ඉස්ලාමය පිළිගන්නේ කෙසේද?

ඉස්ලාම් යනු ස්වභාවධර්මයට හිමි ආගමයි. ඉස්ලාම් පිළිගැනීම යනු තම හදවතින් (කැමැත්තෙන්) එයට ඇතුළු වීමයි. ස්වභාවධර්මය දෙවියන් විසින් නිර්මාණය කරන ලද නිර්මාණයකි. දෙවියන්වහන්සේ එම මැවිල්ලේ සෑම අංගයකටම ගැලපෙන ආකාරයෙන් තම ආඥා හෙළි කර ඇත. අපි කතා කරන්නේ දෙවියන්වහන්සේ මිනිසා මැවීමෙන් පසු ඔහුට හෙළි කළ ආඥා සහ මාර්ගෝපදේශ ගැන ය. එය පිළිගන්නා තැනැත්තා දෙවියන්වහන්සේගේ ආගම පිළිගත් පුද්ගලයෙකි. එය නිවැරදිව පිළිගැනීමෙන් ඔහු මුස්ලිම්වරයෙකු බවට පත්වේ.

ඉස්ලාමය පිළිගැනීමට පෙර ඔබ විසින් කළ යුතු කාරණා කිහිපයක්ද, ඉස්ලාමය තුලට පිවිසෙන ආකාරයද ඉස්ලාමය වෙත ඇතුළු වූ පසු ඔබ කළ යුතු කාරණා කිහිපයක්ද මෙම ලිපිය තුලින් පෙන්වා දී තිබේ.

ඉස්ලාම් ගැන නිවැරදි තොරතුරු දැනගැනීම සදහා ඉස්ලාමීය විද්වතෙකු සමග කතා කරන්න. ඔහු ඔබට සර්වබලධාරී දෙවියන්වහන්සේ ගැන, ඔහුගේ නිර්මාණ ගැන, ඔහු තමාව නිර්මානය කර ඇති ආකාරය ගැන, තමා සහ දෙවියන්වහන්සේ අතර පවතින සම්බන්ධතාවය ගැන, ඒ හරහා ඇතිවන ඇදහිල්ල සහ එය ක්‍රියාත්මක වන ආකාරය ගැන, දෙවියන් මිනිසාට දුන් මාර්ගෝපදේශය ගැන, අපගේ පෙර තත්වය, වර්ථමාන ජීවිතයේ අරමුණු, මරනින් මතු ත්ත්වය ආදී වශයෙන් ඔබට අවශ්‍ය මූලික කරුණු පහදා දෙයි. එම තොරතුරු ඔබේ හදවත සමගත් උරගා බලා ඔබේ විශ්වාසය පරීක්ෂා කරගන්න. එහිදී ඔබට අපැහැදිලි හෝ අමාරු ප්‍රශ්න ඇති වුව හොත් ඒවා ගැන අසන්නට බිය නොවන්න. ඒවා ගැන ප්‍රශ්න කිරීමෙන් ඔබ මෙම දහම ගැන හොඳින් ඉගෙන ගනු ඇත.

ඔබ මුස්ලිම්වරයෙකු වීමට සූදානම්ද නැතහොත් ඉස්ලාමය ගැන තව දුරටත් ඉගෙන ගැනීමට අවශ්‍යදැයි යන්න ඔබම තීරණය කරන්න. කිසිවෙකුත් ඔබට ඉස්ලාමය වෙත ඇතුළුවීමට බල කරන්නේ නැත. ඉස්ලාමීය ශුද්ධ ලියවිලි පිළිබඳව ඔබට දැනුවත් වීමට, පල්ලි නැරඹීමට සහ මුස්ලිම් ජනතාව සමඟ කතා කිරීමට ඔබට අවස්ථාව ඇත. ඔබ ඒවායින් ප්‍රයෝජනය ගන්න.

ඔබ සිදු කළ අධ්‍යනයන්, පර්යේෂණ සහ සංවාද මගින් මුස්ලිම් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබ තේරුම් ගෙන ඇති බවට විශ්වාසයක් ඇති වී තිබේ නම්, ඔබට ඇදහිල්ලේ සාක්ෂිය හෙවත් ෂහදාව පාරායනය කර එයට නිල වශයෙන් එක් වීමට සූදානම් විය හැකිය.

කෙසේ වෙතත්, ඔබ මුලින්ම අල්ලාහ්ව සහ කුර්ආනයේ ඇති වචන විශ්වාස කරන බවට සහතික විය යුතුය. ඔබට ස්ථිරභාවය පිළිබඳ දැඩි හැඟීමක් ඇති වන තුරු ප්‍රශ්නය සමඟ කාලය ගත කරන්න. ඉස්ලාමය ගැන නොදන්නා අයගෙන් උපදෙස් ගැනීමෙන් වැලකී සිටින්න.

අවසානයේ ඔබ ඔබෙන්ම මෙසේ අසන්න. සර්වබලධාරී එකම දෙවියන් වන අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම විශ්වාස කරනවාද? මම දේවදූතයන් විශ්වාස කරනවාද? මම ශුද්ධ ග්‍රන්ථ විශ්වාස කරනවාද? මම අනාගතවක්තෘවරුන් විශ්වාස කරනවාද? විනිශ්චය දිනය, ස්වර්ගයේ සහ නිරයේ යථාර්ථය මම විශ්වාස කරනවාද? දෙවියන්ගේ ආඥාව මම විශ්වාස කරනවාද?

මේ සියල්ල එකකට එකක් සම්බන්ධ කාරනාවන් නිසා ඒ සියල්ල මතින් තමයි මෙම දහමේ සම්පූර්ණත්වය ඔබට දැකිය හැකි වන්නේ. ඉන් කුමණ හෝ කාරණාවක් කෙරෙහි සැක සහිත නම් නැවත ඒ ගැන ප්‍රශ්න කර පැහැදිලිතාවය ලබා ගන්න.

තවද ඔබ ඔබෙන්ම මෙසේ අසන්න, මම අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම යටහත් වීමට, ඔහුගේ නීති (ෂරියා) වලට කීකරු වීමට සහ ඊළඟ ජීවිතයට සූදානම් වීම සඳහා මගේ ජීවිතය ඔහුගේ නමස්කාරයට කැප කිරීමට සූදානම්ද? දෙවිඳුන් තහනම් කර ඇති දේවල් (එකවර හෝ ටික ටික හෝ අමාරුවෙන් හෝ) අත්හැරීමට මම සූදානම්ද? ඔබ දහම තුල ජීවත් වන විට මේ සියල්ල ඔබට පහසු වනු ඇත. දිනකට පස් වේලක් සලාතය කිරීම බැලූ බැල්මට අපහසු යැයි හැඟුනද, පසුව ඔබ එයට ප්‍රිය කරනු ඇත. ඔබ එහි ආශ්වාදය විඳිනු ඇත. මස්ජිදවල මුස්ලිම්වරුන් එම නැමදීම් වල නිරත වන්නේ ඔවුන්ගේම කැමැත්තෙනි.

ඉස්ලාමය පිළිගැනීම මෙලොව ජීවිතයේ සැප පහසුව තහවුරු කරන්නක් නොව. මුස්ලිම් සහ මුස්ලිම් නොවන සෑම මිනිසෙකුම මරණය තෙක් විවිධාකාර පරීක්ෂන වලට මුහුන දිය යුතුය. ඉස්ලාම් පිළිගැනීමෙන් සහ එය භාවිතයෙන් ඔබට මානසික සුවය නම් ලැබෙන බව ස්ථිරය. ඔබට ඔබගේ ජීවන ගමන ගැන පැහැදිළිතාවය දැනෙනු ඇත. නමුත් සමහර විට ලෞකික ජීවිතයේ ප්‍රශ්න වලින් ඔබ සමහර විට පෙරටත් වඩා පීඩා විදීමටද ඉඩ ඇත. 

ඔබට සැකයන් ඉතිරි වුවහොත්, වැඩිදුර පර්යේෂණ කරන්න, සහ සෑම ආකාරයකින්ම අධ්‍යාත්මිකත්වය සඳහා වෙනත් ප්‍රවේශයන් ගවේෂණය කරන්න. නමුත් ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන හෝ අල්ලාහ්ට අකීකරු වන අයට කුරානයේ පෙන්වා දී ඇති අනතුරු ඇඟවීම්වලට අවනත වන්න. මරණය කුමණ මොහොතේ අපව හසු කර ගනීදැයි කිසිවෙකුටත් කිව නොහැකිය.

ඔබට ඉතිරිව ඇති ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන ලෙසත් ඔබට ඇති විය හැකි ඕනෑම සැකයක් ඉවත් කරන ලෙසත් ඔබේම වචන වලින් අල්ලාහ්ගෙන් ඉල්ලා යාච්ඤා කරන්න.

ඉස්ලාමයේ ප්‍රධාන විශ්වාසයන් හය කෙරෙහි ඔබ විශ්වාස කරන බව ඔබට විශ්වාස නම්, ඔබ තවත් ප්‍රමාද විය යුතු නැහැ. හැකි ඉක්මනින් ඔබේ ඇදහිල්ල පිළිබඳ සාක්ෂි දෙන්න. මෙය ෂහාදා පැවසීම ලෙස හඳුන්වයි. ඔබ ප්‍රමාද වී ඔබට ඛේදජනක දෙයක් සිදුවුවහොත්, සියලු නොඇදහිලිවන්තයන්ට අත්වන ඉරණමට ඔබ මුහුණ දෙනු ඇත.

දිගු ගමනක් ගොස් ඔබ ගැනීමට යන මෙම නව තීරණය ගැන මෙනෙහි කරන්න. ඉස්ලාම් පිළිගැනීම යනු ආපසු හැරීමක් නොමැති දැවැන්ත කැපවීමකි. ඉස්ලාමයෙන් තවත් හැරීමට තැනක් නැති බවත් ඔබට වැටහේවි.

ඔබ ෂහදා හෙවත් ඇදහිල්ලේ සාක්ෂිය පැවසීමට එකඟ නම්, එනම් මුස්ලිම්වරයෙකු වීමට නම්, ඔබ ඇදහිල්ලේ සාක්ෂිය නබි ﷺ තුමානන් පෙන්වා දී ඇති ආකාරයටම කළ යුතුය. ෂහදාව පැවසීමෙන් පසු ඔබ ජීවිත කාලය පුරාම ඉස්ලාමයට කැපවී සිටී. 

ඔබට ෂහදාව තනිවම පැවසිය හැකිය. මන්ද එය සියල්ල දකින අල්ලාහ්ට සාක්ෂියකි. කෙසේ වෙතත්, අනෙකුත් මුස්ලිම්වරුන් විසින් හඳුනා ගැනීමට නම්, සාක්ෂිකරුවන් ඉදිරියේ එය පැවසීම ඥානවන්තය. වඩාත් සුදුසු වන්නේ ඔබට සමීප පල්ලියේ ඉමාම්වරයෙකු සම්බන්ද කරගෙනම කිරීමය.


ෂහාදාවේ වචන සහ එහි තේරුම;

أَشْهَدُ أَلَّا إِلَه إِلَّا اللَّه، وَأَشْهَدُ أَنْ مُحَمَّدًا رَسُولُ اللَّه

"අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්, ව' අෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලාහ්" 

"මම සාක්ෂි දරනවා අල්ලාහ් හැර වෙන දෙවියෙකු නැති බවටත්, මම සාක්ෂි දරනවා මුහම්මද් අල්ලාහ්ගේ අනාගතවක්තෘවරයා බවටත්." 



ඔබත් ඔබගේ නිර්මාතෘ වන දෙවියන්වහන්සේත් අතර බැඳීමක් ඇති කර ගැනීම සඳහා ෂහදාව සම්පූර්ණයෙන්ම තේරුම් ගෙන එය අවංකව ප්‍රකාශ කළ යුතුය.

ෂහදාව ගැනීම ඔබේම නිදහස් තේරීමක් විය යුතුය. කිසිදු බලපෑමකින්, රැවටීමකින් හෝ බලහත්කාරයෙන් සිදු නොකළ යුතුය.

වචන නිවැරදිව උච්චාරණය කරන්න. ඔබට එය වෙනත් මුස්ලිම්වරයෙකු පවසා පෙන්වූ පසුව එයම ඔබට කිව කැක. ඔබ තනිව ශහදා පවසන්නේ නම් පටිගත කල හඬක් අනුගමනය කිරීමද ගැටලුවක් නොවේ.

ඉන් පසු ඔබව පිරිසිදු කරගන්න. එය සම්පූර්ණ නෑමකි. එය ගුස්ල් යනුවෙන් හදුන්වනු ලබයි. ගුස්ල් මුස්ලිම්වරුන් සිදු කරන චාරිත්‍රානුකූල පවිත්‍ර කිරීමකි. ෂහදා පැවසීමෙන් පසු ඔබ මෙසේ සම්පූර්ණ ස්නානය කල විට ඔබ දෙවියන් ඉදිරියේ නැවත උපන් (අලුත්) කෙනෙකු හා සමානය. ඔබ පිරිසිදුය. දෙවියන් පිළිගැනීමට පෙර ඔබ කළ සියළු පාප වලට ඔහු ඔබට සමාව දෙන බව පවසා ඇත. දැන් ඔබ හමුවේ කිසිවක් නොලියවූ සුපිරිසිදු ජීවන පොතක් ඇත. ඔබ ඉදිරියේදී කරන හොඳ සහ නරක එහි ලියවීමට පටන් ගනී. කුසල් වැඩි වශයෙන් ලියවා ගැනීමටත්, අකුසල් ලිවීම මග හරවා ගැනීමටත් ඔබ උත්සහ ගත යුතුයි. එය ඔබගේ වගකීමකි. 

දැන් ඔබ මුස්ලිම්වරයෙකු විය. එම 'මුස්ලිම්වරයෙකු යන තත්වය' ආරාක්ෂා කර ගැනීමට ඔබ උත්සහ ගත යුතුය. ඒ වෙනුවෙන් ඔබට කළ යුතු කටයුතු කිහිපයක් පහතින් දක්වා ඇත.

ඔබ දෛනික සලාතයන් 5 ඉටු කිරීම කළ යුතුය. 

ඉස්ලාමය තුල සකාත් නම් දුගී බද්දක් ගෙවීම පෙන්වා දී ඇත. ඔබගේ වත්කම් අනුව ඔබත් එය ගෙවීමට සුදුසුකම් ලබන්නේ නම් සෑම වසරකදීම ගනන් බලා ඔබ එය ගෙවිය යුතුය.

රමදාන් මාසයේ අනිවාර්‍යයෙන්ම උපවාසයේ නිරත විය යුතුය.

ඔබට හැකි නම් ජීවිතයේ එක වතාවක් හෝ හජ් වන්දනාව කිරීමට ඉදිරිපත් විය යුතුය.

ඔබ කැමති නම් ඔබට සුදුසු ලෙස අලුත් නමක් භාවිතා කළ හැක. එය අනිවාර්‍ය නැත.

ඔබ පුරුෂයෙකු නම් චර්මඡේදනය කිරීම ඔබට වඩා හොඳය. එය සෑම මුස්ලිම්වරයෙකුම කර ගනී.

ඔබට හැකි නම් උම්රා වන්දනාව කල හැක.

ඊට අමතරව ඉස්ලාම් දහම පිළිබඳව අධ්‍යාපනය ලැබීම, දානය (සදකා) දීම, යහපත් ගුණ ගරුක චරිතයක් ගොඩ නගා ගැනීම, අන් අයට දහම පැවසීම, කුරානය පාඩම් කිරීම, නබි තුමාගේ සුන්නාව පිළිපැදීම, දෙවියන්ව වැඩි වශයෙන් සිහි කිරීම, තමන් වෙනුවෙන් සහ අන් අය වෙනුවෙන් ඇති යුතුකම් ඉටු කිරීම වැනි දේ හරහා ඔබටම යහපත් වන කුසල් රැස්කර ගත හැකි මාර්ග බොහෝමයක් ඉස්ලාමය තුල පෙන්වා දී ඇත. ඒවා අධ්‍යනය කර ක්‍රියාවට නගන්න උත්සහ ගන්න. ඉස්ලාමය තුල තහනම් කර ඇති ක්‍රියාවන්ගෙන් ඈත් වන්න උත්සහ ගන්න. කාන්තාවන්ට විශේෂ වූ කාරණා පෙන්වා දී ඇත.

දැනුම සහිත යහපත් මුස්ලිම්වරුන්ව සමීපව ඇසුරු කිරීම මගින් ඔබට ඔබගේ නව ජීවන ගමන තවත් පහසු වනු ඇත.

තම සුපුරුදු ඇදහිල්ලෙන් ඉවත්ව ඉස්ලාම් වෙත පිවිසි පසු ඔබට ප්‍රායෝගිකව මුහුන දීමට සිදුවන ගැටලු කිහිපයක්ද ඇත. නමුත් ඒවා මෙලොව වශයෙන් බලපාන තාවකාලික කාරණාය. ඉන් සමහර ඒවාට විසඳුම් තිබේ, තවත් සමහර ඒවාට ඔබට සම්පූර්ණ විසඳුම් හමු නොවීමටද ඉඩ ඇත. අපගේ අවසන් හුස්ම දක්වා අප සිටින්නේ දෙවියන් අප වෙත ලබා දී ඇති පරීක්ෂනය තුලය. විශ්වාසයෙන් සහ ඉවසීමෙන් එයට මුහුණ දීමට කටයුතු කරන්න.

අප සියල්ල දෙවියන් වෙතින් පැමිණි අය වන අතර අප සියල්ල නැවත යා යුත්තේද දෙවියන් වෙතමය. දෙවියන් වෙත යාමට පෙර අප ඊට සූදානම් විය යුතුය. එයයි අපගේ මෙලොව ජීවිතයේ අරමුණ සහ ඉලක්කය. දෙවියන්ගේ තෘප්තිය දිනාගත් කෙනෙකු ලෙස ඔබ ඔහුව හමු උනොත් ඔබ ජයග්‍රාහකයෙකි. එසේ නොවුන හොත් එවැනි අය අභාග්‍යවන්තයින්ය. එය මෙම විශ්වයම නිර්මාණය කළ සර්වබලධාරී දෙවියන්ගේ නියමයය.

අපත් ඔබ සැමත් දෙවියන්ගේ තෘප්තිය ලද්දවුන් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරමු.

by sjw

මේ ගැන ඔබගේ අදහස් අපට ලියන්න