
ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ කුරාන් වැකි
"මෙය ඇත්තෙන්ම බරපතල අනතුරු ඇඟවීමකි"
ශුද්ධ වූ අල් කුරාණය මොහම්මද් ﷺ නබි තුමා වෙත වසර 23 ක් පුරාවට විටින් විට පහළ වූවකි. එහි, මිනිසාගේ ප්‍රතික්ෂේප කිරීම සඳහන් කරමින් දෙවියන්වහන්සේ විසින් හෙළි කරන ලද වැකි කිහිපයක් පහත පරිදි ගොනු කර ඇත.
- විශ්වයේත් තමාගේත් නිර්මාතෘව ප්‍රතික්ෂේප කිරීම.
- දෙවියන්ගේ පණිවිඩය වන අල් කුරාණය ප්‍රතික්ෂේප කිරීම.
- අප සමාජයට එවූ නබි මොහම්මද් ﷺ තුමාව ප්‍රතික්ෂේප කිරීම.
- දෙවියන්ගේ දයාව සහ වරප්‍රසාද ප්‍රතික්ෂේප කිරීම.
- පොදු පණිවිඩ ලෙස.
- මිනිසුන්ව, පිළිරූ සහ වෙනත් දෑ නමදින්නන්ට අදාලව.
- මොහම්මද් ﷺ නබි තුමාට ඍජුවම සතුරුකම් කළ අය සම්බන්ධව.
- ධර්මය හිමි අය (යුදෙව්වන් සහ ක්‍රිස්තියානිවරුන්)ට අදාලව.
- පෙර සමාජවල ප්‍රතික්ෂේප කළ ජනතාව සම්බන්ධව.
- ප්‍රතික්ෂේප කළ ජනතාව සහ විනිශ්චය දිනයේ ඔවුන්ගේ තත්වය.
- ප්‍රතික්ෂේප කළ ජනතාව සහ නිරයේ සිටින ඔවුන්ගේ තත්වය.
- ප්‍රතික්ෂේප කළ නබිවරුන්ගේ පවුල් වලම අය කිහිප දෙනෙකු ගැන.
දෙවිඳුන් කුරානය තුලින් බොහෝ තැන්වල යුදෙව්වරුන්ගේ ප්‍රතික්ෂේප කිරීම ගැනත්, ක්‍රිස්තියානුවන්ගේ ප්‍රතික්ෂේප කිරීම ගැනත් වැඩි වශයෙන් කතා කර ඇති අතර වෙනත් ඇදහිලිවන්තයින්ගේ ප්‍රතික්ෂේප කිරීම ගැනත් සුළුවෙන් කතා කර ඇත.
උදාහරණ, උපදෙස්, අණතුරු ඇඟවීම් සහ භිය ගැන්වීම් සහිත මෙම වදන් හරහා මිනිසුන්ට බොහෝ පාඩම් ඉගන ගෙන තමන්ගේ තත්වය නිසි පරිදි පිළිසකර කර ගැනීමට ප්‍රයෝජනවත් දෙයක් ලෙස මෙම පණිවිඩය තිබෙනු ඇත.
1. විශ්වයේ සහ තමාගේ නිර්මාතෘ (දෙවියන්)ව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව
(සියල්ලටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වන අල්ලාහ් විසින් මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය. අහස්ද භූමියද ඒවා අතර ඇති දැයද නියමිත කාරණාවකට හා (ඒවාට) නියමිත කාල අවකාශයකටද මිස අපි උත්පාදනය කළේ නැත. කවුරුන් (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් තමන්ට බියගන්වා අනතුරු අඟවන ලද දැය ප්‍රතික්ෂේප කර හරින්නාහ. (46:1,2)
අහස්ද, භූමියද, මේවා මධ්‍යයෙහි ඇති දැයද, නිකරුණේ අපි උත්පාදනය කළේ නැත. මෙය (නිකරුණේ යන්න) ප්‍රතික්ෂේප කරන්නන්ගේ සිතුවිල්ලකි. ප්‍රතික්ෂේප කරන මොවුන්ට විනාශයයි. මොවුන්ට (නිරා) ගින්නම ලැබෙනු ඇත. (38:27)
ආරම්භයේදී එකට එක්කාසු වී තිබුණු අහස්ද, භූමියද අපිම වෙන්කර තැබුවෙමු යන්නද, පණ ඇති සෑම දැයක්ම ජලයෙන් උත්පාදනය කළෙමු යන්නද, මෙම ප්‍රතික්ෂේප කරන්නන් අවධානය කළ යුතු නොවේද? (මෙය) ඔවුන් විශ්වාස නොකරන්නෙහුද? (21:30)
පූර්ණ සඳ මත සත්තකින්ම! (එක තත්වයක සිට තවත් තත්වයකට) නියත වශයෙන්ම ඔබ ක්‍රම ක්‍රමයෙන් පසුකර යා යුතුව ඇත. (84:18,19) එබැවින් (මෙය ප්‍රතික්ෂේප කරමින් සිටින) ඔවුන්ට කුමක් නම් සිදුවී ඇත්ද? ඔවුන් මෙය විශ්වාස කරන්නේ නැත. (84:20) එපමණක්ද? මෙම ප්‍රතික්ෂේප කරන්නන් මෙම කුරාණයම බොරු කරන්නාහ .(84:22)
ඔහුම ඔබව උත්පාදනය කළ අයයි (එසේ තිබියදී ඔහුව) ප්‍රතික්ෂේප කරන්නන්ද ඇත, (ඔහුව) විශ්වාස කරන්නන්ද ඔබගෙන් ඇත. ඔබ කරන දැය අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය. (64:2)
ඔබ අල්ලාහ්ව ප්‍රතික්ෂේප කලහොත් එමගින් ඔහුට කිසිම පාඩුවක් වන්නේ නැත. නියත වශයෙන්ම අහස් හී ඇති දැයද, භූමියෙහි ඇති දැයද අල්ලාහ්ට අයිති දැය වශයෙන්ම ඇත්තේය; (4:131)
සියලු ප්‍රශංසා අල්ලාහ්ටම අයිතිය! ඔහුම අහස්ද, භූමියද උත්පාදනය කළේය. අන්ධකාරයන්ද, දීප්තිමත් ආලෝකයන්ද ඇති කළේ ඔහුය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් (අල්ලාහ් වන) තමන්ගේ දෙවියන්ට (බොරු දෙවිවරුන්ව) සම කරන්නාහ. (6:1)
ඔහු නම් සෑම ආත්මයක්ම කරන සෑම දැයක්ම හොඳින් දන්නෙකි. ඔවුන් නම්, (ව්‍යාජ දෙවිවරුන්ව) අල්ලාහ්ට සමානයන් වශයෙන් තබන්නාහ! මෙවැනි වැරදි කරුවන්ට දඬුවම් නොකර අත්හැර දමනු ඇත්ද?; (13:33)
කවුරුන් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටින්නේද, ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුටම නපුරක් වශයෙන් අවසන් වනු ඇත. කවුරුන් දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහු (එය පරලොවදී) තමන්ට හොඳක් වශයෙන්ම සලස්වා ගන්නේය. (30:44)
(ඔහුව) ඔබ ප්‍රතික්ෂේප කර දැමුවද, (ඔහුට කිසි පාඩුවක් නැත. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ අවශ්‍යයතාවයක් නොමැත්තෙකු වශයෙන් සිටින්නේය. එහෙත් තමන්ගේ වහලුන් (තමන්ව) ප්‍රතික්ෂේප කිරීම ඔහු කැමති වන්නේ නැත. ඔබ (ඔහුට) කෘතඥ වන්නේ නම්, ඔබ ගැන ඔහු තෘප්තියට පත් වන්නේය. කෙනෙකුගේ පාපයන්හී බර වෙනත් කෙනෙකු උසුළන්නට නොහැක. මින් පසු ඔබ යා යුත්තේ ඔබගේ දෙවියන් වෙතය. ඒ අවස්ථාවේදී ඔබ කරමින් සිටි දැය ඔහු ඔබට දැනුම් දෙනු ඇත. හෘදන්හී ඇති දැයද නියත වශයෙන්ම ඔහු හොඳින් දන්නේය. (39:7)
(නබියේ!) ඔබ මෙසේ පවසනු; "(මෙතරම් විශාල) භූමිය දින දෙකකදීම උත්පාදනය කළ අයව ඔබ ප්‍රතික්ෂේප කර දමා (අන් දැය) ඔහුට සමානයන් වශයෙන් තබන්නෙහුද? ඔහුම (සකල) ලෝකයන්ම උත්පාදනය කර පෝෂනය කරන්නාය". (41:9) [මෙය අල්ලාහ්ගේ සන්නිධානයෙන් දින දෙකකි].
(මෙය) ඔවුන් තමන් තුළම අවධානය කළ යුතු නොවෙද? අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද, සාධාරණ හේතුවක් නොමැතිවද, නියමිත කාල අවකාශයක් නොමැතිවද, අල්ලාහ් උත්පාදනය කළේ නැත. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු දෙවියන්ගේ හමුවීම ද ප්‍රතික්ෂේප කරන්නාහ. (30:8)
ඇත්තෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ට ශාප කර, දළු ලා දැවෙන ගින්දර ඔවුන්ට පිළියෙල කර තබා ඇත්තේය. ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත. (ඔවුන්ව) බේරා ගන්නන්ද, (ඔවුන්ට) උදව් කරන්නන්ද (එහි) ඔවුන් දකින්නේ නැත. (33:64,65)
2. දෙවියන්ගේ පණිවිඩය වන අල් කුරාණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව
(නබියේ!) නියත වශයෙන්ම ඉතාමත් පැහැදිලි ආයාවන්ම අපි ඔබ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් පාපතරයන් මිස, (වෙන කිසිවෙකුත්) ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැත. (2:99)
නියත වශයෙන්ම කවුරුන් තමන් වෙත හොඳ ඔවදන් පැමිණෙන විට, ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් විනිශ්චය දිනදී තමන්ගේ තත්වය වටහා ගනු ඇත. මන්දයත් නියත වශයෙන්ම මෙය ඉමහත් ගෞරවණීය ධර්මයක් වන්නේය.(41:41) මීට කළින් හෝ මීට පසුව හෝ (පරිශ්ද්ධ වූ කුරානය වන) මෙයට බොරු (කිසි සේත්) ළඟා වීමට නොහැකිය. ඉතාමත් ප්‍රශංසාවට අයත් කෙනා හා ඥානවන්තයා විසින් (මෙය) පහළ කරන ලදී. (41:42)
මිනිසුනේ! ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් සත්‍යය සමග (එවන ලද) එක් දූතයෙකු නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත්තේය. එබැවින් ඔබ (ඔහුව) විශ්වාස කරනු. (එය) ඔබටම ඉතාමත් හොඳය. ඔබ (ඔහුව) ප්‍රතික්ෂේප කර දැමුවහොත් (අල්ලාහ්ට කිසිම අඩුවක් වන්නේ නැත. මන්දයත්) අහස් හිද, භූමියෙහිද ඇති සියල්ල නියත වශයෙන්ම අල්ලාහ්ටම අයිතිය. අල්ලාහ් සියල්ලන්වම හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය). (4:170)
(නබියේ!) ඔබ මෙසේ විමසනු; "(මෙම ධර්මය) අල්ලාහ්ගේ සන්නිධානයෙන් පැමිණ තිබියදී මෙය ඔබ ප්‍රතික්ෂේප කළ හොත් (මෙසේ) ප්‍රසිද්ධියේම (ඔහුට) විරුද්ධ වන්නාට වඩා දුර්මාර්ගිකයා කවරෙක්ද යන්න ඔබ අවධානය කළෙහුද?" (41:52)
(නබියේ!) ඔබ මෙසේ පවසනු; "(සම්පූර්ණයෙන්ම) සත්‍යය වූ (මෙම ධර්මය) ඔබගේ දෙවියන් විසින් පහළ කරන ලදී" කැමැත්තන්ට මෙය විශ්වාස කළ හැකිය, අකැමැත්තන්ට (මෙය) ප්‍රතික්ෂේප කර දැමිය හැකිය". (නමුත් මෙම ප්‍රතික්ෂේප කරන) අපරාධකාරුවන්ට නියත වශයෙන්ම අපි නිරයම පිළියෙල කර ඇත්තෙමු; (18:29)
නියත වශයෙන්ම ඔබට සමීප වුණු එක් දඬුවමක් ගැන අපි අනතුරු අඟවන්නෙමු. එදිනදී සෑම මිනිසෙකුම තම දෑතින් (සිදුකර) යැවූ දැය (තම දෑසින්) දැක ගන්නේය. ප්‍රතික්ෂේප කරන්නන් නම්, තමන් පස් බවට පත්වීම සිටියා නම් අගනේය නොවෙදැයි දොඩවන්නාහ! (78:40)
ප්‍රතික්ෂේප කරන්නන් මෙසේ පවසන්නාහ; "(ශුද්ධ වූ කුරානය වන) මෙය බොරු ගොතා ඔහු මනඃක්කල්පිත කර ගත් දැය මිස, වෙන කිසිවක් නැත. මෙහි (මනඃක්කල්පිත කිරීමෙහි) වෙනත් ජනතාවක් ඔහුට උදව් කරන්නාහ". (නමුත් සත්‍යය කුමක්ද යත්) ඔවුන්ම අපරාධයද, බොරුවද පවසන්නාහ. (25:4)
අල්ලාහ් කෙරෙහි බොරු කියා, තමන් වෙත පැමිණි (ධර්මය වන) සත්‍යය බොරු කරන්නාට වඩා අති විශාල අපරාධකාරයා කවරෙක්ද? (එවැනි) ප්‍රතික්ෂේප කරන්නන් රැඳෙන ස්ථානය නිරයෙහි නොවෙද? (39:32)
කවුරුන් (අපගේ ආයාවන්) ප්‍රතික්ෂේප කළෝද, (ඔවුන්ට) "ඔබට මගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවේ නැද්ද" නමුත් (ඒ අවස්ථාවේදී) ඔබ ආඩම්බරයට පත්ව (එය ප්‍රතික්ෂේප කර) හැරියෙහුය. තවද ඔබ වැරදි කරන ජනතාවක් වශයෙන්ම සිටියෙහුය" (යයිද කියනු ලැබේ). (45:31)
(හොඳ ඔවදනින් හා) මතක් කිරීම් වලින් පිරි මෙම කුරානය මත සත්තකින්ම! (මෙය අප විසින් පහළ කරන ලදී). නමුත්, මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඉමහත් වූ ක්‍රෝධයෙහිද, වෛරයෙහිද, (ගැලී) සිටින්නාහ. (38:1.2)
(දෙවියන් ඔහුට) "ඇත්තෙන්ම මගේ ආයාවන් ඔබ වෙත පැමිණියේය, ඒවා බොරු කරන්නෙහිය. උඩඟු වූවෙහිය. (ඒවා) ප්‍රතික්ෂේප කරන්නෙකු වශයෙන්ම සිටින්නෙහිය" (යයි නොකියා සිටීම සඳහාද, ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරන ලද අලංකාරවත් නියෝගයන් අනුගමනය කරනු). (39:59)
මෙම කුරානයෙහි සියලු උපමාවන් මිනිසුන්ට අපි (නැවත නැවතත්) විවරණය කර පවසා ඇත්තෙමු. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු මෙය ප්‍රතික්ෂේප නොකර සිටියේ නැත. (17:89)
විශ්වාසවන්තයිනී! ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, ඔහු තමන්ගේ (මෙම) දූතයා කෙරෙහි පහළ කළ මෙම ධර්මයද, මෙයට පෙර ඔහු පහළ කළ ධර්මයන්ද විශ්වාස කරනු. කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ මලායිකාවරුන්වද, ඔහුගේ ධර්මයන්ද, ඔහුගේ දූතයන්වද, අවසාන දිනයද, ප්‍රතික්ෂේප කරන්නේද, ඔහු නියත වශයෙන්ම ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම ගමන් කරන්නේය. (4:136)
(මෙම ප්‍රතික්ෂේප කරන්නන් බොරු කරන) මෙම උසස් ශුද්ධ වූ කුරානය - ලව්හුල් මහ්ෆූල්හිද (සටහන් කරනු ලැබ) ඇත්තේය. මෙය මොවුන් ප්‍රතික්ෂේප කිරීමෙන් සිදු විය හැක්කේ කුමක්ද?) (85:21,22)
(නබියේ!) කවුරුන් මෙම ධර්මය සිතට විරුද්ධව ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට ඔබ බිය ගන්වා අනතුරු ඇඟවීමද, ඔවුන්ට ඔබ බිය ගන්වා අනතුරු අඟවා නොසිටීමද, ඔවුන්ට එක සමානය. ඔවුන් විශ්වාස කරන්නේම නැත. (2:6)
කවුරුන් අපගේ (මෙම ධර්ම) පුස්තකයන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම අපි (පරලොවදී) නිරයෙහි සේන්දු කර හරින්නෙමු. ඔවුන් දඬුවම් සදා විඳීම සඳහා ඔවුන්ගේ හම දැවී අඟුරු වී යන සෑම විටම වෙනත් අලුත් හමක් මාරු කරමින් සිටින්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් ඉමහත් බලසම්පන්නව හා ඥානවන්තවද සිටින්නේය. (4:56)
නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි (බාර ගනු ලැබූ) ධර්මය ඉස්ලාමයයි. ධර්මය පහළ කරනු ලැබූවන්, (මෙයයි සත්‍යය ධර්මය යන) ඥානය ඔවුන්ට ලැබුනු පසුද, තමන් අතර ඇති ඊර්ෂ්‍යාවේ හේතුවෙම (මෙයට) වෙනස් කම් දැක් වූහ. එබැවින් (මෙසේ) කවුරුන් අල්ලාහ්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කරන්නෝද, (ඔවුන්ට විනාශයයි. ඔවුන්ගේ) ගණනය නිර්ණය කිරීමෙහි අල්ලාහ් ඉතාමත් සීඝ්‍රවන්තයෙකි. (3:19)
මීට පෙරද මිනිසුන්ට ඍජු මාර්ගෝපදේශයන් වශයෙන් තිබුනු, (පව්,පින්) වෙන්කර දැනුම් දිය හැකි (අනිත්) දැයද පහළ කර ඇත්තේය. එබැවින් කවුරුන් අල්ලාහ්ගේ (එම) ආයාවන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම දරුණු දඬුවම් ඇත. අල්ලාහ් (සියල්ලටම වඩා) බලසම්පන්නයෙකු හා (නපුරු අයගෙන්) පළි ගන්නෙකු වශයෙන් සිටින්නේය. (3:4)
කවුරුන් තම දෙවියන්ගේ (කුරානය නැමැති) පැහැදිළි දැනුම ලබා ඇත්තෙහුද ඔවුන්ද, ඔවුන්ට දෙවියන් විසින් (ඊසාට) පහළ කරනු ලැබූ දැය (ඉන්ජීල්) සාක්ෂියක් වශයෙන් ඇත්තේද ඔවුන්ද, තවද ඔවුන්ට මෙයට පෙර පහළ කරනු ලැබූ මූසාගේ ධර්මය එක් මර්ගෝපදේශයක් වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද, ඇත්තේද ඔවුන්ද, අනිවාර්‍යයෙන්ම මෙම ධර්මයද විශ්වාස කරනු ඇත.(ඔවුන් වෙනුවෙන් වූ ඵලවිපාකය නම් ස්වර්ගයයි). මෙම පාර්ශවයන් තුනෙන් කවුරුන් මෙය ප්‍රතික්ෂේප කළා වුවද, ඔවුන්ට පොරොන්දු දෙන ලද ස්ථානය නිරයයි. එබැවින් (නබියේ!) ඔබ මෙහි පොඩියක් හෝ සැකයක් ඇති කර නොගනු. නියත වශයෙන්ම මෙය ඔබගේ දෙවියන් විසින් පහළ කරන ලද සත්‍යය (ධර්මය)යි! එහෙත් මිනිසුන්ගෙන් බොහෝමයක් දෙනා මෙය විශ්වාස කරන්නේ නැත. (11:17)
නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්ගේ ආයාවන් ප්‍රතික්ෂේප කරමින්ද, අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරමින්ද සිටින අතර මිනිසුන්ගෙන් සාධාරණය මගින්ම පොළඹවන්නන්වද ඝාතනය කරමින් සිටින්නෝද, ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම මගින් (නබියේ!) ඔබ සුභාරංචි පවසනු මැනව! (3:21)
"තවද කවුරුන් (ඍජු මාර්ගය) ප්‍රතික්ෂේප කර, අපගේ ආයාවන් බොරු කරන්නෝද, ඔවුන් නිරාවාසීන්ම වන්නාහ! ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත". (2:39)
බිය ගන්වා අනතුරු අඟවන්නෙකු අපි කුමන රටකට යැව්වද, එහි සිටි ධනපතියන් (ඔහුට) "නියත වශයෙන්ම අපි, ඔබ ගෙන ආ දූත මෙහෙවර ප්‍රතික්ෂේප කරන්නෙමු" යයි පවසා නොසිටියේ නැත. (34:34)
ඔවුන් භූමියෙහි සංචාරය කර බැලුවේ නැද්ද? එසේ නම්, ඔවුන්ට පෙර (නපුර කරමින්) සිටි අයගේ අවසානය කෙසේ වූයේද යන්න දැන ගනු ඇත. (කළින් නපුර කරමින් සිටි) ඔවුන්ව අල්ලාහ් සහමුලින්ම විනාශ කර දැමුවේය. ප්‍රතික්ෂේප කරන්නන්ටද මේවා වැනි දැයම හමු වනු ඇත. (47:10)
නියත වශයෙන්ම මෙය භය භක්තියෙන් යුත්තන්ට හොඳ ඔවදනක් වශයෙන්ම ඇත්තේය. එහෙත් ඔබගෙන් (එය) බොරු කරන්නන්ද ඇත්තේය යන්න නියත වශයෙන්ම අපි හොඳින්දනිමු. නියත වශයෙන්ම මෙය ප්‍රතික්ෂේප කරන්නන්ට දුක ගෙන දෙන්නක් වශයෙන්ම ඇත්තේය. (එහෙත්) නියත වශයෙන්ම මෙය පොඩියක් හෝ සැකයෙන් තොර සත්‍යයක් වන්නේය. (69:49-51)
නියත වශයෙන්ම (අල්ලාහ් වන) ඔහු මෙම ධර්මය ඔබට මෙසේ පහළ කර ඇත්තේය. අල්ලාහ්ගේ ආයාවන් (කවුරුන් විසින් හෝ) ප්‍රතික්ෂේප කරනු ලැබීම හෝ නැතහොත් සමච්චල් කරනු ලැබීම හෝ ඔබ සවන් දුන්නහොත් ඔවුන් මෙයින් වැළකී වෙනත් කාරණාවකට ප්‍රවේශ වන තුරු ඔබ ඔවුන් සමග වාඩි නොවිය යුතුය; (4:140)
3. අප සමාජයට එවූ නබි මොහම්මද් ﷺ තුමාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව
ශුභාරංචි දෙන්නෙක් වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙක් වශයෙන්ද අපි අපගේ දූතයින්ව යැව්වෙමු. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් නම්, සත්‍යය විනාශ කර දැමීමට අදහස් කර, පුහු තර්කයන් කිරීමට ආරම්භ කර, මගේ ආයාවන් ද, ඔවුන්ට බිය ගන්වා අනතුරු අඟවන ලද (දඬුවම් පැමිණීම) ගැනද සමච්චලයට ලක් කරමින් ගෙන ඇත්තාහ. (18:56)
(නබියේ ඔබ බොරුකාරයෙකු නොව). (එබැවින්) කවුරුන් හෝ විශ්වාස කළායින් පසුව ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළහොත් ඔහු ගැන අවධානය කරනු ඇත; (16:106)
(නබියේ! තවද) ඔබ මෙසේ පවසනු; "අල්ලාහ්ටද, (ඔහුගේ) රසූල්ටද ඔබ අවනත වනු. නමුත් ඔබ ප්‍රතික්ෂේප කළහොත්, නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ව ප්‍රිය කරන්නේ නැත" (3:32)
(නබියේ! මීට මෙර අපි දූතයින් බොහෝමයක් දෙනාව යැවූ) මේ අන්දමටම ඔබවද අපි (අපගේ දූතයා වශයෙන්) එක් සමූහයක් වෙත යැව්වෙමු. මොවුන්ගෙන් පෙරද (මොවුන්ගෙන්) විවිධ සමූහයන් ඉකුත්ව ගොස් ඇත්තාහ. (දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් වෙත දූතයෙකු නොපැමිණියේය). එබැවින් අපි ඔබට වහී මගින් දැනුම් දෙන දැය මොවුන්ට ඔබ සමුදීරණය කර පෙන්වා දෙනු. එහෙත් මොවුන් නම්, (ඔබව ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, තමන් කෙරෙහි අනේක වරප්‍රසාදයන් පහළ කරන ලද අසීමිත දයාළු වන) රහ්මාන්වම ප්‍රතික්ෂේප කරන්නාහ!;(13:30)
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන්ටද, වංචනිකයින්ටද, ඔබ අවනත නොවනු. ඔවුන් විසින් (ඔබට) ඇති වන දුක් ගැහැට ඔබ ප්‍රතික්ෂේප කර දමනු. (ඔබගේ සියලු කාරණාවන්ද) අල්ලාහ්වම විශ්වාස කර බාර දෙනු. (අල්ලාහ්ම (ඔබට) ප්‍රමාණවත් ආරක්ෂකයෙකු වන්නේය. (33:48)
සෑම වාර්ගිකයන් වෙතම (අපි යැවූ අපගේ දූතයාව ඔවුන්ට) සාක්ෂි වශයෙන් අපි කැඳවන (දිනය ගැන නබියේ! ඔබ ඔවුන්ට මතක් කර දෙනු). එදිනදී (එම දූතයින්ව) ප්‍රතික්ෂේප කළ අයට (යම් කිසිවක් කතා කිරීමට) අනුමැතිය දෙනු ලබන්නේ නැත. තවද ඔවුන් නිදහසට බොරු කරුණු ඉදිරිපත් කිරීමටද මාර්ගයක් නොතිබෙනු ඇත. (16:84)
(නබියේ!) අද දින ප්‍රතික්ෂේප කරන්නන්ට ඔබගේ ධර්මය විනාශ කර දැමිය හැකිය යන්න ගැන තිබූ විශ්වාසය බිඳී ගියහ. ඔවුන්ට ඔබ (පොඩියක් හෝ) බිය නොවනු. මටම බිය වනු. මා ඔබට ඔබගේ ධර්මය අද දින පූර්ණය කර තැබුවෙමි. ඔබ වෙනුවෙන් ඉස්ලාම් ධර්මයද තෝරාගෙන (ඔබට පහළ කර භාර) ගත්තෙම්; (5:3)
(නබියේ!) මිනිසුන්ට බිය ගන්වා අනතුරු අඟවන මෙන් (මිනිස් වර්ගයාට අයත්) ඔවුන්ගෙන් කෙනෙකුව වහී මගින් අපි නියෝග කරන්නේ නම්, මෙම මිනිසුන්ට පුදුමයක් වශයෙන් ඇත්තේද?; (10:2)
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් හැර, (වෙන කිසිවෙකුත්) අල්ලාහ්ගේ ආයාවන් ගැන (නිකරුණේ) තර්ක කරන්නේ නැත. එබැවින් (නබියේ! නිකරුනේ තර්ක කරන) ඔවුන්, විවිධ නගරයන් හිද (ඉතාමත් ආඩම්බරයෙන් යුතුව සැප පහසුවෙන්) ඒ මේ අත සැරිසරනු ඔබව රවටා නොදැමිය යුතුය. (40:4)
(නබියේ!) කවුරුන් මෙලොව ජීවිතයෙන් මත් වී තමන්ගේ ධර්මය පුහු සෙල්ලමක් වශයෙන්ද, (විහිළුවල් වශයෙන්ද) ඇර ගත්තෝද, ඔවුන්ව (ඔවුන්ගේ ගමනෙහි) අත්හැර දමනු. එහෙත් 'සෑම ආත්මයක්ම තම (නපුරු) ක්‍රියාවන්ගේ හේතුවෙන් (විනිශ්චය දිනදී) විපතට ඇතුළු වනු ඇත' යන සත්‍යය ඔබ (ඔවුන්ට) මතක් කර දෙනු; (6:70)
4. දෙවියන්ගේ දයාව සහ වරප්‍රසාද ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව
ඔබගෙන්ම ඔබ වෙනුවෙන් භාර්‍යාවන් අල්ලාහ් නිර්මාණය කර ඇත්තේය. තවද ඔබගේ භාර්‍යාවන්ගෙන් දරුවන්වද, මුනුබුරු මිණිපිරියන්වද උත්පාදනය කර, ඔබට හොඳ ආහාරද කවන්නේය. (මෙසේ තිබියදී) ඔවුන් (තමන් වෙනුවෙන් මනක්කල්පිත කරගත්) ව්‍යාජ දැය විශ්වාස කර, අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නෙහුද? (16:72)
(මනුෂ්‍යයිනි!) ප්‍රාණයක් නොමැතිව තිබූ ඔබට පණ දී තිබියදී, ඔබ අල්ලාහ්ව කෙසේ නම් ප්‍රතික්ෂේප කරන්නෙහුද? ඉන් පසුවද ඔහුම ඔබව මරණයට පත් කරන්නේය. පසුවද ඔහුම ඔබව පණ දෙන්නේය. (ඉන්) පසුවද ඔබ (ඔබගේ කළකම් සඳහා ඵල විපාක අත් කර ගැනීම සඳහා) ඔහු වෙතම (විනිශ්චය සඳහා) ගෙන එනු ලබන්නෙහුය. (2:28)
ඔහුම මෙලොවෙහි ඔබව නියෝජිතයින් බවට නිර්මාණය කළේය. එබැවින් (ඔබගෙන්) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ විනාශය ඔවුන් කෙරෙහි පවරනු ලැබේ. ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය ඔවුන්ගේ දෙවියන්ගේ කෝපය මිස, (වෙන කිසිවක්) වැඩි කරන්නේ නැත. ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේප පාඩුවක් මිස, (වෙන කිසිවක්) වැඩි කර හරින්නේද නැත. (35:39)
අල්ලාහ්ගේ (මෙවැනි) වරප්‍රසාදයන් ඔවුන් හොඳින් දැන සිටීමෙන් පසුවද, එය ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කෙළෙහි ගුණ නොදත් අය වශයෙන්ම සිටින්නාහ. (16:83)
මිනිසාට යම්කිසි විපතක් ඇති වන විට, සම්පූර්ණයෙන්ම තම දෙවියන් දෙසම බලා ප්‍රාර්ථනා කරමින්ම සිටින්නේය. නමුත් දෙවියන් යම් කිසි වරප්‍රසාදයක් පහළ කරන විට, මීට පෙර ඔහු කුමක් ප්‍රාර්ථනා කරමින් සිටියේද, එය අමතක කර දමා, අල්ලාහ්ට (බොරු දෙවිවරුන්ව) සමානයක් කර, (අන් අයවද) ඔහුගේ මාර්ගයෙන් වැරද යාමට සලස්වන්නේය; (39:8)
කවුරුන් තමන්ව පෝෂනය කර, පරිපාලන කරන්නාව ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ගේ ක්‍රියාවන්ගේ උපමාව අළු මෙන් ඇත්තේය! සුළි සුළං කාලයට හමන දැඩි සුළඟ එය, ගසාගෙන යන ලදී. තමන් සොයා ගත් දැයෙන් කිසිවක් ඔවුන් අත් කර ගන්නේ නැත. මෙයම ඉතාමත් ඈතින් වූ දුර්මාර්ගය වන්නේය. (14:18)
මිනිසුන්ගෙන් බොහෝමයක් ඉතාමත් ගුණමකු අය වශයෙන් සිටින්නාහ.; (25:50)
කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්හී ඇතුළු කරන්නේය. කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් සතුන් කන්නාක් මෙන් කමින්ද, (සතුන් මෙන්) සුවය විඳිමින්ද සිටින්නාහ. (එහෙත්) ඔවුන් (අවසාන වශයෙන්) රැඳෙන ස්ථානය නිරයයි.( 47:12)
නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයේ සතුන් සියල්ලගෙන් ඉතාමත් නපුරු (දැය කුමක්ද යත්) ප්‍රතික්ෂේප කරන්නන්ය; (8:55)
අහස් හා භූමියෙහි ඇති (නිධානයන් ආදී) දැයේ යතුරු ඔහු වෙතම ඇත්තේය. එබැවින් අල්ලාහ්ගේ ආයාවන් කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් සම්පූර්ණයෙන්ම පාඩුව අත් කර ගත අයයි. (39:63)
(ඔබ අපරාධ කිරීම අත්හැර දමා පසුව හෝ එයින් ඈත් වුවහොත්) ඔබගේ දෙවියන් ඔබ කෙරෙහි දයාව දැක්විය හැකිය. (නොඑසේ නම්, ඔබගේ කාරණාව දෙසටම) නැවතත් ඔබ හැරුණොත් අපිද (ඔබව පෙර මෙන් දඬුවම් දීමට) ඉදිරිපත් වන්නෙමු. තවද (මෙවැනි) කෙළෙහිගුණ නොදත් අයව නිරය වටකර ගන්නා ලෙසටද සලස්වන්නෙමු. (17:8)
නියත වශයෙන්ම (අල්ලාහ් මත විශ්වාසය නැති) ප්‍රතික්ෂේප කරන්නන් මිස, (වෙන කිසිවෙකුත්) අල්ලාහ්ගේ දයාවෙහි විශ්වාසය බිඳ දමන්නේ නැත"; (12:87)
5. පොදු පණිවිඩ ලෙස
අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, මිනිසුන් සියල්ලන්වම ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට ඉඩ තිබුණි යන්න ගැන විශ්වාසවන්තයින් සෑහීමකට පත් උනේ නැද්ද?; (13:31)
ප්‍රතික්ෂේප කරන්නන් තමන් තමන්ටම නපුර කර ගන්නාහ; (2:254)
(මෙම ධර්මය සිතට විරුද්ධව ප්‍රතික්ෂේප කරන) පාපතරයන් හැර, (අන් කිසිවෙකුත්) මෙමගින් මාර්ගය වැරද යාමට ඔහු සලස්වන්නේ නැත; (2:26)
කවුරුන් හෝ පශ්චාත්තාප වී (පාපයන්ගෙන් ඈත් වී) හැඩ ගැසුනොත් (අල්ලාහ් ඔවුන්ට) සමාව දෙනු ඇත. මන්ද යත් නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ම සිටින්නේය (3:89)
(තවද) අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ ආරක්ෂකයාය. ඔවුන්ව අන්ධකාරයෙන් (පිටතට ගෙන) ඉමහත් ආලෝකය දෙසට ඇතුළු කරන්නේය. නමුත් ප්‍රතික්ෂේප කරන්නන්ට නම්, ඔවුන්ගේ ආරක්ෂකයින් ෂෙයිතාන්වරුන්ය. ඒවා ඔවුන්ව ඉමහත් ආලෝකයෙන් (පහ කර) අන්ධකාරය දෙසට ඇතුළු කරන්නේය. (තවද) ඔවුන් නිරාවාසීන්ය. (තවද) ඔවුන් එහි සදහටම රැඳී සිටිනු ඇත. (2:257)
අල්ලාහ්ගේ ආලෝකය තම කටින් පිඹ නිවා දැමිය හැකි යැයි මොවුන් අදහස් කරන්නාහ. මෙම ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළා වුවද, අල්ලාහ් තමන්ගේ ආලෝකය (ලොව පුරා ආලෝකය විහිදුවන මෙන්) පූරණය කර ඇත්තේය. (61:8)
කවුරුන් අල්ලාහ්ගේ මාර්ගය වළක්වා එහි වැරද්ද (සැකය)ද ඇති කරන්නට අදහස් කරන්නෝද, ඔවුන් පරලොවද ප්‍රතික්ෂේප කරන්නන්ය. (11:19)
ඔබගෙන් කවුරුන් හෝ අල්ලාහ්ටද, ඔහුගේ මලායිකාවරුන්ටද, ඔහුගේ රසූල්වරුන්ටද, ජිබ්රීල්ටද, මීකායීල්ටද, සතුරෙකු වශයෙන් සිටිමින් (ඔවුන්ව ප්‍රතික්ෂේප කර) හැරියොත්, එම ප්‍රතික්ෂේප කරන්නන්ට නියත වශයෙන්ම අල්ලාහ්ද සතුරෙකු වශයෙන්ම සිටිනු ඇත. (2:98)
තවද අල්ලාහ් (තමන්ව) ප්‍රතික්ෂේප කරන ජනතාව (ඔවුන්ගේ නපුරු ක්‍රියාවන් හේතුවෙන්) ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත: (2:264)
අපි ඔවුන්ට පහළ කළ දැයද, ප්‍රතික්ෂේප කර හරින්නාහ. (එබැවින් ඔවුන්ට "මෙලොවදී) පොඩියක් සුවය විඳ ගනු. පසුව (පරලොවදී) ඔබ (සත්‍යය) දැන ගන්නෙහුය" (යයි නබියේ! ඔබ පවසනු මැනව!) (16:55)
(මෙවැන්නන්) මෙලොවෙහි සුළු සැපතක් විඳිය හැක. පසුව (පරලොවදී නම්), අප වෙතම ඔවුන් පැමිණිය යුතුව ඇත්තේය. පසුව (සත්‍යය මෙසේ) ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුන් දරුණු දඬුවම් විඳින ලෙසට අපි සලස්වන්නෙමු.(10:70)
(මෙලොවදී) ඔවුන් තර්ක කරමින් සිටි දැය ඔවුන්ට අල්ලාහ් පැහැදිලිව දැනුම් දීම පිණිසද, ප්‍රතික්ෂේප කරන්නන් තමන්ම බොරුකාරයින් යන්න දැන ගැනීම සඳහාද, (පරලොවදී ඔවුන්ට පණ දෙනු ලබන්නාහ. එසේ ඔවුන්ව නැගිටවීම අපට එතරම් කාරියක් නොව). (16:39)
"(තවද) සකාත් නොගෙවූ අයටද, පරලොව ප්‍රතික්ෂේප කල අයටද විනාශයයි)" (41:7)
පාපයන් කරමින් සිටින ඔවුන්ගෙන් කෙනෙකුට මරණය ළඟා වූ විට, "මෙන්න! මා (මගේ පාපයන්ට) පස්චාප්තාප වන්නෙමි" යයි පවසන්නේද ඔහුටද, කවුරුන් (විශ්වාසය නොතබා ප්‍රතික්ෂේප කර) ප්‍රතික්ෂේපය මතම සිටින්නෝද ඔවුන්ටද, පව් ක්ෂමාවක් නැත. මෙවැන්නන්ට වේදනා ගෙන දෙන දඬුවම්ම පිළියෙල කර ඇත්තෙමු. (4:18)
විශ්වාසවන්තයිනී! (තමන් මෙන්) විශ්වාසවන්තයින් මිස, ප්‍රතික්ෂේප කරන්නන්ව තමන්ට ආරක්ෂකයින් (අව්ලියා) බවට පත් කර නොගත යුතුය. ඔවුන්ගෙන් (තමන්ව) ආරක්ෂා කර ගන්නට මිස, කවුරුන් හෝ මෙසේ කළහොත් ඔවුන්ට අල්ලාහ්ගේ සන්නිධානයෙන් කිසිම සම්බන්ධයක් නැත. අල්ලාහ් තමන් ගැන ඔබට (බිය ගන්වා) අනතුරු අඟවන්නේය. (ඔබ) අල්ලාහ් වෙතටම (අවසානයේදී) යා යුතුව ඇත්තේය. (3:28)
විශ්වාසවන්තයිනී! ඔබගෙන් කවුරුන් හෝ තමන්ගේ ධර්මයෙන් මාරු වුවහොත් (එමගින් අල්ලාහ්ට කිසිම පාඩුවක් නැත, ඔබව යවා වෙනත් ජනතාවක් අල්ලාහ් ගෙන එනු ඇත. ඔහු ඔවුන්ව ප්‍රිය කරනු ඇත. ඔවුන්ද ඔහුව ප්‍රිය කරනු ඇත; (5:54)
කවුරුන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූවෝද, ඔවුන්ගේ ක්‍රියාවන් කාන්තාරයේ ඇති වන මිරිඟුව මෙන් ඇත්තේය. පිපාසයට පත් වූ අය එය, ජලය යයි අදහ්ස් කරමින් ඒ අසළට පැමිණෙන විට, කිසිවක් ඔහු දකින්නේ නැත. එහෙත් අල්ලාහ්වම ඒ ස්ථානයේ දකින්නේය. ඔහු මොහුගේ ගණනය අවසන් කර හරින්නේය. (එනම් ඔහුව මරණයට පත් කර හරින්නේය). අල්ලාහ් ප්‍රශ්ණ කිරීමෙහි ඉතාමත් තීව්‍රවන්තයෙකි. (24:39)
එහෙත් කවුරුන් විශ්වාසය තැබීමෙන් පසු ප්‍රතික්ෂේප කර, එම ප්‍රතික්ෂේපයේම අධික වන්නෝද, ඔවුන්ගේ සමාව ඉල්ලීම නියත වශයෙන්ම බාර ගනු නොලැබේ. ඔවුන්ම (සම්පූර්ණයෙන්) මාර්ගය වැරද ගියවුන් වන්නාහ. (3:90)
නියත වශයෙන්ම කවුරුන් ප්‍රතික්ෂේප කර, (එම ප්‍රතික්ෂේපයෙන් නොමිදී) ප්‍රතික්ෂේප කරමින්ම මරණයට පත් වන්නෝද, ඔවුන්ගෙන් කෙනෙකුට මෙම භූමියෙහි බොහෝ සේ රත්‍රන් තිබී, එය (තම වරදට සමාව ලබා ගැනීම සඳහා ඒ සියල්ල) තමන්ට වන්දි වශයෙන් දුන්නද, (එය) භාර ගනු ලබන්නේ නැත. මෙවැන්නන්ටම වේදනා ගෙන දෙන දඬුවම් ඇත. මොවුන්ට උදව් කරන්නන්ද (එහිදී) කිසිවෙකුත් නැත. (3;91)
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් භූමියෙහි (දිව ගොස් සැඟවී බේරී) අපව පරාජය කර හරින්නෙහු යයි ඔබ නොසිතනු. (ඔවුන් අනිවාර්‍යයෙන්ම දඬුවමට හසු කරන්නෙමු. පරලොවදී) ඔවුන් යන තැන නිරයයි. එය රැඳෙන ස්ථානයන්ගෙන් ඉතාම නපුරුය. (24:57)
ප්‍රතික්ෂේප කරන්නන් තමන් බේරුනාය යයි ඔවුන් නොසිතිය යුතුය. නියත වශයෙන්ම ඔවුන් (අපව) පරාජය කළ නොහැක. (8:59)
(තවත් මොවුන්ගේ උපමාව නම්); එක් ෂෙයිතාන් කෙනෙකුගේ උපමාවට සම වන්නේය. ඔහු මිනිසාට "ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද) ප්‍රතික්ෂේප කර දමනු" යයි පැවසුවේය. එසේම ඔහුද ප්‍රතික්ෂේප කර දැමුවේය. (පසුව ෂෙය්තාන් ඔහුට) "නියත වශයෙන්ම මා ඔබෙන් ඈත් වූවෙමි. මන්දයත් ලෝකයන්හී දෙවියන් වන අල්ලාහ්ට ඇත්තෙන්ම මා බිය වන්නෙමි' යයි පැවසුවේය. (59:16)
6. මිනිසුන්ව, පිළිරූ සහ වෙනත් දෑ නමදින්නන්ට අදාලව
(නබියේ!) කවුරුන් අල්ලාහ් සමග වෙනත් හිමියෙකු (දෙවියන් යයි) ආරාධනා කරන්නේද, ඔහු වෙත එයට අයත් කිසිම සාධකයක් නැත. ඔහුගේ (පාපයන්ගේ) ගණනය ඔහුගේ දෙවියන් වෙතම (තීන්දු කරනු ලැබේ); (23::117)
මෙම ප්‍රතික්ෂේප කරන්නන් අපව අත්හැර දමා අපගේ වහලුන්ම (තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ගත හැකි යයි අදහස් කරමින් සිටින්නෝද? නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට ආගන්තුක සත්කාර කිරීම සඳහා නිරයම අපි පිළියෙල කර ඇත්තෙමු. (18:102)
(නබියේ!) අල්ලාහ්ගේ දයාව ප්‍රතික්ෂේපය මගින් වෙනස් කර, තමන්ගේ ජනතාවද විනාශ පාතාලයෙහි බැසීමට සලස්වන ලද අයව ඔබ නොදැක්කෙහිද? ඔවුන් නිරයටම පැමිණ සේන්දු වනු ඇත. (එය) නැවතී සිටින ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරු ස්ථානයකි. (14:28,29)
මෙවැන්නන්ම තමන්ගේ දෙවියන්ගේ ආයාවන්ද, ඔහුව හමුවන්නෙමු යන්නද ප්‍රතික්ෂේප කළ අයයි. ඔවුන්ගේ හොඳ ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. (පින්, පව් කිරා බැලීමට) ඔවුන් වෙනුවෙන් විනිශ්චය දිනදී තරාදිය අපි නොසිටුවන්නෙමු. (18:105)
ප්‍රතික්ෂේප කරන්නන් එදිනදී (දෙවියන්ට) "අපගේ දෙවියනේ! අපව මාර්ගය වැරද යාමට සැලැස්වූ මිනිසුන්වද, ජින්වරුන්වද අපට පෙන්වනු. ඔවුන්ව අවමානයට ලක් කිරීම පිණිස, අපි ඔවුන්ව අපගේ කකුල් වලට යටින් තබා පාගා දමන්නෙමු" යයි පවසනු ඇත. (41:29)
බාහිරා, සායිබා, වසීලා, හාම් (ආදී) මේ සියල්ල අල්ලාහ් ඇතිකළ දැය නොව. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන්ම (ඒවා අල්ලාහ් විසින් ඇති කළ දැය යයි) අල්ලාහ් මත බොරුවට මනඃක්කල්පිත කරන්නාහ. ඔවුන්ගෙන් බොහෝමයක් නොදැනුවත් අය වශයෙන්ම සිටින්නාහ. (5:103)
(ව්‍යාජ දෙවිවරුන් වෙත) ප්‍රතික්ෂේප කරන්නන් කරන ප්‍රාර්ථනාවන් දුර්මාර්ගයක් වශයෙන්ම ඇත්තේය; (13:14)
කවුරුන් අල්ලාහ් කෙරෙහි බොරු ගොතා මනඃක්කල්පිත කර පවසන්නෝද, නැතහොත් ඔහුගේ ආයාවන් බොරු කරන්නෝද, ඔහුට වඩා අපරාධකරුවා කවරෙක්ද? (මෙලොව දී ජීවත් වන තුරු) ඔවුන්ට නියම කර ඇති (ආහාර වස්තුව ආදී) දැය ඔවුන්ට ලැබෙමින් පවතී. (ඔවුන්ගේ කාලය අවසන් වී) තමන්ගේ පණ අත්පත් කිරීමට අපගේ මලායිකාවරුන් ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී, (ඔවුන්ට) "ඔබ ආරාධනා කරමින් තිබූ දැය කොහේද?" යි ඔවුන් විමසනු ඇත. එයට ඔවුන් "(ඒවා සියල්ල) අපව අතහැර දමා (දිව ගොස්) සැඟවී ගියහ" යයි කියා, ඇත්තෙන්ම අපි (සත්‍යය) ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටි බවද, තමන් තමන්ට විරුද්ධවම සාක්ෂි ශරන්නාහ. (6:37)
ඒවාට ඔබ ආරාධනා කළා වුවද, ඔබගේ ආරාධනාව ඒවායේ සවනට වැටෙන්නේ නැත. ඒවා සවන් ඩුන්නා වුවද, ඔබට පිළිතුරු දෙන්නේ නැත. විනිශ්චය දින දී නම් (ඒවා) ප්‍රතික්ෂේප කර දමනු ඇත. සියල්ල දන්න (දෙවියන්) මෙන් (එම දෙවිවරුන්) කිසිවක් ඔබට දැනුම් දෙන්නේ නැත. (35:14)
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන්ව (පාපතර කාරණාවන් කරන මෙන්) පොළඹවමින් සිටිනු සඳහාම ෂෙයිතාන්වරුන්ව අපි (ඔවුන් වෙත) යවා ඇත්තෙමු යන්න ඔබ අවධානය නොකළෙහිද? (19:83)
අපි ඔවුන්ට දුන් වස්තූන්ගෙන් එක් කොටසක් තමන් නොදැනුවත් දැය (වන දෙවිවරුන්ට) යයි සඳහන් කර පවසන්නාහ. අල්ලාහ් මත සත්තකින්ම! ඔබ මනඃක්කල්පිතව පවසන මෙම බොරු (කියමන්) ගැන (පරලොවදී) නියත වශයෙන්ම ඔබව විමසනු ලබන්නෙහුය. (16:56)
සමානයන් තබා නමදින්නන් පිළිකුල් කළා වුවද, අන් සියළුම ධර්මයන් ජයග්‍රහණය කරනු පිණිස, ඔහුම තමන්ගේ දූතයාව ඍජු මාර්ගය මගින්ද, සත්‍යය ධර්මය මගින්ද, යැව්වේය. (61:9)
නියත වශයෙන්ම කවුරුන් ප්‍රතික්ෂේප කර, අල්ලාහ්ගේ මාර්ගයද වළක්වා දමා ප්‍රතික්ෂේප කරමින්ම සිටින්නෝද, ඔවුන් (ගේ වැරදි වලට) අල්ලාහ් කිසි කලෙක සමාව දෙන්නේම නැත. (47:34)
(අන්ධයින් මෙන් තමන්ගේ මුතුන් මිත්තන්ව අනුගමනය කරන) එම කාෆිර්වරුන්ගේ උපමාව නම්, (අර්ථය වටහා නොගෙන) කෑ කෝ ගැසීමද, විලාපයද මිස, වෙන කිසිවක් වටහා නොගත හැකි දැය (ගමේ සතුන්ව) කැඳවීමට ශබ්ද නගන කෙනෙකු (එඬේරෙකු)ගේ උපමාවට සමාන වන්නේය. තවද ඔවුන් (කිසිවක් ඇසීමට නොහැකි) බිහිරන් වශයෙන්ද, (කිසිවක් කීමට නොහැකි) ගොළුවන් වශයෙන්ද, (කිසිවක් දැකීමට නොහැකි) අන්ධයින් වශයෙන්ද සිටින්නාහ. එබැවින් ඔවුන් (කිසිවක්) දැන ගන්නේ නැත. (2:171)
(පරලොව) ප්‍රතික්ෂේප කර, අල්ලාහ්ගේ මාර්ගයද වළක්වා (අපරාධ කරමින්) සිටි මොවුන්ට, මොවුන්ගේ අපරාධයන්හි හේතුවෙන් දඬුවම් පිට දඬුවම් වශයෙන් අපි අධික කරමින් සිටින්නෙමු. (16:88)
පසුව විනිශ්චය දිනදී නම්, ඔහු ඔවුන්ව අවමන් කර '(ඔබ ඔබගේ දෙවිවරුන්ව) මා හට සමානයන් යැයි (පවසා, විශ්වාසවන්තයින් සමග) ඔබ තර්ක කරමින් සිටියා නොවෙද? ඒවා කොහේද" " යි විමසනු ඇත; (16:27)
ඔවුන්ට මෙම කුරානය කියවා පෙන්වනු ලැබුවා වුවද, (දෙවියන්ව) ඔවුන් හිස බිම තබා නමදින්නේ නැත. (84:21)
7. මොහම්මද් ﷺ නබි තුමාට ඍජුවම සතුරුකම් කළ අය සම්බන්ධව
(නබියේ!) "ඔබ (දෙවියන් විසින්) යවනු ලැබූ දූතයෙකු නොව" යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ. (එයට ඔවුන්ට " මේ ගැන) මටත් ඔබටත් අතරේ අල්ලාහ්ද, ධර්ම ඥානය හිමි අයද ප්‍රමාණවත් සාක්ෂිකරුවන් වන්නාහ" යයි පවස්නු මැනව! (13:43)
ඔවුන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරනය කර පෙන්වනු ලැබුව හොත්, එයට ඔවුන් (අපගේ දූතයා ගැන) "මොහු එක් (සාමාන්‍ය) මිනිසෙකු මිස, වෙන කිසිවෙක් නොව, ඔබගේ මුතුන් මිත්තන් නමදිමින් තිබූ දැයෙන් ඔබව වළක්වා හැරීමට මොහු අදහස් කරන්නේය. (ඔහු පවසන) මෙය නිකම්ම නිකම් ප්‍රබන්ධ කතාවක් මිස වෙන කිසිවක් නොව" යයි පවසන්නාහ. තවද, (ශුද්ධ වූ කුරානය වන) "මෙය ප්‍රකට සූනුයමක් මිස, වෙන කිසිවක් නොව" යයිද මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ. (34:43)
අල්ලාහ්, ප්‍රතික්ෂේප කරමින් සිටින මොවුන්ව (සෑම විටම) වටකරගෙනම සිටින්නේය; (2:19)
"නියත වශයෙන්ම අපි මෙම කුරානයද විශ්වාස නොකරමු. මෙයට පෙර ඇති ධර්මයද විශ්වාස නොකරමු" යයිද මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ. එබැවින් මෙම අපරාධකාරයින් තමන්ගේ දෙවියන් ඉදිරියේ සිටුවා තබා….., [ඔවුන්ගේ දීන වූ ත්ත්වය ඔබ දැක ගන්නෙහුය;] (34:31)
මොවුන්ට අපගේ පැහැදිළි ආයාවන් සමුදීරණය කර පෙන්නුවහොත් (ඒවා) ප්‍රතික්ෂේප කරන මොවුන්ගේ මුහුණුවල පිළිකුල ඔබ දකින්නෙහිය; (22:72)
ධර්මය හිමි අයගෙන් එක් සමූහයක් (තම වාර්ගිකයින්ට) මෙසේ පවසන්නාහ; "ඔබ විශ්වාසය තැබූවන්ට පහළ කරන ලද (මෙම ධර්මය) උදේ කාලයේ විශ්වාස කර, සවස් කාලයේ (එය) ප්‍රතික්ෂේප කර හරිනි. (මෙමගින් විශ්වාසය තැබූ) ඔවුන්ද, (අවුල් වී තම විශ්වාසයෙන්) හැරී යනු ඇත. (3:72)
ප්‍රතික්ෂේප කරන්නන් (අන් අයට) "ඔබ මෙම කුරානය (ඔබගේ කන් වලින්ද) නොඅසනු. (කවුරුන් එය සමුදීරණය කළා වුවද, ඔබ ඒ අවස්ථාවේදී ශබ්ද නගා) එහි ආරවුල් ඇති කරනු. එමගින් ඔබ ජයග්‍රහණය කරන්නෙහුය" යයිද පැවසූහ. (41:26)
(නබියේ!) මෙම ප්‍රතික්ෂේප කරන්නන් (අපගේ දූතයා වන ඔබව ගෙන හැර දක්වමින්) "මොහු කෙරෙහි මොහුගේ දෙවියන් වෙතින් (අපි කැමති ආකාරයට) කුමක් හෝ සාධකයක් පහළ කළ යුතු නොවේද? යි පවසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු; "නියත වශයෙන්ම අල්ලාහ් (දඬුවම් කිරීමට) අදහස් කරන අයව, වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේය. සම්පූර්ණයෙන්ම ඔහු දෙසටම සිටින්නන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය". (13:27)
(නබියේ!) ඔබට පෙර (පැමිණි අපගේ) දූතයින් බොහෝමයක් දෙනාද (මේ අන්දමටම) නියත වශයෙන්ම සමච්චලයට ලක් කරනු ලැබූහ. (ඔවුන්ව) ප්‍රතික්ෂේප කළ අයවද (එවෙලේම දඬුවම් නොකර) මා කල් දී අත්හැර දැමුවෙමි. එහෙත් පසුව මා ඔවුන්ව අල්ලා ගත්තෙමි. අපගේ දඬුවම කෙසේ තිබුණේද (යන්න සිතා බලනු මැනව!). (13:32)
ප්‍රතික්ෂේප කරන්නන්ට මෙලොව ජීවිතයම අලංකාරවත් ආකාරයට (සිතෙන සේ) පත් කරනු ලැබ ඇත්තේය. එබැවින් ඔවුන් (දුප්පතුන් වශයෙන් සිටින) විශ්වාසවන්තයිව සමච්චල් කරන්නාහ. නමුත් (විශ්වාසවන්තයින් වන) පරිශුද්ධවන්තයින් නම්, විනිශ්චය දිනදී ඔවුන්ට වඩා (අපමණ තරම්) උසස්ව සිටිනු ඇත. තවද අල්ලාහ් කැමැත්තන්ට ගණනය නොකරම ලබා දෙන්නේය .(2:212)
එබැවින් (නබියේ!) මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට අවනත නොවනු. තවද, (කුරානය වන මෙය) සාක්ෂි වශයෙන් තබා ඔබ ඔවුන් සමග දෙඩි ලෙස තර්ක කරනු (25:52)
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් (ඉමහත් වෙළෙන්දන් වශයෙන්ද, ධනවතුන් වශයෙන්ද ආඩම්බරයෙන් යුතුව) නගරයන්හි සැරිසරමින් සිටිනු ඔබව වශී නොකළ යුතුය. (3:196)
(නබියේ!) (ඒ ස්ථානයේදීද) ඔවුන් ඔබට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියහොත් ඔබත් ඔවුන්ව කපා දමනු. එම ප්‍රතික්ෂේප කරන්නන්ට අයත් ඵලවිපාකය මෙයයි!; (2:191)
(අපගේ) දූතයානෙනී! සමහරෙකු ප්‍රතික්ෂේපය දෙසට වේගයෙන් දිවීම ඔබට දුකක් ගෙන දිය යුතු නැත. මන්දයත් "විශ්වාසය තැබුවෙමු"යයි තමන්ගේ මුවින් පමණක් පැවසුවා මිස, ඔවුන්ගේ හෘදයන් (එය) භාර ගත්තේ නැත; (5:41)
8. ධර්මය හිමි අය (යුදෙව්වන් සහ ක්‍රිස්තියානිවරුන්)ට අදාලව
(නබියේ!) ඔබ මෙසේ කියනු; ධර්මය හිමි අයවළුනී! අල්ලාහ්ගේ ආයාවන් ඔබ කුමක් නිසා ප්‍රතික්ෂේප කරන්නෙහුද? අල්ලාහ් නම් ඔබ කරන දැයට සාක්ෂි වශයෙන් සිටින්නේය. (3:98)
තව්රාත් (නැමති ධර්මයද) නියත වශයෙන්ම අපිම පහළ කර ඇත්තේය. එහි ඍජු මාර්ගය ඇත්තේය. දීප්තිමත් ආලෝකයද ඇත්තේය. (අල්ලාහ්ට) සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කළ නබිවරුන්, එමගින් යුදෙව්වන්ට (ධර්ම) නියෝගයන් දෙමින් සිටියහ…,
තවද ඔවුන් (තමන්ගේ ධර්මයෙහි ඇති සත්‍යය සඟවා) ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ප්‍රතික්ෂේප කරමින්ම මරණයටද පත් වන්නෝද, ඔවුන් කෙරෙහි අල්ලාහ්, මලායිකාවරුන්, මිනිසුන් ආදී සියල්ලගේ ශාපය නියත වශයෙන්ම අත් වන්නේය.(2:161)
විශ්වාසවන්තයිනී! ධර්මය හිමි අයගෙන් (ඇති) එක් සමූහයකට ඔබ අවනත වුවහොත් ඔබ විශ්වාසය තැබුවායින් පසුවද ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් ඔබව හරවා යවනු ඇත. (3:100)
…කවුරුන් අල්ලාහ් පහළ කළ දෙය මගින් විනිශ්චය නොදෙන්නෝද, ඔවුන් නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ම වන්නාහ!; (5:44)
ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් කවුරුන් ප්‍රතික්ෂේප කළෝද ඔවුන්ව, දාවුද්, මර්යම්ගේ පුත් ඊසා අදී මොවුන්, මුවින්ද ශාප කරනු ලැබ ඇත්තාහ. මන්දයත් (ඒ කාලයේදී) සිමාව ඉක්මවාද, පාපයන් කරමින්ද සිටියහ. (5:78)
"නියත වශයෙන්ම අල්ලාහ් (පියා, පුත්‍රයා, පරිශුද්ධ ආත්මය ආදී මෙම) තිදෙනාගෙන් කෙනෙකි" යයි පැවසූ අයද, නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ; (5:73)
"නියත වශයෙන්ම මර්යම්ගේ පුත් මසීහ්, අල්ලාහ් (දෙවියන්)ය" යයි පැවසූ අයද ඇත්තෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ. එහෙත් එම මසීහ් නම්, "ඉස්රායීල පරම්පරාවේ දරුවනී! මගේ දෙවියන්වද, ඔබගේ දෙවියන්වද වන අල්ලාහ්වම නමදිනු" යයිම පැවසූහ. කවුරුන් අල්ලාහ්ට සමානයන් තබන්නේද, ඔහුට නියත වශයෙන්ම අල්ලාහ් ස්වර්ගය වළක්වා හරින්නේය. ඔහු රැඳෙන ස්ථානය නිරයයි. (මෙවැනි) අපරාධකාරයින්ට (විනිශ්චය දිනදී) උදව් කරන්නන් කිසිවෙකුත් නැත" (5:72)
ඔබ, ධර්මයෙහි (ඇති) සමහර නියෝගයන් විශ්වාස කර සමහර නියෝගයන් ප්‍රතික්ෂේප කරන්නෙහුද?;(2:85) [*මෙය පවසන්නේ යුදෙව්වන්ටය]
ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව ශාප කර හැරියේය. එබැවින් ඔවුන් විශ්වාස කිරීම ඉතාමත් අල්පය; (2:88) [*මෙය පවසන්නේ යුදෙව්වන් ගැනය]
මා පහළ කළ (මෙම ධර්මය) ඔබ විශ්වාස කරනු. මෙය ඔබ වෙත ඇති දැයද (තව්රාත් නැමති ධර්මයද) සත්‍යය කර තබන්නේය. මෙය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ඔබ, පළමුවැන්නන් බවට පත් නොවනු. (මෙම ධර්මය ගැන ඔබ වෙත ඇති තව්රාතයෙහි පවසා ඇති) මගේ වදන් (වෙනස් කර) සුළු මුදලකට විකුණා නොදමනු. ඔබ (වෙනත් අයටද බිය නොවී) මටම බිය වනු. (2:41) [*මෙය පවසන්නේ යුදෙව්වන්ටය]
අල්ලාහ් වෙතින් ඔවුන්ට එක් ධර්මයක් පහළ විය. එය ඔවුන් වෙත ඇති ධර්මය සත්‍යය කරද තබන්නේය. මීට පෙර නම්, ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් මත (තමන්ට) ජයග්‍රහණය ලබා දෙන මෙන් ප්‍රාර්ථනා කරමින් සිටියහ. නමුත් ඔවුන් හොදින් දැන (පැමිණේවි යැයි බලා) සිටි (මෙම ධර්මය) ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී, මෙය ඔවුන් ප්‍රතික්ෂේප කරන්නාහ. එබැවින් එම ප්‍රතික්ෂේප කරන්නන් මත අල්ලාහ්ගේ ශාපය වේවා!; (2:89) [*මෙය පවසන්නේ යුදෙව්වන් ගැනය]
(මෙම ශුද්ධ වූ කුරානය තමන් වෙත පහළ නොකර) අල්ලාහ් තමන්ගේ වහලුන්ගෙන් තමන් කැමැත්තන් වෙත තමන්ගේ දයාව මගින් පහළ කිරීම ගැන ඊර්ෂ්‍යා කර, අල්ලාහ් පහළ කල මෙයම ප්‍රතික්ෂේප කිරීම මගින් ඔවුන් තමන්ව විකුණා කුමක් මිලදී ගත්තෝද, එය (ඉතාමත්) නපුරුය. (කුරානය තමන් වෙත පහළ කලේ නැතැයි) කෝපයෙන් (මෙම ධර්මය ප්‍රතික්ෂේප කර, අල්ලාහ්ගේ) කෝපයෙහි ඔවුන් සේන්දු වූහ. එබැවින් එම ප්‍රතික්ෂේප කරන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම් ඇත. (2:90) [*මෙය පවසන්නේ යුදෙව්වන් ගැනය]
"අල්ලාහ් පහළ කළ මෙය, ඔබ විශ්වාස කරනු" යැයි ඔවුන්ට කියනු ලැබුව හොත් "අපගේ (නබිවරුන්) වෙත පහළ කරනු ලැබූ දැය (පමණක්) විශ්වාස කරමු" යයි පවසා ඒවා මිස, මෙය (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කර හරින්නාහ. නමුත් මෙය නම්, ඔවුන් වෙත ඇති දැය (තව්රාතය) සත්‍යය කර තබන සත්‍ය (ධර්මය) වශයෙන් ඇත්තේය; (2:91) [*මෙය පවසන්නේ යුදෙව්වන් ගැනය]
විශ්වාසය තැබූවන්ගෙන්ද, යුදෙව්වන්ගෙන්ද, සාබීඊන්වරුන්ගෙන්ද, ක්‍රිස්තියානුවන්ගෙන්ද, කවුරුන් (ඇත්තෙන්ම) අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම බියක් නැත. ඔවුන් දුක් නොවන්නාහ. (5:69)
විශ්වාසවන්තයිනී! ඔබට පෙට ධර්මය ලබා දුන් අයගෙන්ද, ප්‍රතික්ෂේප කරන්නන්ගෙන්ද, කවුරුන් ඔබගේ ධර්මය සමච්චලයක් වශයෙන්ද, (පුහු) කෙළියක් වශයෙන්ද ඇර ගන්නෝද, ඔවුන්ව (ඔබට) සහායයන් වශයෙන් (හෝ ආරක්ෂකයින් වශයෙන් හෝ) නොගනු; (5:57)
9. පෙර විසූ නබිවරුන් සහ පෙර සමාජවල ප්‍රතික්ෂේප කළ ජනතාව සම්බන්ධව
(මිනිසුනේ! ඔබට) පෙර සිටි ප්‍රතික්ෂේප කළ අයගේ පුවත් ඔබට ලැබුනේ නැද්ද? ඔවුන් තමන්ගේ ක්‍රියාවන්හි නපුරු ඵලවිපාක (මෙලොවදී) වින්දාහ. තවද, (පරලොවදීද) ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම් ඇත. (64:5)
(නබියේ!) ඔබට, පෙරසිටි සෑම දූතයෙකුටම ඇත්තෙන්ම වහී මගින් දෙනුම් දෙනු ලැබූ දැය (කිමෙක්දයත්, දෙවියන්ට) ඔබ සමානයන් තැබුව හොත්, ඔබගේ පින් (සියල්ල) විනාශ වී, නියත වශයෙන්ම පරාජිතයින්ගේන් වූ අය බවට පත්වන්නෙහුය" (යනුවෙන් වේ). එබැවින් ඔබ අල්ලාහ්වම නමදිනු. ඔහුට කෘතඥ වන්නන් කෙනෙකු වශයෙන් ඔබත් සිටිනු (39:65,66)
භූමියෙහි (විනාශ වී ගිය) පෙර විසූ අයගෙන් පසු, එය අයිතිකරගත් මොවුන්ද අපි අදහස් කළෙමු නම්, මොවුන්ගේ පාපයන්හී හේතුවෙන් (ඒ ආකාරයෙන්ම විනාශ කර) දඬුවම් කරන්නෙමු යන කාරණාව මොවුන්ට ඍජු මාර්ගය පෙන්වූයේ නැදද: (7:100)
මා නබිව යැවූ සෑම රටකම මිනිසුන්ව (ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියොත්) ඔවුන් යටහත් පහත්ව පැමිණීම පිණිස දුක් ගැහැට මගින් අපි ඔවුන්ව නොඅල්ලා සිටියේ නැත. (7:94)
නූහු (නබි තම දෙවියන්ට) " මගේ දෙවියනේ! භූමියෙහි එම ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කිසිවෙකුත්වත් වාසය කිරීමට ඔබ අත්හැර නොදමනු! ඔබ ඔවුන්ව අත්හැට දමා තබන්නේ නම්, ඔබගේ (අනිත්) වහලුන්වද නියත වශයෙන්ම ඔවුන් මාර්ගය වැරද යාමට සලස්වන්නාහ. පාපතරයන්වද, ප්‍රතික්ෂේප කරන්නන්වද මිස (වෙන කිසිවෙකුත් දරුවන් වශයෙන්) ඔවුන් ප්‍රසූත කරන්නේද නැත. (71:27)..... මෙම අපරාධකාරයින්ට විනාශයම මිස, ඔබ අධික නොකරනු මැනව! යයි ප්‍රාර්ථනා කළේය). (71:28)
(මෙසේම) මද්යන්වාසීන්ද, (තමන්ගේ නබිවරයාව බොරු කළහ. මෙසේම) මූසාවද (තම ජනතාව විසින්) බොරු කාරයා බවට පත් කරනු ලැබුවේය. එබැවින් ප්‍රතික්ෂේප කළ මොවුන් සියල්ලන්ටම මා සුළු කාල අවකාශයක් ලබා දී, පසුව ඔවුන්ව මා අල්ලා ගත්තෙමි. (මගේ) දඬුවමේ (භයානකත්වය) කෙසේ තිබුනේදැයි (යන්න ඔබ අවධානය කර බැලුවෙහිද?) (22:44)
ඔවුන්ගෙන් පසුවද මූසාව සාධකයන් සමග ෆිරවුන් වෙතද යැව්වෙමු. එහෙත් ඔවුන් නම්, එම සාධකයන් අවතක්සේරු කර, (ප්‍රතික්ෂේප) කර දැමූහ. (මෙවැනි) අපරධකරුවන්ගේ අවසානය කෙසේ වූයේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු මැනව! (7:103)
10. ප්‍රතික්ෂේප කළ ජනතාව සහ විනිශ්චය දිනයේ ඔවුන්ගේ තත්වය.
(යුග අවසානය ගැන වූ සත්‍යය) පොරොන්දුව ළඟාවිය. (එය පැමිණෙන විට, එය දකින) ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඇස් ඇරුණු ඇරුණු ආකාරයටම තිබෙණු ඇත. (තවද ඔවුන්) 'අපට විනාශයයි! අපි මේ ගැන කණගාටු නොවන අය වශයෙන්ම හිඳිමින්, අපට අපිම හානියක් කර ගත්තෙමු" යයි විළාප නගන්නාහ. (21:97)
එදිනදී සත්‍යය වූ රාජ්‍යය රහ්මාන් (එක්කෙනෙකු)ටම ඇත්තේය. (එය) ප්‍රතික්ෂේප කරන්නන්ට (ඉතාමත්) දරුණු දිනයක් වශයෙන්ද තිබෙනු ඇත. (25:26)
එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් "විනිශ්චය දිනය අපට (කිසිදාක ) පැමිණෙන්නේ නැත" යයි පවසන්නාහ. (නබියේ!) ඔබ මෙසේ පවසනු; "එසේ නොව, මගේ දෙවියන් මත සත්තකින්ම! නියත වශයෙන්ම (එය) ඔබ වෙත අනිවාර්‍යයෙන්ම පැමිණෙන්නේය. ඔහු ගුප්ත දැය සියල්ල දන්නෙකි. ඔහු නොදැනුවත්ව අහස් හී හෝ භූමියෙහි හෝ ඇති දැයෙන් එක් අනු ප්‍රමානයක් හෝ බේරී යන්නේ නැත. ඊටත් වඩා කුඩා හෝ ලොකු හෝ (සෑම දෙයක්ම ලවුහුල් මහ්ෆූල් නැමැති) පැහැදිලි (සටහන්) පුස්තකයෙහි සටහන් නොවී නැත. (34:3)
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ට මෙම භූමියෙහි ඇති සියල්ල තිබී, ඒ සමග ඒවා මෙන් තවත් කොටසක්ද (අයිතිව) තිබී, ඔවුන් මේ සියල්ල (තමන්) විනිශ්චය දිනදී විඳින දඬුවමට වන්දි වශයෙන් ලබා දුන්නා වුවද, ඔවුන් වෙතින් (එය) භාර ගනු නොලැබේ. පසුව ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම්ම ලැබෙනු ඇත. (5:36)
(එදිනදී ප්‍රතික්ෂේප කරන්නන්ට) "ප්‍රතික්ෂේප කරන්නෙනී! අද දින ඔබ (පුහු) ප්‍රශංසා නොකියනු. ඔබට දෙනු ලබන ඵලවිපාක නම්, ඔබ කරන දැයටයි. (ඔබ නොකළ දැයට නොව" යයි කියනු ලැබේ). (66:7)
දෙවියන් "පරලොව මිනිසුන්ටද, ජින්වරුන්ටද) "මිනිසුනී! හා ජින් සමූහයිනී! ඔබගෙන් ඉකුත් වූ (මාගේ) දූතයින් ඔබ වෙත පැමිණ මාගේ ආයාවන් ඔබට සමුදීරණය කර පෙන්වා, ඔබ (මාව) හමුවන මෙම දිනය ගැනද ඔබට බිය ගන්වා අනතුරු ඇඟවූවේ නැද්ද?" යි (විමසනු ඇත). එයට ඔවුන්, "(අපගේ දෙවියනේ! ඇත්තය). මෙලොව ජීවිතය අපව රවටා දැමීය" යයි තමන්ට විරුද්ධවම සාක්ෂි දරණ අතර ඇත්තෙන්ම තමන් ප්‍රතික්ෂේප කරමින් සිටි බවද, තමන්ට තමන්ම විරුද්ධව සාක්ෂි දරනු ඇත. (6:130)
තමන්ද මුස්ලිම්වරුන් වශයෙන් සිටිය යුතු නොවේදැයි ප්‍රතික්ෂේප කරන්නන් (පරලොවදී) ඉමහත් සේ කැමති වන්නාහ. (15:2)
(මෙසේ අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කර, (අල්ලාහ්ගේ) දූතයාට වෙනස්කම් කළ අය, භූමිය තමන්ව ජීර්ණය කර ගත්තා නම් අගනේය යයි එදින කැමති වන්නාහ. මොවුන්ට අල්ලාහ් වෙත කිසිම කාරණාවක් සඟවා ගත නොහැක. (4:42)
එදිනදී ප්‍රතික්ෂේප කළ අය සමූහ සමූහ වශයෙන් නිරය දෙසට දක්කාගෙන එනු ලබන්නාහ; (39:71)
කවුරුන් (ඒ දිනය) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට (එදින) ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ දරුවන්ද අල්ලාහ්ගෙන් (ඔහුගේ දඬුවමෙන්) කිසිවෙක් වළක්වා දමන්නට නොහැක. ඔවුන්ම ඇත්තෙන්ම (නිරා) ගින්නේ දර වශයෙන් ඇත්තාහ. (3:10)
11. ප්‍රතික්ෂේප කළ ජනතාව සහ නිරයේ සිටින ඔවුන්ගේ තත්වය.
නිරයෙහි ආරක්ෂකයින් වශයෙන් මලායිකාවරුන්ම මිස, (වෙන කිසිවෙකුත්) අපි නියම කළේ නෑ. ප්‍රතික්ෂේප කරන්නන්ව පිරික්සීම සඳහාම (මෙසේ) මොවුන්ගේ ගණනය (දහ නව දෙනෙකු වශයෙන්) අපි ඇති කළෙමු. ධර්මය හිමි අය මෙය ස්ථිර වශයෙන්ම විශ්වාස කළ යුතුය; (74:31)
විශ්වාසවන්තයිනී! ඔබ, ඔබවද, ඔබගේ පව්ලේ උදවියද, මිනිසුන්ද ගල්ද ඉන්දන බවට පත් කළ හැකි නිරා ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි දැඩි හැකියාවන්ගෙන් පිරි ශක්තිසම්පන්නයන් වන මලායිකාවරුන්ව පත් කරනු ලැබ ඇත්තේය. අල්ලාහ් ඔවුන්ට නියෝග කර ඇති දැයෙන් (පොඩියක් හෝ) වෙනසක් නොකරනු ලබන්නාහ. ඔවුන්ට (දඬුවම් කරන මෙන්) තමන්ට දෙනු ලැබූ නියෝගයන් ඉටු කරමින් සිටින්නාහ (66:6)
"ඔබට මෙම දඬුවම ලැබීමට හේතුව නම්, "අල්ලාහ් එක්කෙනෙකි' යයි කියනු ලැබූ විට, (එය) ඔබ ප්‍රතික්ෂේප කළෙහුය. ඔහුට (යම් කිසිවෙකු) සමානයක් කළ විට, (එය) ඔබ විශ්වාස කළෙහුය! අද දින ඔබට ලැබී ඇති) මෙම තීන්දුව ඉතාමත් විශාලවන්තයා වන අල්ලාහ්ටම අයත්ය" යයි පවසනු ඇත). (40:12)
කවුරුන් (අපගේ ආයාවන්) ප්‍රතික්ෂේප කර හැරියෝද, ඔවුන්ට නිරා ගින්නම ලැබෙනු ඇත. ඔවුන් මරණයට පත් වන අන්දමට (එහි) ඔවුන්ගේ කාරනාව අවසන් කර දමනු ලබන්නේ නැත. (දඬුවම විඳිමින් සිටිණු පිණිස, නොමැරී පණ පිටින්ම සිටින්නාහ). තවද, එම දඬුවමෙන් ඔවුන්ට (පොඩියක් හෝ) අඩු කරනු ලබන්නේද නැත. මේ අන්දමටම සියලු ප්‍රතික්ෂේප කරන්නන්ටද අපි ඵලවිපාක දෙන්නෙමු. (35:36)
ඔවුන් අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කර දැමූ අතර "අපි (මරණයට පත් වී) ඇටසැකිළි බවටද, දිරා පත් වී පස් බවටද, පත් වූ පසු ඇත්තෙන්ම අළුත් උත්පාදනයක් වශයෙන් අපි නැගිට්ටවනු ලබන්නෙමුද?" යයිද කියමින් සිටීමම මෙවැනි (දරුණු) දඬුවම ඔවුන්ට අත් වීමට හේතුවයි. (17:98)
"ඔබට පොරොන්දු දෙන ලද නිරය මෙයයි" '(මෙය) ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් අද දින මෙහි ඔබ ඇතුළු වනු" (යයිද පවසන්නෙමු). (36:63,64)
මිනිසුන්ද, ගල්ද භාවිතා කර ගන්නා (නිරා) ගින්නට බිය වනු. එය (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කරන්නන් වෙනුවෙන්ම සම්පාදනය කර ඇත; (2:24)
(අපගේ කළ ගුණ අමතක කළ) ප්‍රතික්ෂේපයට මෙය අපි ඔවුන්ට ඵලවිපාක වශයෙන් දුන්නෙමු. ප්‍රතික්ෂේප කරන්නන්ට මිස, (වෙන කිසිවෙකුටත් මෙවැනි) ඵලවිපාක අපි දෙන්නෙමුද? (34:17)
12. ප්‍රතික්ෂේප කළ නබිවරුන්ගේ පවුල් වලම අය කිහිප දෙනෙකු ගැන
තම නිර්මාතෘව ප්‍රතික්ෂේප කිරීම හෝ ඔහුව පිළිගැනීම තම පුද්ගලික කාරණාවකි. එය තම හද තුල තිබෙන ආකාරය දෙවියන් ඉතාම හොඳින් දනී. එය අණුවක් තරම් කුඩාවට තිබුනත් දෙවියන් එයද දනී. දෙවියන්ට අවනත වීම තමා විසින්ම කළ යුතු දෙයකි. එය නබිවරුන්ටවත් වෙනස් කළ හැකි දෙයක් නොවේ. පහතින් දැක්වෙන්නේ නබිවරුන්ට තම පව්ලේ උදවියගේ හදවත් දෙවියන්ට අවනත වන ලෙස කළ නොහැකි වූ අවස්ථා කිහිපයකට උදාහරණය.
ප්‍රතික්ෂේප කරන්නන්ට නූහු (නබි) ගේ භාර්‍යාවද, ලූත් නබිගේ භාර්‍යාවද, අල්ලාහ් උදාහරණ වශයෙන් තබා ඇත්තේය. එම ස්ත්‍රීන් දෙදෙනාම අපගේ හොඳ වහලුන්ගේ භාර්‍යාවන් වශයෙන්ම සිටියහ. එහෙත් එම ස්ත්‍රීන් දෙදෙනාම තම ස්වාමිපුරුෂයින්ට ද්‍රෝහිකම් කළහ. එබැවින් මොවුන් දෙදෙනාම (නබිවරුන්ගේ භාර්‍යාවන් වශයෙන් සිටියද), අල්ලාහ්ගේ දඬුවමෙන් කිසිවක් වළක්වා ගත නොහැකි විය. (මොවුන් ද්‍රෝහිකම් කල හේතුවෙන් මොවුන්ට) "නිරයෙහි ඇතුළුවනු" යයි කියනු ලැබේ. (66:10)
එම නැව කඳු වැනි විශාල රළ අතරේ ඔවුන්ව ඔසවාගෙන ගමන ආරම්භ කළේය. (ඒ අවස්ථාවේදී) නූහ් තමන්ව අත්හැර ඈත්ව සිටි තම පුතාට "මගේ පුතාණෙනි! අප සමග (විශ්වාසය තබා) ඔබත් (මෙහි) නැග ගනු. (අපගෙන් ඈත් වී) ප්‍රතික්ෂේප කරන්නන් සමග ඔබ නොසිටිනු. (එසේ වුවහොත් ඔබත් ජලයෙහි ගිලී යනු ඇත)" යයි (ශබ්ද නගා) ආරධනා කළේය. එයට ඔහු "(මෙය විශාල) ජල ගැල්මෙන් බේරීමට හැකි උස කන්දක් මතට මා නැග ගන්නෙමි" යයි පැවසුවේය. එයට ඔහු, "අල්ලාහ් දයාව පහළ කළොත් මිස, ඔහුගේ නියෝගයෙන් බේරීමට අද කිසිවෙකුටත් නොහැකිය" යයි පැවසුවේය. (එවිට) ඔවුන් අතරේ එක් (විශාල) රළක් නැග හරස් වුනේය. ඔහුද ගිලී ගිය අය සමග ගිලී ගියේය. (11:42,43)
ඉබ්රාහීම් තමන්ගේ පියා වන අසර්ට "පිළිරූ, දෙවිවරුන් වශයෙන් ඇර ගන්නෙහිද? නියත වශයෙන්ම ඔබද, ඔබගේ ජනතාවද ප්‍රකට දුර්මාර්ගයෙහි සිටිනු මා දකින්නෙමි" යයි පැවසුවේය. (6:74)
ෆිර්අවුන්ගේ බිරිඳ ආසියා සහ ජේසු තුමාගේ මව මර්යම් (අ.ස) නබි වරුන් නොව. නමුත් අල්ලාහ්ම පවසනවා ඔවුන් ශ්‍රේෂ්ඨතම මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු බව. ආසියාගේ ස්වාමියා අල්ලාට ප්‍රභල ලෙස සතුරු කම් කළේය. බිරිඳ කොතරම් හොද උනත් ස්වාමියා නිරාවාසියෙක් විය. මරියම් තුමියගේ පුත් අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨ නබිවරයෙකි.
විශ්වාසය තැබූවන්ට (කාන්තාවන් දෙදෙනෙකුව) උදාහරණයන් වශයෙන් දක්වන්නේය. (පළමුව); ෆිරවුන්ගේ බිරිඳ (66:11) (දෙවනුව); ඉම්රාන්ගේ දියණිය වන මර්යම්ය: (66:12)
අල්ලාහ්ගේ අති ශ්‍රේෂ්ඨතම නබිවරයා වන්නේ මොහම්මද් ﷺ නබි තුමාය. ඔහුව බලා ගත්තේ ඔහුගේ ලොකු තාත්තා වන අබු තාලිබ්ය. අබුතාලිබ් දැනගෙන හිටියා තම ඥති පුතා අල්ලාහ්ගේ දූතයා බව. එසේම ඔහු සත්‍යයවන්තයෙක් බවත් දැන සිටියා. නමුත් ඔහු මිය යන තෙක් ඔහු අල්ලාහ්ව පිළිගන්නා බව (ඉස්ලාමීය ක්‍රමවේදයට අනුව) සිදු නොවීය. මේ ඒ ගැන සඳහන් කරමින් පහළ වූ දේව වදනකි.
(නබියේ!) ඔබ කැමති අයව ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට නියත වශයෙන්ම ඔබට නොහැකිය. එහෙත් අල්ලාහ් තමන් කැමති අයවම ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඍජු මාර්ගයේ යා හැකි අය කවුරුන්දැයි ඔහුම හොඳින් දන්නේය. (28:56)
තමන් හද තුල අණුවක තරම් හෝ වංක භාවයක්, අවිශ්වාසයක්, අහංකාරකමක්, ප්‍රතික්ෂේප කිරීමක් තිබුනොත් අල්ලාහ් ඔහුට ඍජු මාර්ගය දෙන්නේ නැති බව ඔහු පවසා ඇත.
මෙහි පළමු ලිපිය මෙතැනින් විවෘත කරන්න. ප්‍රතික්ෂේප කිරීම හෙවත් ලොකුම පාපය
by sjw
මේ පිළිබඳව ඔබගේ අදහස් අප වෙත ලියන්න