දෙවියන්ගේ නිර්මාණ: පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය කිරීම

ආදම් (අලෙහිස් සලාම්/ අ.ස/ عليه السلام/ එතුමාට සාමය හා සමාදානය හිමි වේවා!)

ආදම් (අ.ස) ව්‍යුත්පන්න වූයේ වානරයන්ගෙන් හෝ වානරයින් හා සමාන සතුන්ගෙන් නොවේ. ආදම් (අ.ස) මැවීමට පෙර අනෙකුත් සත්ව වර්ග මෙන්ම විවිධ වර්ග වල වානරයෝද සිටියහ.


මිනිසා එම සතුන්ට වඩා විශේෂත්වයක් ඇතිව නිර්මාණය කළ ජීවියෙකි. එම නිසා පළමු මිනිසා ගැනත් ඉන්පසු ඔහුගෙන් පැවත එන්නන් ගැනත් දෙවියන් මිනිසා වෙත දැණුම් දී තිබෙනවා. 

මිනිසාගේ ආරම්භය ගැන සහ ඔහුගේ ජීවිතයේ අරමුණ කුමක්දැයි යන්න පවා දැන ගත හැකි හොඳම මාර්ගය තමයි එහි නිර්මාතෘගෙන්ම එය දැනගැනීම. (යම්කිසි නව භාණ්ඩයක් ගැන උනත් හරියටම විස්තර දන්නේ එය හදපු කෙනාය). දෙවියන් අපට ඒ ගැන තොරතුරු දන්වා තිබෙන්නේ දිව්‍ය හෙළිදරව් (ලෙස පණිවිඩ) නබි වරුන්ට පහළ කර ඔවුන් හරහාය.

මුළින්ම, දෙවියන් මිනිසුන්ව නිර්මාණය කිරීමට පෙර තිබූ තත්වයක් ගැන කෙටි සටහනක් ලිවීම වඩා උචිත යැයි මා අදහස් කරමි.

දෙවියන් ආලෝකය මගින් මලායිකා නමින් හදුන්වන (100% ක්ම දෙවියන්ට අවනතව කටයුතු කරන) දේව දූතයින්ව නිර්මාණය කර තිබිණ. විශ්වයන් (ඇතුළුව අප අදහස් කරන සොබාදහම) හැසිරවීම සඳහාත් තවත් විශේශිත වූ කාරණා සඳහාත් ඔවුන්ව නිර්මානය කර ඇත. ඔවුන් සෑම විටම දෙවියන්ව ප්‍රසංශා කරමින්ම සිටී.

මලායිකාවරුන්ට අමතරව විශ්වයන් සහිත සොභාදහමද එහි සිටිනා සත්වයින් ආදියද දෙවියන්ට අවනතව කීකරුව සිටී. (සෑම පරමානුවක්ම දෙවියන්ට අවනතව සිටී). ඒවා ඒවාට නියමිත වූ ආකාර වලින් දෙවියන්ව නමදිමින් සිටින බව දෙවියන් පවසා තිබෙනවා. එනම් ඉහත සදහන් දෙවියන්ගේ සෑම නිර්මාණයක්ම දෙවියන්ට අවනතය. උදාහරන ලෙස මන්දාකිණි, ඒවායෙහි ඇති තරු, ග්‍රහලෝක, මහපොළොවෙහි ඇති කඳු, ජලය, ගස් කොලන්, භූමිය, සතුන්, සහ මලායිකා ආදී සියල්ල ඒවාට නියමිත වූ ආකාර වලින් දෙවියන්ව නමදිමින් සිටී. 

නිර්මළ (දුමාරයක් රහිත) ගිනිදළු වලින් ජින් වරුන් ලෙස හදුන්වන ජීවී සමූහයක්ද දෙවියන් මිනිසාට පෙර උත්පාදනය කර තියෙනවා. ඔවුන්ගේ ප්‍රධානියා (ඉබිලීස්) මුලින්ම සිටියේද ස්වර්ගයෙහිය. එම ජින් වරුන්ට අනිකුත් ජීවීන්ට හා මලායිකාවරුන්ට නැති ස්වයන් තීරන ගෙන කීකරු හෝ අකීකරු වීමේ නිදහස දී තියෙනවා. මෙවැනි අවස්ථාවක තමයි පළමු මිනිසාව නිර්මාණය කිරීම සිදුවන්නෙ. 

දෙවියන් අදහස් කරණවා කීකරු හෝ අකීකරු වීමේ නිදහස දී (සීමිත බලතල සහිතව නියෝජිතය්න් ලෙස) දෙවියන්ව පවා විශ්වාස කර හෝ අවිශ්වාස කර ස්වයං තීරන ගෙන කටයුතු කළ හැකි තවත් විශේෂිත නව ජීවී විශේෂයක් ලෙස මිනිසුන්ව පෘථිවියට එවන්න. ඔවුන්ව පෘථිවියේ පස් වලින්ම නිර්මාණය කිරීමටද අදහස් කරනවා. (පෘතුවියෙහි ඇති ශාක, සතුන් සහ මිනිසුන් ආදී සියල්ල පස් වලින්ම නිර්මාණය කර ඇතත් මෙහිදී මිනිසා නම් විශේෂ නිර්මාණය ගැන පමනයි මෙහිදී සලකා බැලෙන්නෙ). අල්ලාහ් වෙනස් ආකර වලින් ජීවීන් නිර්මාණය කර එති අයුරු පහත දැක්වේ.

  1. මලායිකාවරුන් - ආලෝකය මගින් 

  2. ඉබිලීස් ඇතුළුව ජින් වරුන් ගිනි දැල් වලින් 

  3. මිනිසා පෘතුවියෙහි පස් වලින්

විශේෂයෙන්ම මතක් කල යුතු දෙයක් ඇත. එනම්, අල්ලාහ් සර්වබලධාරීය. ඔහු යමක් නිර්මාණය කිරීමට පෙර එය නිර්මාණය කිරීමට අදහස් කරන විටම එම නිර්මාණය කිරීමට යන දැය ගැන සියල්ල දැනුවත් ව සිටී. එනම් එහි ආරම්භය, එහි පැවැත්ම සහ එහි අවසානය කෙසේ සිදුවන්නේද යන්න ඔහු මැනවින් දනී.

ඔබව පස් වලින් නිර්මාණය කළ අවස්ථාවේදී ඔබගේ (ගති ගුණයන්) ඔහු හොඳින් දන්නේය. ඔබ ඔබගේ මවගේ කුසයෙහි (මාංශ පින්ඩයක් වශයෙන්) සැඟවී තිබූ අවස්ථාවෙහිද, (ඔබව ඔහු හොඳින් දන්නේය); (53:32)

අල්ලාහ් එක් දේවදූතයෙකුට පෘතුවියේ විවිධ ස්ථාන වලින් විවිධ වර්ගවල පස් සුළු ප්‍රමාණයක් රැගෙන එන ලෙස නියෝග කළේය. කළු පස, දුඹුරු පස, සුදු පස, රතු පස ලෙස විවිධ වර්ණයන්ගෙන්ද, ඒවා, මෘදු පස සහ රළු(තද) පස ආදී ලෙසද විය. එම දේවදූතවරයා මේ විවිධ පස්වලින් අතලොස්සක් ස්වර්ගය වෙත ගෙන යන ලදී. ඉන් පසු මෙම පස ස්වර්ගයෙහි ජලය සමඟත් මිශ්‍ර වූ අතර එමඟින් ඇතිවූ (මැටි) මිශ්‍රණයෙන් ආදම්ගේ හැඩය නිර්මාණය කර ඇත. (සුදු, කළු, රතු, කහ, සුමට, රළු, සහ ඒ අතර සිටින විවිධ වෙනස්කම් සහිත මිනිසුන් ඇතුළත් වන ආදම්ගේ දරු පරම්පරාවේ විවිධත්වයක් අප දකින්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි).

කාලයක් මේ හැඩය මැටි පිළිමයක් ලෙස පැවතුණි. එවිට අල්ලාහ් මෙම මැටි පිළිමය මැටි බඳුන් වැනි වියළි හා තද දෙයක් බවට පත් කළේය. 

(වියළී ගියහොත් ටං ටං යන) ශබ්දය ගෙන දෙන ඇලෙන සුළු කිරිමැටියෙන් නියත වශයෙන්ම අපිම (ඔබගේ මුල් පියා වන පළමු) මිනිසාව උත්පාදනය කළෙමු. (15:26)

අල්ලාහ් මෙම මැටි පිළිමය, සත්‍ය ලේ, මස්, සහ ඇටකටු බවට පත් කිරීමට සහ, අල්ලාහ් ආදම්ගේ ආත්මය ඔහුගේ ශරීරයට දැමීමට පෙර, ඉබ්ලිස් පැමිණ (නිකමට) මෙම නිර්මාණය පරීක්ෂා කළේය. පරීක්ෂා කිරීමේදී, මෙම නිර්මාණයේ අභ්‍යන්තර කුහර ඇති බව ඔහු සොයා ගත් අතර, එබැවින් මෙම නිර්මාණයට (එහි ශරීරය තුළට) දේවල් ගත යුතු බව ඔහු වටහා ගත්තේය. කෑම බීම, විවේකය යනාදී සමහර දේවල් අවශ්‍ය නොවී විවිධ දේවල් කරමින් දීර්ඝ කාලයක් යාමට මෙම නිර්මාණයට හැකියාවක් නොමැති බව ඉබ්ලිස් වටහා ගත්තේය. මෙම නිර්මාණය දේවදූතයන් (මලායිකාවරුන්) මෙන් නොවන බව ඉබ්ලිස් ට අවභෝද විය. මන්ද දේවදූතයන්ට ශරීරයේ අභ්‍යන්තර කුහර නොමැති අතර ඔවුනට ආහාර හෝ බීම හෝ විවේකයක් අවශ්‍ය නොවේ. ඒවා නොමැතිව ඔවුනට දීර්ඝ කාලයක් සිටිය හැක. අල්ලාහ් ඔවුන්ට ඉටු කිරීමට අණ කළ සියල්ල ඉටු කිරීමට අල්ලාහ් ඔවුන්ට ශක්තිය ලබා දුන්නේය. කෑම බීම හෝ හෝ විවේක ගැනීමට අවශ්‍ය නොවේ. මිනිසුන්ට දරාගත නොහැකි දේවල් මලායිකාවරුන්ට දරාගත හැකිය. මේ සියල්ල ඉබ්ලිස් දැන සිටියේය.

(දුමාරයක් නිපදවන්නේ නැති) නිර්මළ ගිනි දැල්ලකින් නිර්මාණය කරන ලද ඉබ්ලිස්, මෙම කාල පරිච්ඡේදය තුළ ඇදහිළිවන්ත වූ සහ අල්ලාහ්ට නමස්කාර කරන දේවදූතයන් සමඟ පාරාදීසයේ ජීවත් වූ වෙකි. ජින් වාර්ගික ප්‍රධානියා (ඉබ්ලිස්) වන මොහු සහ ඔහු සමග සිටි අනිකුත් සියලුම ජින්වරුන්ද ආදම්ගේ එම හැඩය ගැන කතා කළේය. ඔවුන්ට මෙය කුතුහලයක් විය. ඉබිලීස් ආදම් ගේ රුව ළඟට විත් පැවසුවේ "අල්ලාහ් ඔබව මැව්වේ මට නොතේරෙන කාරණයක් සඳහාය." ලෙසිනි.

ආදම්ගේ ආත්මය ඔහුගේ ශරීරයට සම්බන්ධ වූ පසු, අල්ලාහ් ආදම්ට සෑම දෙයකම නම් පිළිබඳ දැනුම ලබා දුන්නේය. අල්ලාහ් ආදම්ට එම දැනුම ලබා දුන්නේ ගුරුවරයෙකු නොමැතිව, එනම් ආදම්ට එම දැනුම ලබා ගැනීමට යමෙකුගෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය නොවීය. එවිට අල්ලාහ් මෙම විශේෂ නව මැවිල්ලට (නමස්කාරයෙන් නොව) ගෞරවයක් වශයෙන් ආදම්ට සුජූද් කරන ලෙස දේවදූතයන්ට නියෝග කළේය. ඉබ්ලිස් දේවදූතයන් සමඟ ජීවත් වූ අතර, ඔහුටද ආදම්ට සුජූද් කිරීමට නියෝග කරන ලදී. සියලුම දේවදූතයන් කීකරු බැවින් දේවදූතයන් ආදම්ට හිස නවා නළල බිම තබා ගෞරව කළේය. ඔවුන් අල්ලාහ්ට අකීකරු වන්නේ නැත.

කෙසේ වෙතත් ඉබ්ලිස් අහංකාර විය. (සියල්ල දන්නා අල්ලාහ් ඔහුට අල්ලාහ්ට අකීකරු වීමට නිදහස කලින්ම දී තිබීය). 

පහත සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධව ඇති කුරාන් වැකි කිහිපයකි.

(නබියේ!) ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට "මා භූමියෙහි (මගේ) නියෝජිතයා (ආදම්)ව නිර්මාණය කිරීමට යන්නෙමි" යැයි පැවසූ අවස්ථාවේදී, (එයට) ඔවුන් "(භූමියෙහි) නපුරුකම් කරමින් ලේ වගුරුවන්නට (පරම්පරාවක් බිහි කිරීමට) යන ඔහුව, එහි (ඔබගේ නියෝජිතයා වශයෙන්) පත් කරන්නෙහිද" අපි නම්, ඔබගේ පාරිශුද්ධභාවය පවසමින්, ඔබගේ ප්‍රශන්සාව මගින් ඔබව සුවිශුද්ධ කරමින්ම සිටින්නෙමු" යයි පැවසූහ. (එයට දෙවියන් වහන්සේ) "ඔබ නොදැනුවත් දැය සියල්ල නියත වශයෙන්ම මා හොඳින් දැන සිටින්නෙමි" යයි පැවසුවේය. (2:30)

පසුව (ආදම්ව උත්පාදනය කර). ආදම්ට (භූමියෙහි ඇති) සියළුම (වස්තූන්ගේ) නම්ද (ඒවායේ ගුණාංගයන්ද) උගන්වා දී පසුව ඒවා (එම) මලායිකාවරුන්ගේ ඉදිරියේ තබා, ඔබ සත්‍යයවන්තයින් නම්, මේවායේ නාමයන් ඔබ මා හට දැනුම් දෙනු යැයි පැවසුවේය. (2:31)


(එසේ දැනුම් දීමට නොහැකිව) ඔවුන් (දෙවියන් වහන්සේට) "ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔබ අපට දැනුම් දුන් දැය හැරෙන්නට (වෙන කිසිවක්) අපි දන්නේ නැත. නියත වශයෙන්ම ඔබම හොඳින් දන්නෙකුද ඥානවන්තයෙකුද වශයෙන් සිටින්නෙහිය යයි පැවසීය. (2:32)


(පසුව දෙවියන් වහන්සේ) ඕ ආදම්! ඔබ මේවායේ නාමයන් ඔවුන්ට දැනුම් දෙනු" යැයි පැවසුවේය. ඔහු ඔවුන්ට ඒවායේ නම් දැනුම් දුන් අවස්ථාවේදී, ඔහු (මලායිකාවරුන්ට), භූමියෙහිද, අහස් හිද (ඔබට සඟවා ඇති දැය නියත වශයෙන්ම මා හොඳින් දැන සිටින්නෙකු යැයි මා ඔබට පැවසුවේ නැදද? එබැවින් ඔබ ආදම් ගැන හෙළිදරව් කළ දැයද, සඟවා ගත් දැයද නියත වශයෙන්ම මා හොඳින් දන්නෙමියි" කීවේය. (2:33)


පසුව අපි මලායිකාවරුන්ට "ආදම්ට ඔබ හිස බිම තබා නැවී සුජීද් (ගෞරව) කරනු" යැයි පැවසූ විට, ඔවුන් (සියල්ල) සුජීද් කලහ. ඉබිලීස් හැර. ඔහු නම්, උඩුගු කමින් ඈත් වී (අපගේ අණ නොතකා) ප්‍රතික්ෂේප කර හැරියේය. (2:34)

මලායිකාවරුන් දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ දේවදූතයින් වෙලත් අල්ලාහ් ඇයි ඔවුන්ට ආදම්ට එලෙස ගෞරව දැක්වීමට අණ කළේ යන්න ගැන පොඩි පැහැදිළි කිරීමක් කළොත් එය වටහා ගැනීමට තවත් පහසු වේවි යැයි මම සිතමි.

ආදම් සහ ඔහුගේ දරු පරම්පරාව පෘතුවියෙහි නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට නියමිතයි. එමගින් ඔවුන්ව පරීක්ෂණයකට භාජනය කෙරෙණු ඇත. මලායිකාවරුන් මිනිසාගේ ආත්මය රැගෙන විත් මවගේ ගර්භාශයේ තැම්පත් කර, එය දරුවෙකු ලෙස කුසෙන් එන තෙක් ඔවුන් එහි වර්ධන කටයුතු වලට සහය වී පසුව එලියට ආ පසු ඔහුව මරණය තෙක් ආරක්ශා කරමින් ඔවුන්ට අවශ්‍යය සොභාවධර්මයේ කටයුතුද හසුරුවමින් සිටී. අවසානයේ නියමිත වෙලාව පැමිණි පසු ඔහුගේ ආත්මය නැවත රැගෙන නිසි වෙලාව පැමිණි විට නැවත එය දෙවියන් කරා රැගෙන යාම ඔවුන් කළ යුතුයි.

මිනිසා අල්ලාහ් විසින් තමාට දී ඇති ජීවන ප්‍රශ්න පත්‍රයට හරි දේ ලිව්වත්, වැරදි දේ ලිව්වත් මලායිකාවරුන් ඒ ගැන තැකීමක් නොකර මිනිසාට අවශ්ය පහසුකම් ලබා දෙමින් සිටිය යුතුය. මිනිසා අල්ලාහ්ට බැන්නත්, වැරදි විදිහට, නීච විදිහට තම ජීවිතය ගෙව්වත්, මලායිකාවරුන් මිනිසාට අහිතක් කරන්නෙ නෑ. ඔහුගේ කාළය අවසන් වන තෙක් ඔහුව ඉදිරියෙන් සහ පිටපසින් සිට ආරක්ශා කරමින්, අනිකුත් පහසුකම් සලසමින් සිටිය යුතුයි. 

මලායිකාවරුන් කෙතරම් ශ්‍රේෂ්ඨ උනත් සෑම තත්පරයක්ම ඔවුන් අල්ලාහ්ව ප්‍රසංශාකරමින් මෙන්ම අල්ලාහ්ට බියෙන්ද සිටී. ඔවුන් අල්ලාහ්ගේ දයාව ගැනද දඬුවම් ගැන හොදින් දනී.

නමුත් මිනිසාට පෘතුවිය තුල සිටින කාලය තුල කැමති නම් අල්ලාහ්ට බැනීමටද, මහත් නපුරු ක්‍රියාවන් කිරීමටද අල්ලාහ් නිදහස දී තිබේ.  එනම්, එතරම් නිදහසක් ලැබුණු මිනිසුන්, එසේම, පරීක්ෂණයෙන් ජයග්‍රහනය කලහොත්, කිසිඳු බියක්, වෙහෙසක්, දුකක් නොමැතිව සම්පූර්ණයෙන්ම සැනසිල්ලේ අල්ලාහ් තෘප්තියට පත් වූවන් ලෙසින් ස්වර්ගයෙහි සදාකල් සිටීමට අවස්ථාව ලැබෙන නිර්මාණයකි මේ මිනිසා. එනිසා ඇත්ත වශයෙන්ම  ගෞරවයට පත් විය යුතුය යන අවභෝදය ඔවුන්ට ඇත.

එනිසා ඔවුන් එම කාර්යය ඉතාම ඉහලින් පිළිගෙන ආදම්ට නිසි ගෞරවය පළකර ඊට ඉදිරිපත් විය. හැබැයි අපි මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. අපි කරන කියන (හොඳ නරක) හැම දෙයක්ම ඔවුන් (දවසේ පැය 24 ම, දිනපතාම) සටහන් කරගන්නවා. ඔවුන්ට හොරෙන් අපිට කිසි දෙයක් කළ නොහැකියි. පසුව එය ඔවුන් දෙවියන්ට ඉදිරිපත් කරනවා. විනිශ්චය දිනයේ දෙවියන් එයත් සාක්ශි ලෙස අරගන්නවා.

මේ අපට ලැබී ඇති නිදහස් කාලය අපි කෙසේ ගත කළත්, මරණින් පසු අපට ස්වාධීන විය නොහැක. අපගේ මරනින් පසු කාලයද, අපායේ පාලන කටයුතු කරන්නේද  ස්වර්ගයන්හී දොරටුවල සිටින්නේද මලායිකාවරුන්මය. මිනිසුන් ඔවුන්ට අල්ලාහ් දුන් ගෞරවය රැකගෙන සිටියොත් මරනින් මතු හොඳය. නැත්නම් අල්ලාහ් මලායිකාවරුන් වෙතින්ම අපට දඬුවම් කරවනු ඇත. (අප සමාජයේ සමහරු 'යම රජු' සහ 'යම පල්ලන්' කියන්නේ දෙවියන්ගේ මෙම ශ්‍රේෂ්ඨ මලායිකාවරුන් කොටසකටය). හොඳ අයව නැවත ගෞරවයෙන් යුතුව ස්වර්ගයට ඇතුලත් කරන්නේද ඔවුන්මය. 

කෙසේ නමුත්, ඉබිලීස් (ශේතාන්) මෙලෙස ආදම්ව උසස් කෙනෙක් ලෙස පිළිගැනීමට කැමති උනේ නැහැ. ඔහු එම ගෞරව දැක්වීම ප්‍රතික්ශේප කළා. අල්ලාහ්ට සහ ඔහුගේ නියෝගයට විරුද්ධ වීමෙන් ඉබ්ලිස් අල්ලාහ්ට අපහාස කළේය. ඔහු දෙවියන්ට විරුද්ධව ගිය පළමු කටයුත්ත මෙයයි. අල්ලාහ් සමාව දෙන්නෙකි, ඉවසිලිවන්තයෙකි, මහා කරුණාවන්තයෙකි. නමුත් ඉබිලීස් තම වරද වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව නොගෙන අහංකාර වූවෙකු මෙන් සිටියේය.

ආදම් (අ.ස)ද දෙවියන් එපා කියූ ගසෙන් පළතුරු කා දෙවියන්ගේ අණට පිටින් ගියේය. නමුත් ඔහු (සහ ඔහුගේ බිරිඳ) වහාම ඒ ගැන පසු තැවී දෙවියන්ගෙන් සමාව ගෙන පිළිසකර විය. අල්ලාහ් ඔවුන්ගේ සමාව භාරගත්තේය. නමුත් ඉන්පසු ඉබිලීස්, ඔහුගේ අනිකුත් ශේතාන්වරුන්ද, ආදම්, ඔහුගේ බිරිඳ හව්වා යන සියල්ල ස්වර්ගයේ සිට පෘතුවිය වෙත එවීය.

ආදම් (අ.ස) සහ ඔහුගේ බිරිඳ හව්වා (අ.ස) ගැන වැඩි විස්තර පහත (Prophet Adam) සබැඳියෙන් බලන්න. ඔවුන් දෙදෙනා ස්වර්ගයේ සිටි කාලය, ඉන් පිට වීම, පෘතුවියට පහළ වීම, එම ස්ථාන, ඉන් පසු ඔවුන් දෙදෙනා ගේ දරුවන්, ඔවුන්ගේ පරම්පරාව ආදී විස්තර එමඟින් දැනගත හැක.

Prophet Adam