කුසල් යාන්ත්‍රණය ගැන දැනගැනීම සහ පහසුවෙන් කුසල් රැස් කිරීම

ඔබේ බැංකු ගිණුමෙහි කොතරම් මුදල් තිබුනත්, ඔබ කොතරම් විශාල නිවසක ජීවත් උනත්, ඔබ සමාජය තුල කොතරම් ජනප්‍රිය උනත් ඒ කිසිවක් ඔබ මියගිය පසු ඔබ සමග පැමිණෙන්නේ නැත. ඔබ සමග පැමිණ ඔබේ ඉරණම සඳහා ඔබට සහය වන්නේ ඔබ රැස් කළ කුසල් හෝ අකුසල්ය.

ඔබ ජීවත්ව සිටින කාළය තුල ඔබේ කැපවීමෙන් පොදු ස්ථානයක හෝ දුප්පතෙකුගේ ළිඳක බාල්දිය එල්ලන ලණුවක් සවිකර දුන්නා නම් ඔබ මිය ගියත් එම ලණුව පවතින තාක් කල් පවා ඔබට ඉන් කුසල් එකතුවන බව ඔබ දනී. සමහර විට ඒ ලණුවෙ ආධාරයෙන් වතුර රැගෙන ජලය පානය කල අය යහපත් වැඩදායි පුද්ගලයන් ලෙස ඔවුන් සමාජයට සේවය කළා නම් එතෙක් ඔබ සවිකළ ලණුව නැතත් තව දුරටත් ඔබට කුසල් පැමිනෙමින්ම තිබීමට ඉඩ ඇත. කුසල් කියන්නේ මේ ජාතියේ පුදුමාකාර දෙයක්. ඔබ කළ යහකම්හී කුසල් ඔබ අනිවාර්‍යෙන්ම දවසක ඔබ ඉදිරියේ සිටී. ඒ අවස්ථාවේ එය කන්දක් තරම් විශාලව වර්ධනය වී තියෙන්නටද ඉඩ ඇත. 

කුසල් රැස් කිරීමට ආර්ථිකය ශක්තිමත් වෙන්නම ඕනි නෑ. වත්කමේ හැටියට පින්කම් කළ හැකියි. කිසිම වියදමක් නොකරම උනත්  අනන්තවත් කුසල් රැස්කරගත හැකි.

කුසල් හෝ අකුසල් රැස් කරන්න පටන් ගන්න කලින් ඒවායේ පසුබිම ගැන සොයා බැලීම ඉතාම වටිනනව. නැත්නම් අපි කරන කුසල් "ගඟට කැපූ ඉනි" මෙන් විය හැක. "ගඟට කැපූ ඉනි මෙන්" කියන්නෙ අපි මහන්සි වෙලා කරපු යම් ක්‍රියාවක සියළුම ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම අපතේ යවා ගැනීමකටය. (මහන්සියෙන් කැපූ ඉනි ගඟේ ගසාගෙන ගියා මෙන්).

එනිසා අප කරන කුසල් වල පසුබිම සහ යාන්ත්‍රණය දැනගැනීම ඉතාමත් වැදගත්ය.

අපගේ යම් කිසි සිතුවිල්ලක හෝ ක්‍රියාවක කුසල් (හෝ අකුසල්) දකින්නේ කව්ද? එය අල්ලා ගන්නේ කව්ද? එය මිනුම්ගත කරන්නේ කව්ද? එය තැන්පත් කරන්නේ කොහෙද? ඉන් පසු එය නැවත අපට (ඵලවිපාකයක් ලෙස) ගෙන එන්නේ කව්ද? එම කාලය සහ ප්‍රමාණය තීරණය කරන්නේ කවුද? ඒ සදහා ඔහුට ඇති අයිතිවාසිකම කුමක්ද? එය කිරීමට ඇති හැකියාව කෙසේද සහ එවැන්නක් කිරීමේ ඇති අවශ්‍යතාවය කුමක්ද?

ඉහත ආකාරයේ පසුබිමක් නැත්නම් අප සිතන හෝ කරන දේවල් කුසල් හෝ අකුසල් ලෙස බලපවත්වන්න විදිහක් නැත. මෙය ඉබේ සිදුවිය නොහැක. එම ක්‍රියාදාමය අප විසින් කරන දෙයකුත් නොවේ නම් වෙන කෙනෙකුගේ සම්බන්ධයක් එයට තිබිය යුතුය. එනිසා ඒ ගැන දැන ගැනීම ඉතාම වටින්නේය.

තම සිතීමේ නිදහස භාවිතා කරමින් මිනිසා තම ජීවිත කාලය තුල කුසල් හෝ අකුසල් රැස්කර ගන්නවාට අමතරව මිනිසා විසින් මේ ලෝකය තුල ස්ථිරසාර වෙන කිසිවක් කරන්නේ නැත. 

කල් ඉකුත් වීම, දිරාපත් වීම, ලෝක විනාශය ආදිය අපට හුරු වචනය. අපි මේ ලෝකය තුල මොන සෙල්ලම දැම්මත් අන්තිමට අපට ඉතුරුවන්නේ තම අභන්තර ශරීරය සහ ඒ වෙනුවෙන් තමා එකතු කර ගත් කුසල් අකුසල් පමණක් බව අපි විශ්වාස කරන්නෙමු. 

එනම්, භෞතික වශයෙන් කිසිවක් නොමැතිව පැමිණි අප මරණින් පසු මෙලොවින් යන්නේද භෞතික වශයෙන් කිසිවක් නැතිවමය. නමුත් අපගේ ජීවත් වූ කාලයට අරමුණක් තිබිය යුතුය. එම අරමුණ නම්, එම කාලය තුල අප කොතරම් කුසල් - අකුසල් රැස්කර ගත්තාද යන්නය.

මිනිසා කරන හෝ සිතන දෙය මිනිසාට භාහිරින් ඇති "කණ්ඩායමක් මගින්" එය කුසල් හෝ අකුසල් ලෙස ග්‍රහණය කරගැනීමකි සිදුවන්නේ. මේ කණ්ඩායම ගැන ඔබ මොනවද දන්නෙ?

මේ විශ්වය තුල අපට නොපෙනෙන, අපට නොඇසෙන, අපට ළඟා වීමට නොහැකි බොහෝ දේවල් ඇත. කෙතරම් හිත දියුණු කලත් අපට නොපෙනෙන සමහර දේවල් අපේ බුද්ධියට ගෝචර නොවෙන්නත් පුළුවන්. එනිසා මෙවැනි දෑ කෙසේ සිදුවෙනවාද යන්න දැනගත හැකි පැහැදිළිම මාර්ගය වන්නේ එය සිදුකරන පාර්ශවයෙන්ම දැන ගැනීමෙනි. එහෙම නැතිව අප විසින් එක් එක හිතලු මත හිදිමින් තීරණය කරන්න ගියොත් අපි මුලාවේ වැටීමට ඉඩ ඇත.

කරුණු සොයා යාමේදී විශ්වයේ ආරම්භයේ සිටම, මිනිසාගේ ආරම්භය සහ ඒවා ඇතිවීමේ ක්‍රම වේදයන් මෙන්ම ඇතිවීමට බලපෑ හේතූන් හී මුල, මැද, අග ලෙස විස්තරාත්මක පැහැදිළි කිරීමක් ඉස්ලාම් දහම තුලින් දැකිය හැක. අවාසනාවකට සිංහල භාෂාව තම මූලික භාෂාව කරගත් බහුතරයකට මෙම තොරතුරු නිසි පරිදි ලැබී නැත. එම නිසා එම කාරණාවන් ඔවුන්ට අළුත් දේවල් ලෙසද හැඟෙන්නට ඉඩ ඇත.

ඉස්ලාම් දහමෙන් (පිළිගත හැකි ආකාරයට) පෙන්වා දෙන කුසල් අකුසල් යාන්ත්‍රණය සරළවම පවසනවා නම් එය සිදුවන්නේ මෙසේය. 

සදාකල් පවතින සර්වබලධාරී දෙවියන්වහන්සේ විසින් ඔහුට සිතූ දෙය ඔහු විසින් නිර්මාණය කරමින් සිටී. එම නිර්මාණ වලට අවශ්‍යය සියලුම වටපිටාවන්ද ආවරණය කරමින් තම බලය පතුරුවමින් සිටී.

පැහැදිළි කාරණාවක්ම සදහා ඔහු මිනිසාවත් නිර්මාණය කර ඇත. එහිදී මිනිසාට යම් සුවිශේෂත්වයක් දක්වමින් ඔහුව යම් කිසි පරීක්ෂන මට්ටමකට පත් කරද ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසා විසින් සිදුකරන සෑම ක්‍රියාවක්ම (සහ සිතුවිල්ලක්ම) එම පරීක්ෂනයේ අවස්ථාවන් බවට පත් කර ඇත. ඒ සියල්ල නිරීක්ෂනය කරමින්ද, සටහන් කරමින්ද, ඒවා සුරක්ෂිත කර තබා ගනිමින්ද, අවසානයේ විනිශ්චය දිනකදී සියල්ල රැස්කර ඔවුනොවුන් කළ කී දේ සහ සිතූ දේවලට පවා ඵලවිපාක ලබා දෙනු ඇත.

ඒ අනුව බලන විට කුසල් අකුසල් වල සම්පූර්ණ කතාවම හරිම පැහැදිළියි. මිනිසාව නිර්මාණය කළ කාරණාව දෙවියන් විසින් මිනිසා වෙත නබිවරුන් හරහා දැනුම් දී තිබේ. ඒ ගමන් හොඳ සහ නරක කුමක්ද යන්නත් පෙන්වා දි තිබේ. මිනිසා කරන කියන හැමදේම දෙවියන් දකින බවත් ඒවා මලායිකාවරුන් හරහා සටහන් කරන බවත් අවසානයේ විනිශ්චය දින දී කල කී දේ සියල්ලට ඵලවිකාක දෙන බවත් දැනුවත් කර තිබේ. 

කිසිම වියදමක් නැතිව සහ වියදම් ඉතාම සුළුවෙන් කර හෝ කුසල් බොහෝමයක් රැස් කළ හැකි ක්‍රම කිහිපයක් පහතින් සඳහන් කර ඇත. මේවාද දෙවියන්ගේ මාර්ගයෙන්ම ආ දැනමුතුකම් නිසා ඒවා කිසිවිටකත් "ගඟට කැපූ ඉනි මෙන්" නොවනු ඇත. ඔබත් උත්සහ කර බලන්න.

මුළින්ම අප නිර්මාතෘ වන දෙවියන් වහන්සේ විසින් අප වෙත දැණුම් දී ඇති පහත සඳහන් උපදෙස් දෙස අවධානයෙන් බලන්න.

(ඔහුම) තම නියෝජිතයින් වශයෙන් භූමියෙහි ඔබව පත්කර ඇත්තේය. තවද ඔබගෙන් සමහරෙකුව අනික් අයට වඩා පදවි වලින් උසස් කර ඇත්තේය. (මෙමඟින්) ඔබට ලබා දී ඇති දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේ දැයි) ඔබව පිරීක්ෂා කරන්නේය. (6:165)


සෑම ආත්මයක්ම මරණය අනිවාර්යයෙන්ම අත් විඳින්නාහ. පින් පව් කරන තත්වයෙන් අපි ඔබව (තබා) පිරික්සන්නෙමු. පසුව ඔබ අප වෙතම ගෙන එනු ලබන්නෙහුය. (21:35)


(කිසිම) ප්‍රශ්නයක් නොඅසා අත්හැර දමන්නෙමු යැයි මිනිසා අදහස් කළෙහිද? (75:36)


ඔහුම ඔබව උත්පාදනය කළ අයයි. (එසේ තිබියදී) ඔහුව ප්‍රතික්ෂේප කරන අයද ඔබගෙන් ඇත. (ඔහුව) විශ්වාස කරන අයද ඔබගෙන් ඇත. ඔබ කරන දැය අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය. (64:2)


(පින් පව්) මාර්ගයන් දෙකම අපි ඔහුට වෙන්කර දැණුම් දුන්නෙමු (90:10) නියත වශයෙන්ම සෘජු මාර්ගය පෙන්වීම අපගේ යුතුකම වන්නේය, (නියත වශයෙන්ම මෙලොවද පරලොවද අපගේමය. (92:12.13) 

සියල්ලන්ම උත්පාදනය කළ අය, (හෘදයන් හී ඇති දැය) දැන නොන්නෙහිද?;(67:14)


නියත වශයෙන්ම අපිම මිනිසාව (පළමු වරට) උත්පාදනය කළෙමු. ඔහුගේ මනසෙහි ඇතිවන සිතුවිල්ලද, අපි හොදින් දනිමු. පිටි බෙල්ලේ ඇති පන නහරයට වඩා අපි ඔහුට ඉතාමත් සමීපයෙන්ම සිටින්නෙමු. (50:16)


දකුණු පැත්තේ කෙනෙකුද, වම් පැත්තේ කෙනෙකුද වශයෙන් (මලායිකාවරුන්) දෙදෙනෙකු සිටිමින් (ඔහුගේ වැඩ කටයුතු) සටහන් කරමින් සිටින්නාහ. (50:17)

(මිනිසා) කුමක් පැවසුවා වුවද, (එය ලිවීමට) බලාපොරොත්තුවෙන් සිටින (මලායිකා) කෙනෙකු, ඔහු වෙත නැත්තේ නොවේ. (ඔහුගේ මුවින් පිටවෙන සෑම වචනයක්ම එවෙලෙ එවෙලේම සටහන් කරනු ලබන්නාහ), (50:18)


සෑම මිනිසෙකුගේම ක්‍රියාවන් ගැන (විස්තරාත්මක දෛනික) සටහන් ඔහුගේ බෙල්ලෙහි එල්ලා ඇත්තෙමු. විනිශ්චය දිනදී එය ඔහුට එක් පුස්තකයක් මෙන් ගෙන දෙන්නෙමු. ඔහු එය දිගහැර බලනු ඇත. (ඒ අතර ඔහුට) "අද දින ඔබගේ ගණනය බැලීමට ඔබම ප්‍රමාණවත්ය. එබැවින් ඔබගේ (සටහන්) පුස්තකය ඔබම කියවා බලනු" (යයි කියන්නෙමු). (17:13,14)


මෙම ප්‍රතික්ෂේප කරන්නන් අපව අතහැර දමා අපගේ වහලුන්ව (තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ගත හැකිය යයි අදහස් කරමින් සිටින්නෙහුද? නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට ආගන්තුක සත්කාර කිරීම සඳහා නිරයම පිළියෙල කර ඇත්තෙමු. (18:102) ඔවුන් (කවුරුන්දයත්) මෙලොව ජීවිතයෙහි වැරදි මාර්ගයෙහිම උත්සහ කරමින් තමන් ඇත්තෙන්ම හොඳ ක්‍රියාවන්ම කරන බවට සිතා ගන්නාහ. (18:104) මෙවැන්නන්ම තමන්ගේ දෙවියන්ගේ ආයාවන්ද, ඔහුව හමු වන්නෙමු යන්නද ප්‍රතික්ෂේප කළ අයයි. ඔවුන්ගේ හොඳ ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. (පින් පව් කිරා බැලීමට) ඔවුන් වෙනුවෙන් විනිශ්චය දිනදී තරාදිය අපි නොසිටුවන්නෙමු (18:105)


එදිනදී (විනිශ්චය දිනදී) මිනිසුන් (හොඳ හෝ නරක හෝ) තමන්ගේ විපත් දකිනි පිණිස (විවිධ කොටස් වශයෙන් බෙදී) සමූහ සමූහ වශයෙන් (විනිශ්චය සඳහා) පැමිණෙනු ඇත, එබැවින් කවුරුන් එක් අනු ප්‍රමාණයක් හෝ පින්කර තිබුණේ නම්, ඔහු (එදිනදී) එය දැක ගන්නේය. (එසේම) කවුරුන් එක් අනු ප්‍රමාණයක් හෝ පාපයන් කර තිබුණේද, එයද ඔහු (එදිනදී) දැක ගන්නේය. (99:6-8)

ඉහත දිව්‍යමය වදන් වලින් පැහැදිළි වන්නේ දෙවියන් අපව පැහැදිළි කාරණාවකට නිර්මාණය කර ඇති බවත්, ඔහුම අපට පින් සහ පව් වෙන්කර පෙන්වා දී ඇති බවත්, මිනිසා සිතන සහ කරන සෑම දෙයක්ම දෙවියන්ට දැනගත හැකි බවත්, ඒවා සටහන් කර ගන්නා බවත්, විනිශ්චය දිනදී ඒවාට ඵලවිපාක දෙන බවත් ය. දෙවියන්ව සහ ඔහු පෙන්වා දී ඇති ක්‍රමවේදයන්ට පිටින් කොතරම් කුසල් කලත් ඒවා නිශ්ඵල වන බවත් දන්වා තිබේ.

කුසල් අකුසල් හී යාන්ත්‍රණය හරිහැටි අවභෝද වූවාට පසු අපටම පහසුයි ඵලදාය් විදිහට පහසුවෙන් කුසල් රැස් කර ගැනීමට. ඒවා මේ ආකාරයට වර්ග වශයෙන් වෙන් කරගෙන වටහා ගත් විට තමන්ට එයට ගැලපෙන ආකාර වලට කුසල් කටයුතු එකතුකර ගත හැකිය.

දෙවියන් සම්බන්ධව කුසල් කරගත හැකි ක්‍රම.

දෙවියන්ව (තමන්ගේ නිර්මාතෘව) සිහිපත් කරන්න, ඔහුව ප්‍රසංශා කරන්න, ඔහුට ස්තුති කරන්න, ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය අගයන්න, ඔබ අතින් වූ වැරදි වලට ඔහුගෙන් සමාව ඉල්ලා සිටින්න. (සුභානල්ලාහ්, අල්හම්දුලිල්ලාහ්, අල්ලාහුඅක්බර් ආදී ලෙස). මේ සෑම වචනයකටම දෙවියන් කුසල් දෙන බවට පොරොන්දු වී ඇත. [දුආ ප්‍රාර්ථනා]

සුන්නත් සලාතයන් කිරීමද ඔබට ඉමහත් සේ කුසල් වැඩිකර ගත මාර්ගයකි.

ධර්මය සම්බන්ධව කුසල් කරගත හැකි ක්‍රම.

කුරාණය පාරායනය කිරීම, එය අධ්‍යයනය කිරීම, එය අන් අයට කියා දීම. නබිවරුන් පිළිබඳව අධ්‍යයනය කිරීම, ඒ ගැන සමාජය දැනුවත් කිරීම, නබිවරුන්ට දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම.

අවසන් දේවදූතවරයා (ﷺ) ද පැමිණ දැන් ඔහුද මරණයටද පත් වී ඇති නිසා දෙවියන්ගේ දේව පණිවිඩය ඉදිරි සමාජය වෙත ගෙනයාමේ වගකීම ඇත්තේද අපටමය. එනිසා හැකි අයුරින් එයට දායක වීමද ඉමහත් කුසල් ලැබෙන මාර්ගයකි.

තමන් සම්බන්ධව කුසල් කරගත හැකි ක්‍රම. 

අපි කළුවර කාමරයක තනිව සිටියත් අප හිතන දේ පවා අල්ලාහ් දන්නේය. අප අවදි වී නින්දට යනතෙක් කරමින් සිටින සෑම ක්‍රියාවක්ම කුසලක් බවට පත් කර ගැනීමට අල්ලාහ් අපට අවස්ථාව දී ඇත. සමහර අවස්ථා වල අල්ලාහ් අපට බෝනස් සහිත කාල ලබා දී ඇත. උදාහරණයකට, ශව්වාල් මස දින 6ක් උපවාසය කලොත් එය එම අවුරුද්ද පුරාම උපවාස කල කුසලට සම කර ඇත. නින්දට යන විට පවා දහම තුලින් පෙන්වා දී ඇති ආකාරයට එය සිදු කළොත් නින්දෙන් ඇහැරෙන තෙක්ම එය කුසල් එකතු වන්නක් බවට පත් කර ඇත. තමන් අදින විදිහ, කන බොන විදිහ, කොටින්ම වැසිකිළි යන විදිහ සහ සහකාරු හෝ සහකාරිය සමග ලිංගිකව හැසිරෙන කාරණාවෙදී පවා ඒවා නිසි පරිදි කළ හොත් ඒවටද කුසල් එකතු වේ.

ඥාතීන් සම්බන්ධව කුසල් කරගත හැකි ක්‍රම.

ඥාතීන්ගේ වැදගත්කම ඉස්ලාමය තුලින් මැනවින් පෙන්වා දී තිබේ. එනිසා ඔවුන්ගේ කටයුතු වලදී තමන්ගෙන් විය යුතු යුතුකම් ඇත්නම් ඒ කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීමට කම්මැලි නොවිය යුතුයි.

මිනිසුන් සම්බන්ධව කුසල් කරගත හැකි ක්‍රම.

ඉස්ලාම් දහමට අනුව සියළුම මිනිසුන් ආදම් අ.ස සහ හව්වා අ,ස ගේ දරු පරම්පරාවය. එනිසා සියල්ල තම සහෝදරයින් ලෙස සලකා කටයුතු කළ හැක. සියල්ලෝම දෙවියන්ගේ පරීක්ෂණයට මුහුණ දෙමින් සිටී. සමහරුන් උදව් අවශ්‍ය මට්ටම් වලට පත් වී සිටිය හැක. හැකි හැම විටකම ඔවුන්ට වචනෙකින් හරි උදව් කල හැකි නම් එය විශාල කුසලක් ලෙස අපට විනිශ්චය දිනයේ දැකිය හැකි වනු ඇත. අල්ලාහ් අප කරන දෙය දෙස බලා සිටී, මලායිකාවරුන් ඒවා සටහන් කරමින් සිටී. ගෙවෙන හැම මොහොතක්ම අපට කුසල් රැස් කිරීමට හැකි අවස්ථාවක් බව අමතක නොකළ යුතුයි

සතුන් සම්බන්ධව කුසල් කරගත හැකි ක්‍රම.

අල්ලාහ් සතුන්ව මිනිසාට වසඟ කර දී ඇත. ඔවුන් අපට යටහත් පහත් ලෙස සිටින ලෙස නිර්මාණය කර ඇත. ඔවුන්ගෙන් අපට බොහෝ ප්‍රයෝජනද ඇත. එසේම සමහර සතුන් ඉතා අහිංසකය. සමහර සතුන් ඉතාම ආදරබරින් යුක්තය. අප මේ සියල්ල කෙරෙහි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතුය. අපි සතුන් කෙරෙහි වැරදි ලෙස හැසිරුනහොත් ඔවුන් විනිශ්චය දිනයේදී අපට විරුද්ධව අල්ලාහ්ට පැමිණිලි කරනු ඇත. නිකරුනේ කුහුඹුවෙක් පවා මැරීමට අපට අයිතියක් නැත. කුසගින්නේ සිටි බල්ලෙකුට වතුර පොදක් දුන් අභිසාර කාන්තාවකට අල්ලාහ් ස්වර්ගය නියම කල බවත්, පූසෙක්ට ආහාර නොදී සිර කර සිටි කාන්තාවකට අල්ලාහ් අපාය නියම කල බවත් ඉස්ලාමය තුල පෙන්වා දී තිබේ.

පොදු සමාජය සම්බන්ධව කුසල් කරගත හැකි ක්‍රම.

බුලත් කාලා පාරට, බිත්තිවලට කෙල ගසමින් යන මිනිසුන් පොදු සමාජය ගැන සැලකිල්ලක් නොදක්වන අයයි. සමහරු විශාල ලෙස මුදල් වියදම් කර තම මෝටර් රථවල සයිලන්සර් ශබ්දය උවමනාවෙන්ම වැඩිකර ගනී. සමහර බස් වල අධික ශබ්දයෙන් සංගීතය දමා ගමන් යයි. සමහරු මිනිසුන් නොමග යවන, කාලය කා දමන හෝ කිසි වැඩකට නැති වීඩියෝ සමාජගත කරයි. මෙවැනි බොහෝ ක්‍රියා තුලින් මිනිසුන් බොහෝ අකුසල් රැස්කර ගනී. 

පොදු සමාජය ගැන අප හැම විටම සැළකිලිමත් විය යුතුයි. එහි අපට කුසල් රැස්කර ගත හැකි බොහෝ තැන් ද ඇත.

පරිසරය සම්බන්ධව කුසල් කරගත හැකි ක්‍රම.

අල්ලාහ් මිනිසාව පෘතුවියෙහි නියෝජිතයින් වශයෙන් එවා ඇත. සෑම මිනිසෙකුම තමන් ගේ පරිසරය ආරක්ශා කිරීමට බැඳී සිටී. අල්ලාහ් සියල්ල බලා සිටී. පරිසරය අපට විරුද්ධව හෝ අපට පක්ෂපාතීව අල්ලාහ් ඉදිරියේ කරුණු ඉදිරිපත් නොකරාවි යැයි ඔබ සිතන්නේද? අපි පොලොවේ පස් වලින් සැදුනු අය වන්නෙමු. එනිසා පොලොවට කෙල ගැසීමෙදී හෝ හයියෙන් අඩිය තබා ඇවිදීමේදී පවා පරිස්සම් වන්න. අපි ආපසු යන්නෙත් ඒ පොළොවටමමයි.


තම එදිනෙදා ජීවිතයේදි කුසල් රැස්කරගත හැකි ක්‍රම රාශියක් අපට අවසන් දේවදූත මොහම්මද් ﷺ තුමා හරහාද දැනගන්නට ලැබී ඇත. මෙහි පහතින් සඳහන් ව ඇති රියාලූස් සාලිහීන් ග්‍රංතය තුලින් ඒවා පහසුවෙන් සොයාගත හැක.

මේ සම්බන්ධව ඔබගේ අදහස් අපට ලියන්න

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us