මම කවුද ? WHO AM I ?

මම කවුද ? WHO AM I ?

'මම'- ප්‍රභේද දෙකකින් සමන්විත බව අපට හැඟෙනවා.

  1. භාහිර ශරීරය 
  2. අභ්‍යන්තර ශරීරය (ආත්මය සහ සිත වැනි දෑ)

1. භාහිර ශරීරය

ශරීරය යනු මවගේ ඩිම්බ සෛලයක් හා පියාගේ ශුක්‍රාණු සෛලයක් එක්වී ආරම්භයේදී ඇසටවත් නොපෙනෙන මට්ටමින් පටන්ගෙන එය බිලියන ට්‍රිලියන වාරයක් විභේදනය වීම්, වෙනස් වීම් සහ විශාල වීම් වලට ලක්වී විශ්මිත ලෙස සැලසුම්සහගතව නිර්මාණය වන දෙයකි. පසුව එය යම් අවස්ථාවක (මරණයට පත් වූ පසු) පොලොවට පස් වී නැවත ඇසට නොපෙනෙන කුඩා අන්ශු බවට පත්වේ. ඒ අනුව බලන කළ ශරීරය ශාක මෙන්ම පස් වලින් නිර්මාණය වී ඇති තවත් එක් ස්වරූපයකි. භාහිර ශරීරය ද්‍රව්‍යමය වශයෙන් ගත්තොත් මළකඳ කට සමාන කල හැකිය. මළකඳ පස් ගොඩකට සමාන කල හැකියි.

භාහිර ශරීරය අවස්ථා 3කට විග්‍රහ කරයි.

  1. (ජීවත්වන එහෙත්, ජීවිතය රහිත සිරුර (ගර්භාෂය තුල දින 120 ක් දක්වා කාලය)
  2. ජීවිතය සහිත සිරුර (දින 120 සිට මරණය දක්වා) 
  3. මළ සිරුර

පැහැදිලිවම මේ භාහිර ශරීරය ගැන "මම" කියන අපි කිසිවෙකුත් හරියටම දන්නෙත් නැහැ. එහි ට්‍රිලියන ගනන් ඇති සෛල වලින් එකක ක්‍රියාකාරීත්වය ගැනවත් "මම" කියා ගන්නා අපි හරියටම දන්නෙත් නෑ, එවැන්නක් නිර්මාණය කරන්නත් බෑ. වෛද්‍යවරු පවා ශරීරය ගැන දිනපතා අධ්‍යයනය කරමින් තමයි ඉන්නෙ. තත්වය එසේනම්, මෙම මෙම භාහිර ශරීරයට මම හෝ මගේ කිව නොහැකිය.

2. අභ්‍යන්තර ශරීරය.
මෙය ගැන කතා කිරීමේදී පහත සදහන් නම් අප භාවිතා කරයි

ආත්මය (soul, රූහ්) , ප්‍රාණය, සිත, ස්වයං විඥානය සහ උප විඥානය  (Self-consciousness and subconsciousness/ නෆ්ස්), හදවත සහ හෘද සාක්ෂිය (conscience)

අපි එදිනෙදා භාවිතා කරන ආත්මය, ජීවිතය, සිතුවිලි, විඥානය, බුද්ධිය, මතකය, පින් පව්, ආදරය, කරුණාව, මෛත්‍රිය, තරහා, වෛරය, නපුරුකම, ආශාව වැනි දේ දේ ක්‍රියාත්මක වෙන්නෙ ඔය අභ්‍යන්තර ශරීරය සමගයි. ඉහත සඳහන් කිසිවක් මලකදත් සමග සම්බන්ධ නැත. එය පස් ගොඩක් ලෙස සැලකිය හැක්කේ එනිසයි.

ඉහත සදහන් කිසිවක් ගැනවත් මිනිසාට "හරියටම එය මෙයයි" කියා කියන්න තරම් අවභෝධයක් හෝ දැණුමක්ද නැත. ඒවා කිසිවක් මිනිසාගේ නිර්මාණවල ප්‍රතිඵලත් නොවෙයි. මේවා සියල්ල මිනිසාගේ නොවන දේවල්ය. 


තත්වය එසේ නම් මම කියන්නෙ කව්ද?

අප සිටින විශ්වය හෝ වෙනත් විශ්වයන් ඇත්නම් ඒවා කිසිවක් නොතිබුන (හෙවත් ආරම්භ වීමට පෙර) තත්වයක් ගැන සිතා බලන්න.

එවැනි අවස්ථාවක මම සහ මට අදාලව ඉහතින් කථා කල කිසිවක් තිබී නැත. එනිසා, විශ්වයන් කිසිවක් නොතිබුන තත්වයක මේවා ආරම්භ වීමට හේතුව මම විය නොහැක. බුදු දහමේ සඳහන් වෙනවා සිත විසින් නිර්මාණය කරගත් තත්වයක් ගැන. නමුත් හිත පවා ආරම්භ වීමට හේතුවක් තිබිය යුතුයි. එනිසා සිතටත් එහා තත්වය ගැන නොසිතා මේවාට පිලිතුරක් සොයා ගත නොහැක.

විද්‍යාගාරවලම පිහිට පතන අයට නම් ඒ හරහා මෙය කිසිසේත්ම සොයා ගත නොහැක. විද්‍යාව පදනම් වන්නේ පරීක්ෂන නිරීක්ෂණ සහ නිගමන මතය. විශ්වයන්ට එහා ගිය යමක් විද්‍යාව හරහා කිසිසේත්ම සෙවිය නොහැක. එනිසා විද්‍යාව මතම සිටියොත් නම් මේ ගැන නොදැනගෙනම මෙලොවින් සමුගන්නයි වෙන්නෙ.

නමුත් එහෙම නිකම්ම මේ ලෝකෙන් සමු ගන්නෙ නැතිව මෙය යම් මට්ටමකින් හරි වටහා ගන්න උත්සහ ගමු.

මම පොඩි ක්‍රියාකාරකමක් ගෙන එය පහදන්න උත්සහ ගන්නම්.


බාබර් කෙනෙක් දැලි පිහියකින් වෙන කෙනෙකුගෙ රැවුල කපන කටයුත්ත ගැන ටිකක් හාරවුස්සල බලමු.

  • බාබර් ජීවත් වෙන ලෝකය බාබර්ගෙද? නැත, එය එයාගෙ දෙයක් නෙවෙයි, ලෝකය එයාගෙ නිර්මාණයක් නෙවෙයි. 
  • සැලුන් එක තියෙන පොළොවත් බාබර්ගේ නෙවෙයි.
  • බාබර් භාවිතා කරන සියළුම ද්‍රව්‍ය වල මුලික අංශුත්  බාබර්ගේ නෙවෙයි.
  • බාබර්ගේ අත (ඇතුළුව භාහිර ශරීරය)ද බාබර්ගෙම ස්ව නිර්මාණයක් නොවෙයි. (මෙය ඉහත පෙන්වා දුන්නා). 
  • බාබර්ගේ අත සහ භාහිර ශරීරයම මේ ක්‍රියාවට භාවිතා කරන යාන්ත්‍රනයත්, එයට අදාළ වන ප්‍රෝටීන, විටමීන් වැනි ශක්තීන්ද ඔහුගේම නිර්මාණ නෙවෙයි.
  • බාබර් මේ සදහා භාවිතා කරන කාලයත් බාබර් ගෙ නෙවෙයි.
  • මේ රෑවුල කපා ගන්න ආපු පුද්ගලයත් බාබර්ගේ නෙවෙයි. 

ඒ අනුව පැහැදිළිවම මෙතන බාබර්ට අයි කිසිම දෙයක් නෑ.

බාබර් විසින් "මම තමයි බාබර්, මේ මගේ සැලුන් එක, මට රැවුල කපන්න පුලුවන්". කියල කිව්වට මෙතන බාබර්ට අයිති දෙකුත් නෑ. එයාට කරන්න පුලුවන් දේකුත් නෑ. කොටින්ම බාබර්ට තනිවම තමන්ගෙ අතක් සොලවගන්නවත් බැහැ. (මම එය පැහැදිළි කරන්නම්)

ශරීරය ඇතුළුව මේතන තියෙන සියල්ල අයිති බාබර් නොවන වෙනත් කෙනෙකුටය. 

දැන් බාබර්ගෙ ආත්මය, සිත, ආදී ලෙස අප ඉහත කතා කල දේවල් අරන් බලමු.

මේ ආත්මයත්, සිත ආදියත් බාබර්ගේ නිර්මාණ නොවන බව මම ඉහතදී පෙන්වා දුන්නා.


නමුත් බාබර්ලා එක එක විලාසිතා අනුව රැවුල් කපනවා අපි දැකල තියෙනවා. කොහොමද එය සිදුවන්නෙ?

  • එහෙනම් මේ බාබර් කියන්නෙ කව්ද?
  • මෙයා මේ ලෝකෙට ආවෙ කොහේ ඉදලද?
  • මෙයාට ශරීරයක් ලැබුනෙ කොහොමද?
  • එයට ආත්මයක්, සිතක්, විඥාණයක්, හෘද සාක්ෂියක් ආදිය ලැබුනෙ කොහොමද?
  • ඒවා භාවිතා කරල මෙයා කොහොමද මේ වැඩේ කරන්නෙ?
  • මෙම ක්‍රියාදාමය කාගෙ සැලසුමක්ද? මෙය මෙහෙයවන්නෙ කවුද?
  • කුමණ හේතුවක් නිසා මෙයා මෙහෙම දෙයක් කරමින් ඉන්නවද?
  • ඉන් පසු ඔහු මැරුණම කොහෙටද යන්නෙ?
  • මෙහි අවසානනය කුමක්ද?
  • බාබර් මේවා මොකුත් හිතන්නෙ නැතිව නිකම්ම ජීවත් වෙලා ඉඳලා මැරිලා යන එක අනුමත කරන්න පුලුවන්ද?
  • ඔබටත් මටත් තත්ත්වය එසේමය.

    දැන් අපි මේ ගැන ටිකක් බලමු.

    බාබර්ට අයිති නැති මම ඉහත කී සියල්ල කෙසේ හෝ බාබර්ට ලැබිල තියෙනවා. ඉස්ලාම් දහමට අනුව මෙවා සර්වබලධාරී දෙවියන්ගේ නිර්මාණ ලෙස හදුන්වයි.

    දෙවියන් මිනිසාව නිර්මාණය කිරීම ගැන පහත සබැඳිවලින් කියවා බලන්න.

    පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය කිරීම

    දෙවියන් අපව නිර්මාණය කලේ ඇයි?

    මේ බාබර් ඔහුට ලැබුණු අභ්‍යන්තර හා භාහිර ශරීර භාවිතා කරමින් රැවුල කපන කටයුත්ත කරනවා. 

    දැන් තමයි අපිට "නියම බාබර් ව හදුන ගන්න" පුලුවන්.

    බාබර්ට ලැබුණු ආත්මය තුල ඇති 'සිතින්' බාබර්ට යම් කිසි "නිදහස් සිතුවිල්ලක් ගැනීමේ අවස්තාවක්" ඇති බව බාබර්ට වැටහෙනවා.

    බාබර්ගේ භාහිර ශරීරය වෙත ලැබුණු ආත්මය (රූහ්) තුල තමන්ට නිදහස් සිතුවිලි ගැනීමේ අවස්ථාවක් හිමිවෙනවා. එය ඉස්ලාම් දහම තුලින් නෆ්ස් ලෙස හඳුන්වනවා,

    රූහ් සහ නෆ්ස් පිලිබදව පැහැදිළි කිරීමක් පහත සබැදියෙහි ඇත.

    ආත්මය, සිත, විඥානය, ශරීරය, හෘද සාක්ෂිය -රූහ් සහ නෆ්ස් 

    මෙන්න මේ "නිදහස් සිතුවිල්ලක් ගැනීමේ අවස්තාව" පමනයි බාබර්ටම අයිති. 
    භාහිර සහ අභ්‍යන්තර ශරීර යන දෙකම හරියට කෙනෙක්ට ඔප්පුවක් හරහා ඉඩමක් අයිතිකර දුන්නා වගෙයි. එලෙස එය ඔහුට අයිති උනාට ඔහු එම ඉඩමේ නිර්මාතෘ වෙන්නෙත් නෑ.
    නමුත් ඔහු ඒ ඉඩම සම්බන්දයෙන් වගකීම් දරන්නා වෙනවා. නිර්මාතෘ තමාට අයිති කර දුන් නිදහස් සිතුවිලි ගැනීමේ අවස්තාවට හිමිකම් කියන්නෙත් අර ඉඩමට හිමිකම් කියනවා වගේ තමයි. එයයි ඔහුට අයිති. වෙන කිසිවක් ඔහුගේ නොවේය. (මෙයට අනුව තමාට පවරා දුන් නිදහස් සිතුවිලි ගැනීමේ සීමිත අවස්ථාව හැර වෙන කිසිවක් බාබර්ගෙ නෙවෙයි). බාබර් ලෙස පුද්ගලිකව හදුන්වා දෙන්න වෙන්නේ මෙම "නිදහස් සිතුවිල්ලක් ගැනීමේ අවස්ථාව හා එය කිරීමට තමන් අදහස් කිරීම" නම් අපට නොපෙනෙන මේ තත්වයටයි. ඔහු වගකියන්නේ එයටයි.

    ඔහුගේ වන්නෙ එය පමණයි. (එනම් මම'කියන්නෙ ඔය අවස්ථාවටයි).

    ඔහුව අපිට බාබර් කෙනෙක් ලෙස පෙනුනට, ඔහුට ඔහු බාබර් කෙනෙක් ලෙස හිතුනට ඇත්තටම නම් ඔහු ඔහුගේ සිතුවිලි වලින් තම නිර්මාතෘගේ මහත් පරීක්ශනයකට ලක් වෙමින් ඉන්න අවස්ථාවක් පමණයි මෙය.

    දැන් ඔහු ඒ නිදහස් සිතුවිලි ගැනීමේ අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් අනිකුත් සියල්ල (උපකාර ලෙස, ඒවායේ නිර්මාතෘගෙන් ලබාගෙන තමා අදහස් කරන රැවුල කැපීමට ඉදිරිපත් වෙනවා. ඔහුට ඔහුගේම භාහිර ශරීරයේ ඇති අත සොලවන්න වත් බැරි අසරණයෙක් බව ඔහුට වැටහෙනවා මොකද, ඒ අත පවා ඔහුගේ නොවෙයි. ඔහු ඒ සදහා එහි නිර්මාතෘගෙන් උදව් අරගෙනයි අත සොලවන්නෙ. මෙය අපට පිටතින් නොපෙනුනාට, පිටතින් නොහැඟුනාට ඇත්තටම සිදුවන්නේ එයයි.

    දැන් ඔහු අදහස් කරන ආකාරයට (භාහිර ශරීරයේ නිර්මාතෘගේ උදව්වෙන්) දැලිපිහිය එහෙට මෙහෙට යවන්න තමගේ සිත ක්‍රියාත්මක කරනවා. ඔහුට පුලුවන් දැලිපිහිය අහවල් ස්ථානයට ගෙනියනවා කියන අදහස ගැනීම පමණයි. එය ක්‍රියත්මක කිරීමට (ඔහුගේ නොවන) භාහිර ශරීරයෙන් උදව් අවශ්ය වෙනවා. මේ උදව් දෙන්නෙ භාහිර ශරීරයේ අයිතිකරුයි. ඔහුට පුලුවන් 'ඔහුගේ වන එකම දෙය වන නිදහස් සිතුවිලි ගැනීමේ අවස්තාව' උපයෝගී කරගෙන රැවුල කපනවාද බෙල්ල කපනවාද කියා තීරණය කරන්න. එම තීරණය පමනයි ඔහුට අයිති වෙන්නෙ. (බොහෝ මුස්ලිම්වරු ඕනෑම වැඩක් ආරම්භ කිරීමෙදී බිස්මිල්ලාහ් හෙවත් දෙවියන්ගේ නාමයෙන් ආරම්භ කරමි කියා පටන් ගන්නේ මේ නිසයි). ඔහුගේ සෑම ක්‍රියාවකටම තම නිර්මාතෘගේ උදව් අවශ්යයයි. ඔහු රැවුල කපන අදහස ගෙන එය ඉතාමත් අවන්කව තම නිර්මාතෘ පවා සතුටු වන ලෙස කලා නම් ඔහු එයට නිර්මාතෘගෙන් පින් ලබා ගන්නවා. ඔහුට එම නිර්මාතෘ දෙනු ලබන කුසල් මෙලොවදී පෙනෙන්නෙ නෑ. ඔහුට පෙනෙන්නෙ තමන් කරන වැඩෙයි අර පාරිභෝගිකයා දෙන මුදල පමනයි. නමුත් නිර්මාතෘ ඔහුව මෙලොවට එව්වේ මුදල් හම්බ කරන්න නොවෙයි. ඒ එක් එක් මාර්ග වලින් තම නිර්මාතෘගෙන් කොපමන කුසල් ලබා ගන්නවාද බලන්නයි. එය ඔහු වටහා ගෙන හිටියොත් ඔහු ඉතාමත් හොඳ දේ පමනක් කරාවි. එය හරියට වටහා නොගෙන හිටියොත් නරක දේවලුත් කරයි.
    ඔහු රැවුල වෙනුවට වෙනත් කාරනාවක් නිසා ඔහුගේ පාරිභෝගිකයාව මරන චේතනාවෙන් ඔහුගේ බෙල්ල කපුවා නම් බෙල්ල කැපුවේ නිර්මාතෘ නොව, ඔහුයි. ඔහු එයට උදව් පවා ගත්තේ නිර්මාතෘගෙනුයි. නිර්මාතෘ එයට උදව් කලේ එහි පසුබිම ගැන ඔහු සියල්ල් දන්නා නිසයි. (මෙය වෙනම කතා කලයුතු දෙයක්). නමුත් නිර්මාතෘ හමුවෙ බෙල්ල කැපූ "පව" උරුම වන්නෙ ඔහුටයි. (ඔහු එයට අවසන් විනිශ්චය දිනදී හේතු ඉදිරිපත් කල යුතුයි). තමන්ගේම නිර්මාතෘගෙන් උදව් අරන් නිර්මාතෘගේ තවත් නිර්මානයක් ඔහුගේ චේතනාව මත විනාශ කලා. මෙය බරපතල වරදකි. නිකරුනේ ගහක කොලයක්වත් කඩා විනාශ නොකල යුත්තේ මේ නිසයි. එනම්, තමන්ගේ නිර්මාතෘගෙන් උදව් අරගෙන නිර්මාතෘගේ තවත් නිර්මානයක් වන ගහේ කොලය නිරපරාදෙ කඩා දැමීමට තමා හේතු වෙනවා. මෙය නිර්මාතෘගේ අමනාපයට හේතුවකි. එනිසා ඔහුට ඒ සම්බන්දයෙන් අකුසල් ලබා දෙනවා.
    ඕනම සිතුවිල්ලක් ක්‍රියාත්මක කරන්න නම්. භාහිර වටපිටාවත්, භාහිර ශරීරයත් ආත්මය හා සිත නම් අභන්තර ශරීරයත් තමාට ලබා දුන් අයිතකරුගෙන් උදව් ලබා ගන්න වෙනවා.
    ඔහුගේ අවසන් තීරනය මත ඔහු බෙල්ල කපන්න තීරනය කලා නම් එයට ඔහුගෙ නිර්මාතෘ (කැමැත්තෙන් හෝ අකමැත්තෙන්) සෘජුව හෝ වක්‍රව උදව් කර, ඔහු කල ක්‍රියාව පිනක් හෝ පවක් ලෙස ඔහුට භාර කරනවා. (මිනිසුන් හිතන හැම දේම ක්‍රියාත්මක කරන්න බැරි ඔහුට තම නිර්මාතෘගෙන් ඒ සදහා උදව් නොලබිමයි).


පහත සඳහන් කුරාන් වැකි දෙක දෙස බලන්න. ඔබට කිරි බීමට සිතක් පහළ උනත් කිරි සහිත වීදුරුව ඔසවා බීමට නම් ඔබට ඔබේ නිර්මාතෘගෙන් සහය ලැබිය යුතුය. එසේ නොවුන හොත් ඔබට එය බීමට නොහැක.

කුරුල්ලන්ටද එසේමය. ඔවුන්ට පියාඹෑමට සියලු පහසුකම් සපයනුයේ දෙවියන් විසින්මය.

දෙවියන් පුදුමාකාර ලෙස මේ සියල්ල හසුරුවමින් සිටී.

(එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගෙන්ද ඔබට පාඩමක් ඇත. ලේ වලටද, ගොම වලටද අතරේ උන්ගේ කුසෙන් කළවම් නොවුන කිරි (උත්පාදනය කර) අපි ඔබට පොවන්නෙමු. එය පානය කිරීමට ඉතා රසවත්ය. (16:66)

අහස් ගැබෙහි (දෙවියන්ගේ නියෝගයන්ට) අනුව යටත් වී පියාඹන පක්ශීන්ව ඔවුන් දුටුවේ නැද්ද? ඒවා (අහස් හී) උසුළාගෙන සිටින්නා අල්ලාහ් හැර වෙන කිසිවෙකුත් නැත. විශ්වාසය තැබූ ජනතාවට මෙහිද විවිධ සාධකයන් ඇත්තේය. (16:79)


තම නිර්මාතෘ (හෙවත් දෙවියන්), යමක් කිරීමට යන පුද්ගලයාට ආකාර හතරකින් ප්‍රතිචාර දක්වනවා.  

  1. ඔහු (දෙවියන්) කැමති දෙයක් කිරීමට මිනිසා අදහස් කලා නම් එය වෙන්න ඉඩ දෙනවා. සරල උදාහරණයකින් කියනවා නම්, දුප්පතෙකුට ආහාර වේලක් දෙන්න මිනිසා අදහස් කලා නම්, එම මිනිසාගෙ නිර්මාතෘ එයට කැමතියි. ඔහු එයට උදව් කරනවා. එය වෙන්න ඉඩ දෙනවා. පසුව එම සිතුවිල්ල ගැනීම, නිර්මාතෘගේන් උදව් ගැනීම හා එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව කුසල් ලබා දෙනවා.

  2. දෙවියන් කැමති දෙයක් කිරීමට මිනිසා අදහස් කලත් දෙවියන් එය වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. දුප්පතෙකුට ආහාර වේලක් දෙන්න මිනිසා අදහස් කලා නම්, එම මිනිසාගෙ නිර්මාතෘ එයට කැමතියි. ඒත් ඔහු එයට උදව් කරන්නෙ නෑ, එය වෙන්න ඉඩ ඉඩ දෙන්නෙ නෑ. සමහර අයට යහපත් දේවල් කරන්න හිතුනට එවැනි දේ කරගන්න බැරි වන අවස්ථා අපි දකිනවා.පසුව එම සිතුවිල්ල ගැනීම, නිර්මාතෘගේන් උදව් ගැනීමට උත්සහ කිරීම, හා එය ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම මත ඔහුට කුසල් ලබා දෙනවා.
  3. දෙවියන් අකැමති දෙයක් කිරීමට මිනිසා අදහස් කලා නම් එහෙත් එය වෙන්න ඉඩ දෙනවා.
    (උදා:- කිසියම් කෙනෙක් අදහස් කලා නම් තම නිර්මාතෘට (දෙවියන්ට) බනින්නට, දෙවියන් එයට අකැමතියි, නමුත් ඔහු එයට ඉඩ දෙනවා, උදව් කරනවා. පසුව ඔහුට අකුසල් ලබා දෙනවා). මිනිසා දෙවියන්ට බැන්නට දෙවියන්ට කිසිම හානියක් වෙන්නෙ නෑ, නමුත් එයින් මිනිසා මිනිසාටම හානි කරගන්නවා. ඇත්තටම දෙවියන්ට බනින අය කරන්නෙ දෙවියන්ගෙන්ම භාහිර හා අභයන්තර ශරීර ලබාගෙන දෙවියන්ම තමන්ට දුන් සීමිත නිදහසෙන් ප්‍රයෝජන ගෙන දෙවියන්ගේම උදව් අරන් දිව සොලවමින් දෙවියන්ටම බනින එකයි. දෙවියන්මයි ඔබට මේ වෙනුවෙන් අකුසල් ලබා දෙන්නෙ. මේවා නොදන්න අය දෙවියන්ට බනිනවා. අවසන් විනිශ්චය දිනදී ඒ අකුසල් වලට දඩුවම් ලබන්න සිදු වෙනවා.
  4. දෙවියන් අකමැති දෙයක් කිරීමට මිනිසා අදහස් කලා නම් එය වෙන්න ඉඩ දෙන්නෙ නෑ. (සරල උදාහරනයකින් කියනවා නම්, ඔබ සතෙකු මැරීමේ අදහසින් එම සතාට ගලකින් ගසනවා, දෙවියන් එයට කැමැති නෑ. එ නිසා ඔබ උත්සහ ගත්තත් එය සිදු වෙන්න ඉඩ දෙන්නෙ නෑ.

මෙසේ මිනිසා තම භාහිර ශරීරය අතහැර මෙලොවින් පිටත් වෙනකම්ම ඔහුගේ නිදහස් සිතුවිලි ක්‍රියාත්මක කිරීමට අවස්ථා ලබා දෙමින් ඒ සදහා උදව් දෙමින් ඒවා පින් හෝ පව් ලෙස ඔහු මතම ගොඩ ගසා අවසානයේ මොලෙව හැර ගිය පසු ඒවා ඔහුට ප්‍රතිවිපාක ගෙන දෙන ඒවා බවට පත් වෙනවා. 

මෙයයි අපේ ගමන...

"මම කියන්නෙ කව්ද" කියලා නැවත කෙටි සටහනකින්.

"මම කියල කියන්නෙ එක්තරා නිර්මාණ කරුවෙකු (ඉස්ලාම් දහමට අනුව Allah) විසින් ඔහු අදහස් කල ආකාරයට හා ස්වරූපයකට කල එක් නිර්මාණයක්ය. 

එය අපට නොපෙනෙන චින්තන ස්වභාවයක් වැනිය .අප සතු වන්නේ ඒ චින්තන ස්වභාවයෙන් ස්වයංතීරණ ගැනීමේ එක් සීමිත අවස්ථාවක් පමනි. (මම වන්නෙ එයයි).  

  • එය සහිත ආත්මය 'මම' නොදන්නා තැනක සිට (ඉස්ලාම් දහමට අනුව දෙවියන් නිර්මාණය කල ස්ථානයේ සිට) දේව දූතයන් විසින් රැගෙන විත් එයට යම් ක්‍රමයක් හරහා එනම් කළලයක් ලෙස පටන් ගෙන භාහිර ශරීරයක් හා භාහිර වටපිටාවක්, එනම් ජීවත් වෙන්න පරිසරයක් ලබා දුන් පසු ඒ මත ක්‍රියාත්මක වී පින් හෝ පව් රැස්කර ගෙන වෙනත් අවස්ථාවක් දක්වා යන ගමනක යෙදෙන කෙනෙකි.
  • ගමන කොහෙන් පටන් එන කොහෙන් අවසන් වෙනවාද නම්, නිර්මාතෘ වෙතින් ආ අපි (දැන් ගමනක් යෙදී ඉන්න අතර නැවත අපි) නිර්මාතෘ වෙතම යන ගමනයි මේ සිදුවන්නෙ. "ඔබ ගමනක් යන්න බසයට ගොඩ උනා නම් ඒ බසය, පාර අදිය ඔබේ නොවෙයි වගේ මේ ගමනෙදිත් ඔබේ නොවන දේ බොහෝය. ඔබේ නොවන දෙය වටහා  දීමයි මෙම ලිපියෙහි අරමුණ. 
  • මිනිසා ගේ හොඳ සහ නරක පමනක් ඔහු සමග ගමන් කර අවසානයේ තමන් මෙලොවදී උපයා ගත් දෙය මතම තමාගේ ඉදිරි සදාකල් ජීවිතය ගොඩ නැගෙයි. 
  • එහිදීත් තමාට නැවත භාහිර ශරීරයක් ලබා දී මේ දෙක එක්ව සදාකල් ඉඳීමට බාහිර පරිසරයක් හා අවස්ථාවක් ලැබෙනවා. අපි කැමති උනත් නැතත් මෙයයි අපේ ඉරණම. වැඩි විස්තර සදහා දෙවියන් අපව නිර්මාණය කලේ ඇයි යන ලිපිය කියවන්න.

තමාවත්, තමා සිටින වටපිටාවත් නිර්මාණය කල ආකාරයත් නිර්මාණය කල අරමුණත්, එම අරමුණ සාක්ශාත් කරගැනීමට තමා කෙසේ හැසිරිය යුතුද යන්නත් ගැන නිර්මාතෘ පනිවිඩ එවා ඇත. එයයි ඉස්ලාමීය පණිවිඩය. එය භාවිතා කිරීම හෝ නොකිරීමත් තමාගේ නිදහස් සිතුවිලි භාවිතා කිරීමේ අවස්ථාවට යටත් දෙයකි. 

by sjw

මේ පිළිබඳව ඔබේ අදහස් අපට ලියන්න