවින් පහදා දිය හැක.
ඔබේ ප්රශ්නය අප වෙත යොමු කරන්න
වරකට එක ප්රශ්නය බැගින් කැමති තරම් ප්‍රශ්න යොමු කළ හැක. ඒවාට කෙටි පිළිතුරු ලෙස හෝ විස්තර සහිතව හෝ සබැඳි (link) සමග හෝ පිළිතුරු ලැබිය හැක. ඒවා කියවා තේරුම් ගැනීමට උත්සහ කළ යුතුය. නොතේරුනොත් ඒ බව පවසා නැවත යොමු කරන්න.
- අල්ලාහ් සිටින්නේ කොහෙද, ඔහු සෑම තැනම සිටිනවාද?
- අල්ලාහ්ගේ රූපය මොන වගේද?
- සියල්ල නිර්මාණය කළේ අල්ලාහ් නම් අල්ලාහ්ව නිර්මාණය කළේ කව්ද?
- 'අල්ලාහ් සර්වබලධාරී එකම දෙවියන්ය'(අල්ලාහුඅක්බර්) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
- ඉස්ලාමය ආරම්භ වූයේ කවදාද?
- ඉස්ලාම් හෝ මුස්ලිම් යන වචන වල තේරුම් මොනවාද?
- ඉස්ලාම් දහම සත්‍යය දහම බව පැවසීමට හේතු මොනවාද?
- ඉස්ලාමය තුල සත්ව ඝාතණය අනුමත කරනවාද?
- ඉස්ලාමයට අනුව මාංශ අනුභවය පාපයක් නොවෙයිද?
- ඉස්ලාමීය සතුන් (ගෙල කපා) මැරීමේ ක්‍රමය නිර්දය ලෙස පෙනේ. එය අනුමත කළ හැකිද?
- විනිශ්චය දිනයක් ඇති බව කීමට තිබෙන සාධක මොනවාද?
- ඉස්ලාමය තුල බහු විවාහයට අවසර දෙන්නේ ඇයි?
- මුස්ලිම් අයට ඌරුමස් අනුභවය තහනම් ඇයි?
- මුස්ලිම් අයට මධ්‍යසාර තහනම් ඇයි?
- මිනිසුන් විසින් අල්ලාහ් දෙවියන්ව නැමදිය යුතුයි යැයි පවසන්නේ ඇයි?
- අල්ලාහ් විසින් විශ්වය නිර්මාණය කළ බව දහම තුලින් පෙන්වා දෙන්න.
- අල්ලාහ් විසින් මිනිසාව නිර්මාණය කළ බව ඔප්පු කරන්නේ කෙසේද?
- සිත සහ ආත්මය ගැන ඉස්ලාමය පවසන්නේ මොනවාද?
- මුස්ලිම් අය පරිණාමවාදය පිළිගන්නවාද?
- ඉස්ලාමය තුල විද්‍යාව සම්බන්ධව පෙන්වා දී ඇති කරුණු මොනවද?
- ඉස්ලාම් අන් ආගම් වලට වඩා හොඳ බව පෙන්වා දෙන්නේ කෙසේද?
- මුස්ලිම් නොවන අයගේ මරණින් මතු තත්වය කෙබඳුද?
- ඉස්ලාමයට අනුව සතුන්ගේ මරණින් මතු තත්වය කෙබඳුද?
- ජේසු තුමා සහ ඉස්ලාමය අතර ඇති සම්බන්ධය කුමක්ද?
- ඉස්ලාමයට අනුව තෙරේසා මව්තුමිය, මහත්මා ගාන්ධි, ඕශෝ, පාප් වහන්සේ හෝ බුදුන් වහන්සේ වැනි අයගේ තත්වය කෙබඳුද?
- ඉස්ලාම් ගැන අසා නැති අයට (මරණින් මතු) කුමක් සිදුවේද?
- ඉස්ලාමයට අනුව පුනුරුප්පත්තිය යනු කුමක්ද?
- යක්ෂයින්, ප්‍රේතයින්, හොල්මන්, ආදිය ගැන ඉස්ලාමය තුළ සඳහන් වෙනවාද?
- පේන බැලීම සහ සාස්තර කීම ගැන ඉස්ලාමීය දැක්ම කුමක්ද?
- මුස්ලිම් ජනගහනයට වඩා ක්‍රිස්තියානි ජනගහනය වැඩි ඇයි?
- ඊශ්‍රායෙල් වරුන් හෝ යහූදීන් යනු කවුරුන්ද?
- මොහම්මද් නබි තුමා යුද්ධ කළාද?
- ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත කල දහමක් ලෙස සමහරු පවසන්නේ ඇයි?
- ජිහාද් (ලෙස හඳුන්වන සටන් කිරීම) යනු කුමක්ද?
- සමහර මුස්ලිම් අයව මූලධර්මවාදීන් ලෙසින් (සමහරු) හඳුන්වන්නේ ඇයි?
- සමහර මුස්ලිම් අයව අන්තවාදීන් ලෙසින් (සමහරු) හඳුන්වන්නේ ඇයි?
- සමහර මුස්ලිම් අයව ත්රස්තවාදීන් ලෙසින් (සමහරු) හඳුන්වන්නේ ඇයි?
- ප්රාතිහාර්යයන් යනු මොනවාද?
- කුරානය තුළ මිනිසුන්ගේ වදන් අංතර්ගතයද?
- හදීස් යනු මොනවාද?
- මොහම්මද් නබි තුමා යනු කවුරුන්ද?
- ඉස්ලාමයේ පුද පූජා තිබෙනවාද?
- මුස්ලිම් පිරිමි විතරද දේවස්ථාන වෙත යන්නේ?
- ඉස්ලාමයේ පූජක පක්ෂයක් සිටිනවාද?
- ඉස්ලාමීය විවාහය සඳහා කාන්තාවකගේ අවම වයස කීයද?
- ඉස්ලාමය සොභාවික දහමක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
- ඉස්ලාම් දහමේ මුළ මැද අග පැහැදිළිද?
- ඉස්ලාම් දහමට අනුව මිනිසාගේ මුළ මැද අග පැහැදිළිද?
- ඉස්ලාමයට අනුව සතුන් ශාක සහ අජීවී දේවල් යනු මොනවාද?
- පල්ලි වල අදාන් ශබ්දය කරදරකාරී දෙයක් නේද?
- ඉස්ලාමයට අනුව වඩා උසස් වන්නෙ කාන්තාවද පිරිමිද?
- උපවාසය යනු කුමක්ද?
- මිනිසුන් හජ් කරන්න මක්කා යන්නේ ඇයි?
- ඉස්ලාම් හී මූලික ග්‍රංථ අරාබි භාශාවෙන් තිබෙන්නේ ඇයි?
- අල්ලාහ් කියන්නේ මුස්ලිම්වරුන්ගේ දෙවියන්ද?
- කුරානය මුස්ලිම්වරුන්ගේ පොතක්ද?
- නබිවරුන් දහම් දෙසුවේ මුස්ලිම්වරුන්ට පමණක් ද?
- ඉස්ලාමයේ බලකිරීම් තිබෙනවාද?
- ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් මොනවාද?
- ඉස්ලාමයට පිවිසෙන්නේ කෙසේද?
- ඉස්ලාමය හැර ගොස් වෙන ආගමක් ඇදහීමට අවසර තියෙනවාද?
- ඉස්ලාම් සහ බුද්ධාගම යන අගම් දෙකම එකවර අදහන්න හෝ අනුගමණය කරන්න පුළුවන්ද?
- අල්ලාහ් දෙවියන්ට සමාන වෙන දෙවිවරු ඉන්නවද?
- නබිතුමා තමන්ගේ පුද්ගලික අදහස් දහම ලෙස ඉගැන්නුවාද?
- කුරානය විනාශ කරන්න හෝ වෙනස් කරන්න පුලුවන්ද?
- ඉදිරියේදී තව නබිවරු එන්න ඉන්නවාද?
- බුදුන් වහන්සේ නබිවරයෙක්ද?
- හලාල් හරාම් යනු කුමක්ද?
- මුස්ලිම්වරුන්ට පොළී ගනුදෙනු තහනම් ඇයි?
- ඇයි මුස්ලිම්වරුන්ට මුස්ලිම් නොවන අයව විවාහ කර ගැනීමට අවසර නොදෙන්නේ?
- මුස්ලිම්වරුන් වැඩිපුර දරුවන් හදන්නේ ඇයි?
- ඉස්ලාමය තුල අත් කැපීම බෙල සිඳීම කස පහර ගල් ගැසීම වැනි දඬුවම් අනුමත කරන්නේ ඇයි?
- සමහර මුස්ලිම් කාන්තාවන් මුහුණු පවා වසාගෙන ඇදුම් අදින්නේ එය බලකිරීමක් නිසාද?
- මුස්ලිම් පිරිමි බහුතරයක් රැව්ල වවන්නේ, තොප්පි දාන්නේ ඇයි?
- චර්මඡේදනයේ වාසි අවාසි මොනවාද?
- රමධාන් මාසයේ ඇති වැදගත් කම් මොනවාද?
- සුන්නි සහ ශියා මුස්ලිම්වරු යනු කවුරුන්ද?
- ලෝක අවසානය ගැන ඉස්ලාමයේ මොනවද පවසන්නේ?
- ෂරීයා නිතිය යනු කුමක්ද?
- වැරදි කරල දෙවියන්ගෙන් පව් සමා කළාම දෙවියො සමාව දෙනවාද?
- ඉස්ලාමයට අනුව කුසල් අකුසල් මනින්නේ කෙසේද?
- මක්කා සහ මදීනා යන ස්ථාන මුස්ලිම්වරුන්ට පමණක් සීමා කර ඇත්තේ අයි?
- වඩාත් ශ්‍රේෂ්ඨ අල්ලාහ්ද, ජේසු තුමාද, ශිව දෙවියොද, ශක්‍රයාද, බුදුන් වහන්සේද?
- අල්ලාහ් දෙවියන්ගේ පිළිම හෝ රූප කිසිවක් දකින්නට නැත්තේ ඇයි?
- මොහම්මද් නබි ﷺ තුමාගේ රූපයක් පෙන්නන්න පුළුවන්ද?
- ඉස්ලාමයට අනුව ලොකුම පාපය කුමක්ද? මව මැරීම, පියා මැරීම වගේ දෙයක්ද?
- හැම දෙයක්ම සිදුවෙන්නේ අල්ලාහ් දෙවියන්ට ඕනි විදිහටද?
- අල්ලාහ් මිනිසුන්ව මැව්වා නම් ආබාධිත අයව මැව්වේ ඇයි?
- දුප්පත් අය පව්කාරයින්ද? පෝසත් අය පිං කර ඇති අයද?
- දෙවියන්ට 'පිං දීම' ගැන ඉස්ලාමයේ දැක්ම කුමක්ද?
- අල්ලාහ් සහ දෙවියන් (GOD) යන නම් තුනම සමානද?
- අල්ලාහ් සෑම දෙයක්ම කරමින් ඉන්නවාද?
- අල්ලාහ් (දෙවියන්) මිනිස් ස්වරූපයෙන් පැමිණෙනවාද?
- ඇයි කුරානය තුලින් අල්ලාහ්ව ඔහු ලෙස හා සමහර තැන්වල අපි ලෙස සඳහන් කර ඇත්තේ?
- මුස්ලිම් අය මක්කාවේ තිබෙන කාබාව (කළු බිල්ඩිම)ට නමදිනවාද?
- මුස්ලිම්වරු දවසට පස් වතාවක් නමදින්නේ ඇයි? එය වැඩි නැද්ද? අපහසු නැද්ද?
- යමෙක් ඉස්ලාම් දහම වැළඳ ගත් පසු නම වෙනස් කළ යුතුද?
- සියළු ආගම් යහපත උගන්නනවා නම් ඇයි ඉස්ලාම් තමයි එකම සත්‍යය මාර්ගය ලෙස හඳුන්වන්නේ?
- කුරානය පහළවූ රට වන සෞදි අරාබියේ වෙනත් ආගම් වලට අවසර නොදෙන්නේ ඇයි?
- ඉස්ලාම් ආගම වඩා හොඳ නම් ඇයි මුස්ලිම් සමාජයේ හොඳ ලොව තුල ප්‍රසිද්ධ නැත්තෙ?
- ඉස්ලාම් සමාජයේ බෙදීම් දකින්නට ඇත්තේ ඇයි?
by sjw