
දාවා පිළිබඳ හැඳින්වීම සහ එය ඉටු කරන ආකාරය
da'wah දාවා (ද'වහ්) دعوة අරාබි වචනයෙහි පරිවර්ථනය "කැඳවීමක් නිකුත් කිරීම", "ආරාධනය" හෝ "ඇමතුම" යන්නයි. daʿwāt دَعْوات (ද'වාත්) දාවාත් එහි බහු වචනයයි.
ඉස්ලාමීය සන්දර්භය තුළ, මෙම වචනය භාවිතා කරන්නේ ඉස්ලාමයේ පණිවිඩය දෙසට, දෙවියන් වහන්සේ දෙසට, නිර්මාතෘ දෙසට, සත්‍යය දෙසට, සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද නිවැරදි මාර්ගය දෙසට මිනිසුන්ව කැඳවීමේ, ආරාධනා කිරීමේ සහ ඔවුන්ට ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියටයි.
දාවාත් කටයුත්තේ නියැලෙන පුද්ගලයාව da'i داي දායී කෙනෙකු ලෙස හඳුන්වයි.
දෙවිඳුන් මිනිසුන්ව නිර්මාණය කළේ ඔවුන් පරීක්ෂන අවස්ථාවකට මුහුණ දෙන්නක් ලෙසටය. එහිදී එම මිනිසුන් ආකාර දෙකක් ලෙස නිර්මාණය කර ඔවුන්ව පරීක්ෂා කරයි.
1. දෙවියන්ගේ මාර්ගෝපදේශය ලද ජනතාව.
- දෙවියන්ගේ පණිවිඩය ලද ජනතාව [එනම්, නබිවරුන් සහ ඔවුන් වෙතින් පණිවිඩය ලද මුස්ලිම් ජනතාව] විසින් එය නොලද ජනතාවට පැවසිය යුතුය.
2. දෙවියන්ගේ මාර්ගෝපදේශය නොලද ජනතාව.
- දෙවියන්ගේ පණිවිඩය නොලද ජනතාව එය පවසන නබිවරයාගෙන් හෝ (එය ලද සහ) එය ඉදිරිපත් කරණ අනිකුත් (මුස්ලිම්) ජනතාව ගෙන් එය ලබා ගත යුතුයි.
එයට අනුව මේ දෙගොල්ලන්ටම (50%-50%) වගකීම් ඇත. (මුස්ලිම් අය මෙය අන් අයට කීමට උත්සහ ගත යුතුයි, මුස්ලිම් නොවන අය මෙය සොයා ගැනීමට උත්සහ ගත යුතුයි). මේ ගැන වැඩි විස්තර මුස්ලිම්වරුන්ට දෙවියන්ගේ පරීක්ෂණය පහසුද? ලිපියෙහි සඳහන්ව ඇත.
✨ දාවා ආරම්භ වන්නේ නබිවරුන්ගෙනි.
දෙවියන් වහන්සේ වහී හෙවත් දිව්‍ය හෙළිදරව් මගින් තම පණිවිඩය සහ මාර්ගෝපදේශය නබිවරුන්ට ලබා දෙයි. නබිවරුන් එය ජනතාවට දැනුම් දෙයි. ඉන් පසු, එය පිළිගත් ජනතාව එය එතෙක් නොලැබූ ජනතාවට දැනුම් දෙයි. එසේ නොවුන හොත් නබිවරුන් සහ එය ලැබුණු සහ පිළිගත් අයද දෙවියන් ඉදිරියේ වරදකරුවන් බවට පත් වේ.
ශුභාරංචි දෙන්නෙක් වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙක් වශයෙන්ද අපි අපගේ දූතයින්ව යැව්වෙමු; (18:56)
(නබියේ!) නියත වශයෙන්ම අපි මිනිසුන්ගේ යහපත සඳහාම සම්පූර්ණයෙන්ම සත්‍යයයෙන් පිරි මෙම ධර්මය ඔබ වෙත පහළ කළෙමු; (39:41)
(නබියේ!) මීට මෙර අපි දූතයින් බොහෝමයක් දෙනාව යැවූ) මේ අන්දමටම ඔබවද අපි (අපගේ දූතයා වශයෙන්) එක් සමූහයක් වෙත යැව්වෙමු. මොවුන්ගෙන් පෙරද (මොවුන්ගෙන්) විවිධ සමූහයන් ඉකුත්ව ගොස් ඇත්තාහ. (දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් වෙත දූතයෙකු නොපැමිණියේය). එබැවින් අපි ඔබට වහී මගින් දැනුම් දෙන දැය මොවුන්ට ඔබ සමුදීරණය කර පෙන්වා දෙනු; (13:30)
නබියේ, ඔබගේ දෙවියන් ආදම්ගේ පරම්පරාවේ දරුවන් වන ඔවුන්ගේ පිටකොන්දෙන් ඔවුන්ගේ පරම්පරා දරුවන්ව ඉකුත් කර, ඔවුන් තමන්වම ඔවුන්ට සාක්ශියක් වශයෙන්ද තබා (ඔවුන්ට) "මා ඔබගේ දෙවියන් නොවේද"? යි විමසූ විට, "ඇත්තෙන්ම (ඒ ආකාරයටම) අපි සාක්ශි දරන්නෙමු" යැයි ඔවුන්ගේ පැවසීම (ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. (මන්දයත් මෙය කිසිවෙකුත් මතක් කර නොදුන් බැවින්) නියත වශයෙන්ම අපි මෙය අමතක කර දමා නොසැලිකිලිමත්ව සිටියෙමු" යැයි පරලොව දිනදී ඔවුන් නොකියා සිටීම සදහාද..,(7:172)
සෑම වාර්ගිකයන් වෙතම (අපි යැවූ අපගේ දූතයාව ඔවුන්ට) සාක්ෂි වශයෙන් අපි කැඳවන (දිනය ගැන නබියේ! ඔබ ඔවුන්ට මතක් කර දෙනු); (16:84)
මුහම්මද් නබි (ﷺ) තුමා මනුෂ්‍ය වර්ගයා වෙත එවන ලද අවසාන අනාගතවක්තෘවරයා සහ දෙවියන් වහන්සේගේ අවසාන දූතයා වේ. එතුමා නබිත්වය වසර 23ක් පුරා ඉටු කළේය. එතුමා (ﷺ) මිය යාමට පෙර දහම සම්පූර්ණ කළේය. එය එතුමාගේ සිට මුළු ලෝක වාසීන්ටම ලෝක අවසානය තෙක් වලංගු වේ. එසේම එය ප්‍රචාරය කිරීමට හොඳ අනුගාමිකයින් පිරිසක්ද බිහි කළේය. එම දහම පිරිසිදුව සහ සම්පූර්ණවම අද දක්ක්වාත් පැමිණ ඇත.
මුහම්මද් නබි (ﷺ) තුමාගේ අවසාන සමුගැනීමේ දේශනාවේදී, ඔහු මෙම බලගතු පණිවිඩය අවසන් කළේ, 'පැමිණ සිටින අය නොපැමිණෙන අයට ප්‍රකාශ කරත්වා' යන වචන සමඟිනි. එසේම එතුමා මෙසේද ප්‍රකාශ කළේය.'(මගේ ඉගැන්වීම්) තනි වාක්‍යයක් වුවද ජනතාවට ප්‍රකාශ කරන්න'.
එබැවින්, අල්ලාහ්ගේ මාර්ගයට මිනිසුන් කැඳවීමේ ක්‍රියාව විද්වතුන් සඳහා පමණක් අදහස් නොකෙරේ, ඒ වෙනුවට එහි මූලික මට්ටමින් හෝ පණිවිඩය ප්‍රචාරය කිරීම එය ලද සැමට පොදු ආඥාවකි, වගකීමකි.
විනිශ්චය දිනයේදී, මුස්ලිම් නොවන අයද අවසාන විනිශ්චයකරු වන අල්ලාහ්ට මුහුණ දෙන අතර ඔවුන්ගෙන් ඇදහිල්ල පිළිබඳව එහිදී ප්‍රශ්න කරනු ලැබේ. ඔබේ මුස්ලිම් නොවන මිතුරන්, සගයන්, සහ අසල්වැසියන් එවිට, ඔබ ඔවුන් වෙත මෙම පණිවිඩය ලබා දීමට අපොහොසත් වූ පුද්ගලයා ලෙස චෝදනා කළ හැකිය.
මේ නිසා ඔබ ඉස්ලාමයේ පණිවිඩය ප්‍රකාශ කළ යුතු අතර, එය ඔබේ දෛනික ජීවිතයේදී කතාවෙන් සහ ක්‍රියාවෙන්ද පෙන්නුම් කළ යුතුයි. දෙවියන් වහන්සේ කුරානයේ සඳහන් කරන්නේ ඔහු මුස්ලිම්වරුන්ව මධ්‍යම ජාතියක් බවට පත් කර ඇති බවත්, එබැවින් ඔවුන්ට සියලු මිනිසුන්ට සාක්ෂි දිය හැකි බවත්ය. අද ලොව ජනගහනයෙන් 25%ක් මුස්ලිම්වරුන්ය. ඉතිරි 75%ට මෙම පණිවිඩය ලබා දීම ඔවුන්ගේ වගකීමකි. දෙවියන් වහන්සේ මුස්ලිම්වරුන්ව තෝරාගෙන ඇත්තේ මනුෂ්‍යත්වයට සේවය කිරීමට මෙන්ම දෙවියන්ගෙන් ඈත්වී සිටින මිනිසුන්ව නැවත දෙවියන් වහන්සේ (ගේ මාර්ගෝපදේශය) වෙත යොමු කිරීමටය.
මුස්ලිම් පව්ල්වල උපන් ඔබ සහ පසුව ඉස්ලාම් දහම වැළදගත් නවක මුස්ලිම්වරුන්ද, ඔබේ දෛනික ජීවිතය තුලින්ද ඉස්ලාමයේ පණිවිඩය රැගෙන යා යුතුය. එය ඔබේ වචන වලින්, ඔබේ චරිතයෙන්, අන් අය සමඟ කරන ඔබේ ගනුදෙනුවලින්, ඔබේ ව්‍යාපාර ගනුදෙනුවලින් සහ ඔබේ එදිනෙදා කාර්යයන් තුළින් පෙන්නුම් කළ යුතුයි. එසේ නොවුවහොත්, අපගේ අනාගතවක්තෘවරයා විනිශ්චය දිනයේදී ඔබට විරුද්ධව සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් විය හැකි අතර, මෙම වැදගත් කාර්යය නොසලකා හැරීම සම්බන්ධයෙන් ඔබට දෙවියන්වහන්සේගෙන් දඬුවම් ලැබිය හැකිය.
ඉස්ලාමීය පණිවිඩය අන් අයට පැවසීම, දෙවියන්ගේ මාර්ගය වෙත ආරාධනා කිරීම හෙවත් දාවා කටයුත්ත කිරීම කෙසේ කළ යුතු දැයි දෙවියන්ම මුස්ලිම්වරුන්ට පෙන්වා දී ඇත.
(නබියේ!) ඔබ (මිනිසුන්ට) ප්‍රඥාවෙන්ද, අලංකාරවත් හොඳ ඔවදන් මගින්ද ඔබගේ දෙවියන්ගේ මාර්ගය දෙසට ආරාධනා කරණු මැනව! තවද ඔවුන් සමග (තර්ක කිරීමට සිදු වුවහොත්) ඔබ (ගෞරවණීය හා) අලංකාරවත් අන්දමින් තර්ක කරනු මැනව!; (16:125)
මෙය වටහා ගත් සමහර මුස්ලිම්වරුන් (විවිධ සමජීය හේතු මත සෘජුවම ඉස්ලාමීය පණිවිඩය තම අසල්වාසීන්ට නොදුන්නත්, ඔවුන් වෙනත් ආකාරවලින්) එය ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටී. උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ.
✨ වචනවලින් ඔබ්බට: චරිතය සහ ක්‍රියාව හරහා දාවාත් කිරීම.
ඉස්ලාම් වචනය ප්‍රචාරය කිරීමේ ක්‍රියාව විවිධ ආකාරවලින් සිදුවිය හැකි අතර එය කථනය, දේශනා කිරීම හෝ පොත් පත් සහ Social media වැනි සම්ප්‍රේෂණ සාහිත්‍යය හරහා පමණක් සිදු නොවේ.
ඇත්ත වශයෙන්ම, ඉස්ලාමය නිරූපණය කිරීමට සහ ඉගැන්වීමට වඩාත්ම ඵලදායී හා වැදගත් ක්‍රමය වන්නේ මුස්ලිම්වරයා හොඳ චරිතයක්, ශක්තිමත් පෞරුෂයක්, කරුණාවන්ත හැසිරීමක් සහිත මෘදු, අවංක, සත්‍යවාදී, හොඳ ජීවමාන ආදර්ශයක් වීමයි. (විශේෂයෙන්ම, ඉස්ලාමයේ කැඳවුම්කරුට පණිවිඩය ඵලදායී ලෙස ප්‍රකාශ කිරීම සඳහා මෙම ලක්ෂණ තිබිය යුතුය).
එවිට ඔවුන්ගේ පණිවිඩය ශක්තිමත්ව තබා ගැනීමට සහ අන් අය විසින්ද එය බැරෑරුම් ලෙස සැලකිය හැකිය. මෙම ගුණාංග නොමැතිව, කෙනෙකු ඉදිරිපත් කරන පණිවිඩය ශක්තිමත් නොවේ. අන් අය විසින් එය බැරෑරුම් ලෙස නොසලකනු ඇත. කෙනෙකුගේ චරිතය හෝ ක්‍රියාවන් අපකීර්තියට පත් වුවහොත් සහ ඔවුන්ගේ දේශනා සමඟ සමපාත නොවන්නේ නම්, ඔහුගේ පණිවිඩය බැරෑරුම් ලෙස නොසලකනු ඇත. සවන්දෙන්නන් ඔවුන්ගේ වචන විශ්වාස නොකරනු ඇත, විශේෂයෙන් ඔවුන් සොරකම් කරන්නේ නම්, බොරු කියන්නේ නම් හෝ වංචා කරන්නේ නම් ඔහුගේ දාවාත් සඳහා වන උත්සහය නිශ්ඵල විය හැක. අපගේ මුහම්මද් නබි (ﷺ) තුමා ඉස්ලාම් දේශනා කිරීමට දශක ගණනාවකට පෙර ඔහුගේ ප්‍රජාව අතර 'සත්‍යවාදීයා, විශ්වාසවන්තයා' ලෙස ප්‍රසිද්ධ විය.
දාවා යන්නට යහපත අණ කිරීමෙන් සහ නපුර තහනම් කිරීමෙන් තම ආගමේ ඇතැම් දුර්වල මුස්ලිම්වරුන්ට උපකාර කිරීම සහ මතක් කිරීම ද ඇතුළත් වේ.
✨ ප්‍රජා සේවය සහ සමාජ බලපෑම හරහා දාවාත්
සෑම කෙනෙකුම විද්වතෙකු හෝ දේශකයෙකු වීමට අදහස් නොකරන බවත් දාවාත් විවිධ ආකාරවලින් පැමිණෙන බවත් සැලකිල්ලට ගත යුතුය. මිනිසුන්ට සහ සමාජයට ප්‍රතිලාභ සැලසීම සඳහා මිනිසුන්ට බොහෝ ආකාරවලින් දාවාත්හි නිරත විය හැකිය.
තම පවුල, තම ප්‍රජාව සහ පොදු සමාජය තම හැකියාවෙන් උපරිම ලෙස දියුණු කිරීම සෑම මුස්ලිම්වරයෙකුගේම යුතුකමකි. ජාතිවාදය, අයුක්තිය, දරිද්‍රතාවය, ආක්‍රමණ ආදියට එරෙහි සටන් සහ අරගලවල පෙරමුණ ගැනීමට මුස්ලිම්වරයෙකු සම්බන්ධ වී කැපවිය යුතුය.
මුස්ලිම්වරයෙකු යනු තම ප්‍රජාවට සහ පොදු සමාජයට යහපත සලසන අයෙකි. මුස්ලිම්වරයෙකු යනු අන් අයට වටිනා, සේවයක් කරන, අන් අයට ධනාත්මක වෙනසක් සහ බලපෑමක් ඇති කරන අයෙකි. එය ස්වේච්ඡා සේවය, සමාජ වැඩ, ප්‍රාදේශීය අනාථ නිවාසවලට උදව් කිරීම, දුප්පතුන්ට උපකාර කිරීම, උපදේශනය, දේශපාලන ක්‍රියාකාරිත්වය, පාසල් ගොඩනැගීම හෝ තම සම වයසේ මිතුරන්ට හෝ ප්‍රජා තරුණයින්ට උපදෙස් දීම වැනි ආකාරවලින් ද විය හැක.
නිදසුනක් වශයෙන්, මුස්ලිම් වෛද්‍යවරයෙකු සතියකට හෝ මාසයකට එක් දිනක් තම ප්‍රජාවට යම් සහනයක් ලබා දීම සඳහා කැප කළ හැකි අතර, සෞඛ්‍ය සේවා නොමැති අයට නොමිලේ සායනයක ස්වේච්ඡා සේවයක් ලබා දිය හැකිය.
මුස්ලිම්වරුන් තමාගේම කුසලතා, ශක්තීන්, අධ්‍යාපනය, පසුබිම සහ පෞරුෂය ගැන මෙනෙහි කළ යුතු අතර, දෙවියන් වහන්සේ තමන්ට ලබා දී ඇති විශේෂිත ගුණාංග සහ වරප්‍රසාද වෙනුවෙන් ස්තුති කර ඒවා අන් අයට ප්‍රයෝජනවත් වන පරිදි භාවිතා කළ යුතුය.
එම ගුණාංගයන් අන් අයට ඉගැන්වීම, නිර්මාණශීලිත්වය, නායකත්වය, දැනුම, මුදල්, රැකවරණ යන ආකාර වලින් පැමිණිය හැකිය. නබි (ﷺ) තුමාගේ උම්මතය හෙවත් වත්මන් ඉස්ලාමීය ප්‍රජාව සියළු කෝණවලින් උපකාර සහ සේවාවන් කරන අය විය යුතුය. දෙවියන් වහන්සේගේ අවසාන අනාගතවක්තෘවරයා මෙසේ පැවසීය: 'අල්ලාහ්ට වඩාත්ම ආදරණීයයා ජනතාවට වඩාත්ම ප්‍රයෝජනවත් වේ.'
මුස්ලිම්වරයෙකු මෙම සමාජ සේවා සහ සත්කාරක ක්‍රියාවන් අල්ලාහ්ට මිස අන් අයට පෙන්වීමේ අරමුණින් සිදු නොකල යුතු නමුත්, ඒවා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම හරහා මුස්ලිම් නොවන අයට හෝ ඒ කාරණය සඳහා දුර්වල හෝ ප්‍රායෝගික නොවන මුස්ලිම්වරුන්ට පවා හොඳ ආදර්ශයක් විය හැකි යයි සිතන්නේ නම් එසේ කිරීම වරදක් නොවේ.
සායනයක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී නොමිලේ සේවාවන් ලබා දෙන ඉස්ලාමය නියෝජනය කරන හිජාබ් පැළඳ සිටින මුස්ලිම් වෛද්‍යවරියක් හෝ හෙදියක් දුටු විට කෙනෙකුට ඉස්ලාමය කෙරෙහි ආශ්වාදයක් සහ කුතුහලයක් ඇති විය හැකිය. මේවාදා දාවාත් හී කොටස් වේ.
✨ දාවාහි ඉවසීම සහ නිහතමානීකම:
දාවා කාර්යයේ නියැලෙන තැනැත්තා ඉවසිලිවන්ත විය යුතු අතර යටත් නොවිය යුතුය හෝ බලාපොරොත්තුව නැති කර නොගත යුතුය. තමාගේ කුමන වචනය ශ්‍රාවකයාගේ හදවතේ රෝපණය වී ඔහුගේ ජීවිතයට ආලෝකය ලැබී කුමණ මොහොතේ වෙනස් වෙයිද යන්න අල්ලාහ් හැර කිසිවෙකු නොදනී.
දාවා කාර්යයේ නියැලෙන තැනැත්තාට අවබෝධ විය යුත්තේ තමාට කිසිවෙකුගේ හදවත හෝ මනස පරිවර්තනය කිරීමේ හැකියාවක් නොමැති බවයි. ඒ වෙනුවට, මඟ පෙන්වීම පැමිණිය හැක්කේ සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් පමණි. තම මඟ පෙන්වීමට සුදුසුකම් ලත් අය කවුරුන්ද යන්න අල්ලාහ් දනී. දෙවියන් වහන්සේ ශුද්ධ වූ කුරාණයේ තම දූතයාට මෙසේ පවසයි:(නබියේ!) ඔබ කැමති අයව ඍජු මාඑගයේ ඇතුළු කිරීමට නියත වශයෙන්ම ඔබට නොහැකිය. එහෙත් අල්ලාහ් තමන් කැමති අයවම ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඍජු මාර්ගයෙහි යා හැකි අය කවුරුන්දැයි ඔහුම හොඳින් දන්නේය. (28:56)
දෙවියන් වහන්සේගේ දූතයින්ගේ මෙන්ම ඔවුන්ව අනුගමනය කරන මුස්ලිම්වරුන්ගේ කාර්යය සහ යුතුකම වන්නේ පැහැදිලි වචනවලින් සහ හැකි තරම් කරුණාවන්තව අන් අයට පණිවිඩය මතක් කිරීමයි. ඉතිරිය දෙවියන් වහන්සේට භාරයි."ඔබගේ යුතුකම පණිවිඩය ගෙන ඒම පමණි; තවද ගණන් බැලීම අප සතුය" (කුරානය 13:40)
✨ දාවාහි දැනුම සහ අන්තර් ආගමික සංවාදය:
දෙවියන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කිරීමේ නිරත වන තැනැත්තාට අල් කුරාණයේ සහ සුන්නාවේ විස්තර කර ඇති පරිදි ඉස්ලාමීය කතිකාව පිළිබඳ අවබෝධයක් අවශ්‍ය වන අතර ඔහු ආමන්ත්‍රණය කරන කරුණු පිළිබඳව දැනුමක් තිබිය යුතුය.
යමෙකු වෙනත් ආගම්වල පුද්ගලයින් සමඟ සාකච්ඡා කරන්නේ නම් හෝ විවාද කරන්නේ නම්, ඔහුට හෝ ඇයට මෙම විශ්වාසයන් පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. පොදු පදනමක් ගොඩනඟා ගැනීමට සහ ඔවුන්ගේ ආගම තුළ ඔවුන් නොසලකා හරින තව්හීද් (ඒක දේවවාදය හෙවත් දෙවියන් වහන්සේගේ ඒකීයභාවය) ගැන ඔවුන් සමඟ කතා කිරීම වටින්නේය.
විවිධ විශ්වාසයන් අතර සමානකම් අවධාරණය කිරීමෙන් සහ පොදු පදනමක් ස්ථාපිත කිරීමෙන් ග්‍රන්ථයේ මිනිසුන්ට (එනම්, ක්‍රිස්තියානි සහ යුදෙව්වන්ට) දාවා ලබා දෙන ලෙස කුරානය මුස්ලිම්වරුන්ට උපදෙස් දෙයි. "ඔබ සහ අපි අල්ලාහ්ව (එනම් එකම මැවුම්කරු) හැර අන් කිසිවෙකුට නමස්කාර නොකළ යුතුය, එසේම ඔහු සමඟ කිසිදු සහකරුවෙකු සම්බන්ධ නොකළ යුතුය" යන්න ඔවුන්ට මතක් කර දිය යුතුය.
"ශුද්ධ ලියවිල්ල ලත් ජනයිනි, අප හා ඔබ අතර පොදු කොන්දේසි වලට පැමිණෙන්න - අපි අල්ලාහ් හැර අන් කිසිවෙකුට නමස්කාර නොකරමු, ඔහු සමඟ කිසිවක් සම්බන්ධ නොකරමු, අල්ලාහ් වෙනුවට එකිනෙකා ස්වාමිවරුන් ලෙස නොගන්නෙමු." නමුත් ඔවුන් ප්‍රතික්ෂේප කළහොත්, "අපි ඔහුට යටත් වන මුස්ලිම්වරුන් බවට සාක්ෂි දරන්න" යැයි පවසන්න.(3:64)
ග්‍රන්ථයේ ජනයා සමඟ සංවාදයක යෙදෙන විට, අපගේ ප්‍රධාන ඉලක්කය වන්නේ අපගේ පැහැදිලි සහ සත්‍ය ආගම ඉදිරිපත් කර ඔවුන්ට එක්වන ලෙස ආරාධනා කිරීමයි. ඔවුන්ගේ ඇදහිල්ල හෝ ග්‍රන්ථ වැරදි බව ඔප්පු කිරීමට සුසුදු කාලයක් සහ ස්ථානයක් සකසා ගන්නා තෙක් එය පහත් කොට සැලකීම නොකළ යුතුය. අපගේ ඉලක්කය වන්නේ අප පිරිනමන දෙය දෙවියන් වහන්සේගේ සැබෑ වචනය බවත් අපගේ ආගම දෙවියන් වහන්සේට පිළිගත හැකි එකම ඇදහිල්ල බවත් ඔප්පු කිරීමයි.
දෙවියන්වහන්සේ ගැන අවභෝධයක් හෝ දැණුමක් නොමැතිව වෙනත් දෑ නමදිමින් සිටින අයට තමන්ගේ නිර්මාතෘ මෙන්ම සියල්ලෙහි හිමිකරු වන සර්වබලධාරී දෙවියන්වහන්සේ ගැන සහ ඔහුගේ නිර්මාණ, ඔහුගේ මාර්ගෝපදේශ ගැන අවභෝධ කරවීමම ප්‍රමාණවත් විය හැක. ඔවුන්ගේ දහමෙහි අඩුපාඩු පෙන්වා දීමක් අප විසින් කළ යුතු නැත. එය ඔවුන්ම වටහා ගනීවි.
✨ දාවාහි ආචාර ධර්ම: මෘදුකම සහ ගෞරවය
දාවාහි සංවාදයේ යෙදෙන තැනැත්තාට ඉලක්කයක් ඇත. එය 'තර්කය ජය ගැනීම නොව, පුද්ගලයාට සත්‍ය පහදා දී පුද්ගලයාව දිනා ගැනීමය'. සමහර විට උණුසුම් තර්ක මගින් පුද්ගලයෙකු ඉස්ලාමයෙන් ඈත් කිරීම සිදු විය හැක.
දාවා දීමේදී, අනෙකාට වටිනාකමක් නැති බවක් දැනෙන්නට සැලැස්වීම හෝ ඔහුව හෙළා දැකීම නොකළ යුතුය. ආරාධනා කරන පුද්ගලයාගේ ආකල්පය මෘදු, කරුණාවන්ත සහ ලස්සන විය යුතුය. රළු ආකල්පයක් මගින් අධෛර්යමත් කර සත්‍යයෙන් මිනිසුන්ව ඈත් කළ හැකි බැවින්, මෘදු ලෙස පණිවිඩය ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය වේ.
ඇත්ත වශයෙන්ම, දෙවියන් වහන්සේ කුරානයේ නබි මුහම්මද් (ﷺ) තුමාට පවසන්නේ, ඔහු සමග මෙතෙක් ජීවත් වූ හොඳම මිනිසුන් ලෙස ප්‍රසිද්ධ තම සහචරයින්ට පණිවිඩය ප්‍රකාශ කිරීමේදී රළු සහ දැඩි නම්, ඔවුන් ඔහුගෙන් විසිරී යන බවයි.
"[නබියේ!], අල්ලාහ්ගේ කරුණාවෙන් ඔබ ඔවුන් කෙරෙහි මෘදු විය. ඔබ දැඩි හා රළු (කතාවෙන් සහ හදවතින්) සිටියේ නම්, ඔවුන් ඔබෙන් විසිරී යනු ඇත; (3:159)
විශේෂයෙන් නවක මුස්ලිම්වරුන් තම පව්ලේ සහ සමීපතමයින්ට දවාත් ලබා දීමේදී මෙය වඩාත් සැලකිල්ලට ගත යුතුය. එසේ නොවුවහොත්, ඔබට ඔබේ ආදරණීයයන් බොහෝ සෙයින් ඔබෙන් දුරස් වීමට ඉඩ ඇත.
තමන් දෙවියෙකු ලෙස ප්‍රකාශ කර, ළදරුවන් සහ අහිංසක මිනිසුන් මරා දැමූ, මෙතෙක් ජීවත් වූ නරකම මිනිසා ලෙස සලකන සහ තමාව හදාවඩා ගත් පාරාවෝට ඉස්ලාමයේ පණිවිඩය මෘදු ලෙස දැනුම් දෙන ලෙස දෙවියන් වහන්සේ අනාගතවක්තෘ මූසා (අ.ස)ට සහ ඔහුගේ සහෝදරයා වන නබි හාරොන් (අ.ස)ට උපදෙස් දුන්නේය.
"ඔබ දෙදෙනාම පාරාවෝ වෙත යන්න. ඇත්ත වශයෙන්ම, ඔහු අපරාධ කර ඇත. ඔහුට මතක් කර දීමට හෝ [අල්ලාහ්ට] බිය වීමට හැකි වන පරිදි මෘදු වචනයෙන් ඔහුට කතා කරන්න" (අල් කුරානය 20:43-44)
✨ දාවාහි සාර්ථකත්වය මැනීම: සංඛ්‍යාවට වඩා අභිප්රායඇත්ත වශයෙන්ම, නූහ් නබිතුමා වසර 950 ක් පමණ ඉස්ලාමයේ පණිවිඩය දේශනා කළ අතර ඉතා සුළු පරිවර්තන කිහිපයක් පමණක් දුටුවේය. දෙවියන් වහන්සේ වෙනුවෙන් වන තමන්ගේ කාර්යයේ අභිප්‍රාය නිරන්තරයෙන් මතක තබා ගැනීම වැදගත් වේ.
මේ ලෝකයේ කෙනෙකුට ප්‍රකාශ කළ හැකි හොඳම කතා විලාසය දෙවියන් වහන්සේගේ මාර්ගෝපදේශය වෙතට මිනිසුන්ව ආකර්ෂණය කරන ආරාධනා වචන බවත්, ඔවුන්ගේ මැවීමේ අරමුණ ග්‍රහණය කර ගැනීමට සහ අවබෝධ කර ගැනීමට අන් අයට ආරාධනා කිරීම බවත් දෙවියන් වහන්සේ පවසයි.
"තවද, අල්ලාහ් වෙත ආරාධනා කර දැහැමිකම් කර, "නියත වශයෙන්ම, මම මුස්ලිම්වරුන්ගෙන් කෙනෙක්" යැයි පවසන කෙනෙකුට වඩා වචනයෙන් දක්ෂ කවුද (අල් රාණය 41:33)
අපගේ නබි (ﷺ) තුමා මෙසේ පැවසීය: 'යමෙකු යහපත කිරීමට යොමු කරන්නේ නම්, යහපත කරන්නාට සමාන විපාක ලැබෙනු ඇත.'
යමෙකු ඔබෙන් ඉස්ලාමය පිළිගන්නේ නම් හෝ පිළිනොගන්නේ නම් ද, එම උත්සාහය සඳහා ඔබට දෙවියන් වහන්සේගෙන් මහත් විපාක ලැබෙනු ඇත.
කාලය මත සත්තකින්ම, මිනිසා තම ආයුෂ කාලය නිකරුනේ වියදම් කර නියත වශයෙන්ම පරාජික මාර්ගයේ සිටින්නේය. එහෙත් කවුරුන්, විශ්වාසය තබා දැහැමි කාරනාවන්ද කර සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අතැහැර දැමීමෙහිද පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම විද දරා ගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙක් ඔවදන් දෙමින් සිටින්නෝද) ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත) (103:1-3)