
දුආ ප්‍රාර්ථනා යනු කුමක්ද?
දුආ ප්‍රාර්ථනා යනු ආයාචනා සහ ප්‍රාර්ථනාවන්ය. මුස්ලිම්වරයන්ට මෙය භාවනාවකි, නැමදුමකි, තම නිර්මාතෘව ඍජුවම සම්බන්ධකර ගැනීමකි. තම සිතෙහි ඇති දේ ප්‍රකාශ කිරීම, පාපොච්චාරණය (තව්බා) කිරීම, පිහිට පැතීම, දෙවියන්ව සිහිපත් (දික්ර්) කිරීම, දෙවියන්ව ප්‍රසංශා (ශුක්ර්) කිරීම ආදියත් මේ යටතට ඇතුලත්ය.
නබි (ﷺ) තුමානන් පවසා තිබෙනවා තම නිර්මාතෘව සිහිපත් කරන්නා සහ නොකරන්නා හරියට පණ ඇති කෙනා සහ පණ නැති කෙනා වගේ කියලා. දෙවියන්ව සිහිකිරීම හදවතට සැනසීමකි, එය හරියට මාළුවන්ට වතුර මෙනි. අල්ලාහ්ව සිහිකිරීමෙන් විශ්වාස කරන්නන්ගේ හදවත් වලට සැනසීම ලැබෙන බවට දෙවිඳුන් සහතික කර ඇත.
(නබියේ!) ඔබගෙන් මගේ දාසයන් මා ගැන විමසුවහොත් (එයට ඔබ මෙසේ කියනු); "නියත වශයෙන්ම මා සමීපයෙහිම සිටින්නෙමි. (කවුරුන් හෝ) මාව ආරාධනා කළහොත් එම ආරාධනා කරන්නාගේ ආරාධනාවට මා පිළිතුරු දෙන්නෙමි". එබැවින් මා වෙතම ප්‍රාර්ථනා කළ යුතුය. මාව විශ්වාස කළ යුතුය. (එමගින්) ඔවුන් ඍජු මාර්ගය අත් කර ගන්නාහ" (Al Quran 2:186)
මිනිසාගේ නිර්මාතෘ ලොව වසන අවසන් ජන සමූහය වන අපට ඍජු මාර්ගෝපදේශය ලෙස ශුද්ධ වූ අල් කුරාණය පකළ කර මිනිසාගේ දහම සම්පූර්ණ කර ඇති බවත් පවසා තිබේ. ශුද්ධ වූ අල් කුරාණය ආරම්භ කරනුයේ ඉතාමත් ප්‍රභල ප්‍රාර්ථනාවක් සමගිනි. දෙවියන් වහන්සේම එය මිනිසාට උගන්වා දී තිබේ. එනම්, මේ ලෝකය තුල මිනිසාට තම ජීවන ගමනේ මාර්ග දෙකක් හමුවේ. එකක් ඍජු මාර්ගය, අනික්වා වරද ගිය මාර්ග.
අපි මේ ලොව තුල මොන ජයග්‍රහනය ලැබුවත් වැඩක් නෑ මේ ජීවිත කාලය තුල තමන්ට ඍජු මාර්ගයදී මගහැරුනොත් . එම නිසාම දෙවියන් ඔහුගේ මාර්ගෝපදේශය හරනා මිනිසාට පවසන්නේ ඍජු මාර්ගය පෙන්වා දෙන ලෙස දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරන ලෙසය.
ඔබවම අප නමදින්නෙමු. ඔබගෙන්ම අප පිහිට පතන්නෙමු. ඔබ අපට සෘජු මාර්ගය පෙන්වා දෙනු මැනව . ඔබගේ අනුකම්පාව හා දයාව කාහට පහළ කලේද, ඔවුන්ගේ මාර්ගයේ යාමට සලස්වනු මැනව. එය ඔබගේ කෝපයට පත් වූවන් ගිය මාර්ගයෙහිද නොව, අයහමගෙහි වූවන්ගේ මාර්ගයෙහීද නොව. (1:5-7)
මෙහි දෙවියන්ගේ කෝපයට පත් වූ මාර්ගය යනු, දෙවියන්ගේ මාර්ගෝපදේශ විකෘති කරමින්, එය වෙනස් කරමින් අනුගමනය කරන අය යන මාර්ගයයි. (යුදෙව්වරුන් සහ ක්‍රිස්තියානි වරුන් වැනි අය).
අයහමගෙහි යන අයගේ මාර්ගය යනු දෙවියන් ලෙස පිළිම තනාගෙන සිටින අය, ගස් ගල් හිරු මිනිසුන් ආදිය අදහන අය සහ දෙවියන්ව ප්‍රතික්ශේප කරමින් සිටින (බෞද්ධ වැනි අය) යන මාර්ග. ඍජු මාර්ගය යනු තම නිර්මාතෘ වන දෙවියන් විසින් පෙන්වා දුන් මාර්ගයයි. එම මාර්ගය පෙන්වා දෙන ලෙස ප්‍රාර්ථනා කරන ලෙස දන්වා තිබේ.
ඇත්තෙන්ම විශ්වාසය තබා සිටින්නන් (ඍජු මාර්ගයේ යන) ඔවුන්ය, (ඔවුන් ඉදිරියේ) අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය මතක් කරනු ලැබුවහොත් ඔවුන්ගේ හදවත් සෑහීමට පත් වන්නේය. (මන්දයත්) අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය මතක් කිරීම මගින් (සත්‍යය විශ්වාසවන්තයින්ගේ) හෘදයන් නියත වශයෙන්ම තෘප්තියට පත්වනු ඇත යන්න (නබියේ!) ඔබ දැන ගනු මැනව.( 13:28)
දෙවිඳුන් අපව නිර්මාණය කළ මුල්ම අවස්ථාවේ ඔහු අපේ දෙවියන් බවට අප සාක්ෂි දරා ඇත. ඒ බව අදටත් අපේ හෘද සාක්ෂිය තුල ඇත. ලොව සිටින ඕනෑම පුද්ගලයෙක් ඔහු කුමන ආගමක් දහමක් ඇදහුවත්, ඔහු මුවින් දෙවියන් යැයි කෙනෙක් හෝ තමන්ට නිර්මාතෘ කෙනෙක් නැතැයි ප්‍රකාශ කලත් ඔහුගේ අභ්‍යන්තරය තුල දෙවියන් කියන සංකල්ප ඇත. ඔහු ඉතාම අමාරුකමකට මුහුණ දුන්නොත්, මරණය හැර වෙන විකල්පයක් නෑ කියන භයානක අවස්ථාවකට පත් උනොත් ඔහුගේ උඩු සිත නොදැනුවත්ව යටි හිතින් හරි දෙවියන්ව අමතන්න පටන් ගනී. "අනේ දෙවියනේ මාව බේර ගන්න!!!".....ආදී ලෙස.
මේ තමයි මනුෂ්‍යය ස්වභාවය. ඔහු ඉපදුනෙත් මේ දෙවියන් සමග ඇති සම්බන්ධතාවයත් එක්කමය. නමුත් වැඩිවිය පත් වෙද්දි සමහර මිනිසුන් එක එක කාරණා හේතුවෙන් තම නිර්මාතෘ සමග තබා ගත යුතු සම්බන්ධතාවය වෙනුවට වෙනත් දැය තම දෙවියන් කර ගන්නවා. සමහරු මැටි පිළිම තම දෙවියන් කර ගන්නවා, සමහරු එක් එක් සාශ්තෘන්වරුන්ව තමන්ගෙ දෙවියන් (ගැලවුම්කරු) කරගන්නවා, සමහරු මුදල් තම දෙවියන් කරගන්නවා. සමහරු තමන් ආපු දිහාව දන්නෙත් නැතිව, යන දිහාව දන්නෙත් නැතිව තමන් තමන්වම දෙවියන් (ගැලවුම්කරු) කරගන්නවා. නමුත් තම අභ්‍යන්තරය තුල තම සැබෑ දෙවියන් ගැන මතකය මියැදෙන්නේ නෑ.
මොනතරම් ප්‍රශ්න, පීඩා ඇති උනත් දෙවියන්ව විශ්වාස කරන අය ජීවිතයෙන් පලා යන්නේ නෑ, සියදිවි නසා ගන්නේ නෑ. ඔහු විශ්වාස කරනවා එය තම ජීවිත පරීක්ෂනයේ තවත් අදියරයක් පමණයි කියලා. ඔහුව මේ ලෝකෙ කවුරු අතැහැරියත් තම නිර්මාතෘ තමා සමග සිටින බව ඔහු විශ්වාස කරනවා.
තම විචාර බුද්ධිය නිසි පරිදි භාවිතා නොකරන සහ, හෘද සාක්ෂිය අවභාවිතා කිරීම හෝ, කලක සිට භාවිතා නොකර මලකඩ කා ඇති හෝ ගල් වී ඇති නිසා දෙවියන් ගැන තැකීමක් නැති අයට ඒ බව සිහි කැඳවීමට, (සුභාරංචි සහ අණතුරු ඇඟවීම් සහිතව) දෙවිඳුන් නබිවරුන් හරහා මාර්ගෝපදේශ එවා ඇත. අප වෙත එවා ඇති මාර්ගෝපදේශය අල් කුරානයයි. එය මොහම්මද් නබි (ﷺ) තුමා හරහා එවා ඇත. එය ලබා ගැනීම සෑම මනුශ්‍යයෙක්ටම ඇති පෞද්ගලික වගකීමකි. එය නොසලකා හැරීම තමන් තමන්ටම කරගන්නා හානියකි.
අද ඔබ ඔබේ දෙමව්පියන්ගෙන් වෙන් වෙලා නම් ඉන්නෙ (ඔවුන් තාමත් ජීවතුන් අතර ඉන්නවානම්) ඔබ අවසන් වරට ඔවුන්ට දුරකතන ඇමතුමක් ගත්තේ කවදාද? ඔබට හැකි සෑම විටම ඔවුන් සමග සම්බන්ධතාවය තබා ගන්නේ ඔබ කොතරම් ගුණ යහපත් කෙනෙක්ද.
ඔබ ඔබේත්, ඔබේ දෙමව්පියන්ගේත් සැබෑ නිර්මාතෘ වන තම දෙවියන්වහන්සේ සමග අවසන් වරට සම්බන්ධ උනේ කවදාද?
ඔබගේ දෙවියන් මෙසේ පවසන්නේය; ඔබ (ඔබට අවශ්‍ය දැය සියල්ල ඉල්ලා සිටීමට) මාවම ආරාධනා කරනු. මා ඔබට (ඔබේ ප්‍රාර්ථනාවන්ට) පිළිතුරු දෙන්නෙමි;(40:60)
අප ප්‍රාර්ථනා කලත් නැතත් දෙවියන් අපගේ සියළුම දේ කල්තියාම දන්නේය. නමුත් අප ඔහු සමග තබා ගන්නා සම්බන්ධතාවය කෙසේද යන්න ඇගයුමට ලක් කර ඇත. ඇති බව අප වටහාගෙන කටයුතු කල යුතුය. අල්ලාහ් මෙසේ පවසා ඇත.
නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ හෘදන්හී ඇති දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය; (5:7)
අප දකින විශ්වය සහ එහි ඇති දේවල් පුදුමාකාරය. අපට සිතා ගත නොහැකි තරම් විශ්මිතය. ඒ සියල්ලෙහි නිර්මාතෘ ගේ තත්වය අපට සිතා ගැනීමටද නොහැකිය. අප ප්‍රාර්ථනාවක් කලොත් දෙවියන් වහන්සේ එයට ප්‍රතිචාර දක්වන විදිහද අපගේ සිතුම් පැතුම් පරාසයෙන් එපිට දෙයකි. අපගේ සෑම ප්‍රාර්ථනාවකටම පිළිතුරු දෙන බවත් දෙවිඳුන් පවසා ඇත. ඔබ දෙවියන්ගෙන් මුදල් ලැබෙන මාර්ගයක් විවෘත කර දෙන ලෙස ඉල්ලා ප්‍රාර්ථනා කරනවා වෙන්න පුළුවන්, නමුත් ඔබ ගැන සියල්ල දන්නා දෙවිඳුන් ඔබට වඩාත්ම හොඳ දේ ලෙස වෙන දෙයක් ලබා දෙනවා වෙන්න පුළුවන්. එනිසා ඔහු පවසන්නේ ඔබ ඔහුගෙන් ඉල්ලමින් ප්‍රාර්ථනා කරන ලෙසය. ඔබට දෙවියන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය මෙහි ප්‍රභල ගුණාංගයකි. ඔහු තම ගැත්තන් කෙරෙහි ඉතාම දයාබරවන්තයෙකු ලෙස සිටින බව පවසා ඇත.
ඔබ කුමන කුමන ස්ථානයක, කුමන තත්ත්‍වයක සිටියත් අල්ලාහ්ව එක් වරක් සිහිපත් කර ඔහුට ප්‍රශංසා කළහොත් ඔහු ඔබට ස්වර්ගයෙහි ගසක් මවා දෙන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වූ බව හදීසයක සඳහන් වේ. එයට අනුව ඔබ හුස්ම ගන්න සෑම තත්පරයකටම දෙවිඳුන් වටිනාකමක් දී ඇත. නින්දට යන විට කරන ප්‍රාර්ථනා මගින් ඔබ නිදන කාලයටත් වටිනාකමක් උදා කර ගත හැක.
ඔබ මරණින් පසු නැවත ඔහු හමුවට යා යුතුය.
ඔබ මෙතෙක් ජීවත් වූ කාලය තුලදී කොතරම් දුරට ඔහුව සිහිපත් කලාද? ඔහු සමග හිතින් සන්නිවේදනය කලාද? ඔහුගෙන් යම් පිහිටක් ඉල්ලුවාද? ඔහු ඔබට ලබා දුන් ජීවිතය සහ වරප්‍රසාද වෙනුවෙන් ඔබ ඔහුට ස්තුති කලාද?
මුස්ලිම් අයගෙන්ට අහනවාට වඩා මේ ප්‍රශ්නය අහන්න වෙන්නෙ දෙවියන්ව මෙතෙක් විශ්වාස නොකරන අයගෙනුයි. ඔබ රසවත් පළතුරක් කන විට, ඔබ විශ්මිත සතෙක්ව දකින විට, ඔබ ඔබේම ශරීයයේ විශ්මිත බව දකින විට, නව තාක්ෂණය හරහා විශ්වය පිළිබඳව තොරතුරු දකින විට ඔබට හිතෙන්නේ නැතිද " අනේ දෙවියනේ, ඔබේ නිර්මාණ නම් අති විශිෂ්ටයි" කියලා? මේවා නිකම්ම ඉබේ හැදුනා කියලද ඔබ තවත් විශ්වාස කරන්නෙ?
මේ තියෙන්නෙ විශාල කරල ගත්ත කුරුමිණියෙක්ගෙ සහ උගේ කකුලෙ යටිපතුලෙ ඡායාරුප දෙකකි.


මේවා දැක්කම මුස්ලිම් අය "වාව්, මාරයි, ලස්සනයි, පොටෝ ගත්ත කෙනාට ස්තූතියි" කියලා කියනවාට වඩා මුලින්ම කරන්නේ මේවායේ නිර්මාතෘව සිහිපත් කර ඔහුගේ විශිෂ්ඨ නිර්මාණශීලීත්වය ඇගයීමයි. ඔහුව ප්‍රසන්සා කිරීමයි. දෙවියන් පවසා ඇත්තෙත් මේවා තුලින් පවා දෙවියන්ව හඳුනා ගෙන තව තවත් ඔහුට ලං වෙන ලෙසයි. දෙවියන්ව (නිර්මාතෘව) විශ්වාස නොකරන තාක් කල් ඔබට සොභාදහමේ නියම ආශ්වාදය විඳිය නොහැකිය. ජීවිතයේ සැබෑ ආශ්වාදය අත් විඳිය නොහැකිය. එය ස්ථිරය.
තම නිර්මාතෘ සමග ශක්තිමත් සම්බන්ධතාවයක් ඇතිකර ගන්න තරමටම ඔබට තම ජීවිතය ගැනත් තෘප්තිමත් භාවය වැඩිකර ගත හැකිය. එහිදී ඔබ කොතරම් ධනවත්ද, ඔබ කොතරම් සෞඛ්‍ය සම්පන්නද, ඔබට කොතරම් මිතුරන් සිටිනවාද යන්න ආදිය අදාල නොවන බවද ඔබට පසක් වනු ඇත. එනිසා හැකි තරම් දෙවියන්ව හඳුනාගන්න බලන්න. හැකි තරම් උපරිමව ඔහුව සිහිකරමින්, ඔහුව ප්‍රසන්සා කරමින් ඔහුගේ මාර්ගෝපදේශය මත ඉන්න බලන්න. එවිට ඔබට මෙලොව ගැනත් පරලොව ගැනත් සිතමින් තමා ගැනම සතුටු විය හැකියි.
මිනිසුන් අතරින් යම් පිරිසක් මෙසේ පවසන බව දෙවිඳුන් අපට මතක් කර දී ඇත.
(බුද්ධිමත්) මෙවැන්නන් (තමන්ගේ) නැගී සිටීමේද, වාඩි වීමේද, තමන්ගේ නින්දෙහිද, අල්ලාහ්වම සිතා අහස් හා භූමියෙහි උත්පාදනය ගැනද සිතා "අපගේ දෙවියනේ! ඔබ මේවා නිකරුණේ උත්පාදනය කර හැරියේ නැත. ඔබ ඉතාමත් පාරිශුද්ධය. නිරා ගින්නේ දඬුවමෙන් අපව බේරා ගනු මැනව! (Al Quran 3:191)
by sjw
මේ පිළිබඳව ඔබගේ අදහස් අපට ලියන්න