මුස්ලිම්වරුන්ට දෙවියන්ගේ පරීක්ෂණය පහසුද?

මෙය මවිසින් අසන පුද්ගලික ප්‍රශ්නයකි. එනිසා ඇතැම් විට මෙය සංවාදාත්මක මාතෘකාවක් විය හැකියි.

මෙම ලිපිය සංසන්දනාත්මකව ලිවීමට අදහස් කලෙමි.

මුස්ලිම්වරුන්ට, මුස්ලිම් නොවන්නන්ට සහ නවක මුස්ලිම්වරුන්ට අල්ලාහ් සුභානවතාලාගේ පරීක්ෂණය බලපාන්නේ කෙසේද යන්න මෙහිදී සළකා බැලේ.

අල්ලාහ් සියලු මිනිසුන්ට මේ ජීවිතය ලබා දෙන්නේ පරීක්ෂණයකට මුහුණ දීම සඳහා ය. එසේම, දෙවියන්වහන්සේගේ පොරොන්දුව පරිදි මිනිසුන්ට මරනින් මතු තම අවසන් වාසස්ථානය ලෙස ස්වර්ගය හෝ නිරය පිළියෙල කර ඇත.  අල්ලාහ්ගේ අවසන් විනිශ්චයට පසු ඔවුන් ඒවායේ සදාකල් හෝ අල්ලාහ් කැමති තාක් කල් නොමැරී ජීවත් වේ. එය එලෙස පහසුවෙන් සඳහන් කළාට එය සුළුපටු කාරණාවක් නොවේ. එනිසා ඒ ගැන සළකා බැලිය යුතුය.

අල්ලාහ් සර්වසාධාරණය. කිසිවෙකුට හෝ අණුවක තරම්වත් අසාධාරණයක් නොකරන බව පවසයි. එසේනම් සමහරුන්ට පහසුවෙන් ස්වර්ගයට ඇතුළු වීමට අවස්ථාව දී තවත් සමහරුන්ට එය ඉතාම අමාරු අවස්ථාවක් කරාවි යැයි සිතිය නොහැක.

කව්රුන්ද මේ පහසුවෙන් ස්වර්ගයට ඇතුළු විය හැකි යැයි අදහස් කරන අය?

ලොවපුරා සිටින බහුතරයක් මුස්ලිම්වරුන්ගේ තත්වය උදාහරණයට ගනිමින් මෙම සටහන ලියමි.

සමහරවිට මුස්ලිම් පවුලකට අලුතින් දරුවෙකු ඉපදුනු විට වැඩිහිටියන් ඔහුගේ දකුණු සහ වම් කනට පිළිවෙළින් අදාන් සහ ඉකාමත් පවසයි. (මෙය ඉස්ලාමයේ උගැන්වීමක් ලෙස කීමට පිළිගත් සාධක නැතත්, එම දරුවා තම ජීවිතය පටන් ගන්නේ කෙතරම්ම ඉස්ලාමයට සමීපවද යන්න ඉන් පැහැදිළිව ඉස්මතුව පෙනෙයි.).

එනම්, ඔහු ඉපදුන මොහොතේ සිට ඉස්ලාමය ඔහු වෙත ලබා දෙයි. ඔහු ටිකක් ලොකු වන විට ඔහු දකින්නේ ඉස්ලාමයට සමීප පරිසරයකි. කුරාන් පාරායනා කරන හඬ ඔහුට ඇසෙයි. නබි ﷺ තුමාගේ නම ඔහුට ඇසෙයි. වැඩිහිටියන් සලාතය කරන ආකාරය ඔහු දකී. අල්ලාහ් ගැන ඔහුට අසන්නට ලැබේ. ඉන් පසු ඔහු යන පාසලේ ඉස්ලාම් උගන්වන පංතිකාමරයේ ඔහු ඉස්ලාම් ගැන තවත් ඉගෙන ගනී. වැඩිහිටියන් සමග ඔහුත් පල්ලි වලට යයි. රමධාන් සහ හජ් වැනි උත්සව සමය ඔහුත් ඉස්ලාමීය පිළිවෙත අනුව ගත කරයි. සලාත් කිරීමට, උපවාසය කිරීමට, පල්ලියට යාමට වැඩිහිටියන් ඔහුව හුරු කරයි. ඔහුත් තම පුරුද්දට එම කටයුතු අඩු වැඩි වශයෙන් කරගෙන තම වයස ගත කරයි.

ඔහු වටේ මුස්ලිම් නොවන අය සිටින බවත් ඔහු දකී. ඔහුට එය විශේෂ කාරණාවක් ලෙස නොවැටහෙයි. සකාත් ගෙවීම, සදකා කිරීම, ඌරුමස් අනුභව නොකිරීම, පිළිම නොනැමදීම, වැනි ඉස්ලාමීය පොදු තත්වයන් සහ වත්පිළිවෙත් සමග සිට මුස්ලිම්වරයෙක් ලෙසින් මිය ගිය විට ඉස්ලාමීය චාරිත්‍රානුකූලව ඔහුගේ අවසන් කටයුතුද ඉටු කරයි. [මෙය හරියට, පහළට ගලා බසින ජලාශයක පහළටම පිහිනා යනවා වැනිය].

මෙහි ඔහු සම්බන්ධව අල්ලාහ්ගේ පරීක්ෂණයේ බැරෑරුම් කමක්  දකින්නට තිබුනාද? 

මුස්ලිම්වරුන්ගේ මතයට අනුව (ඉන්ශාඅල්ලාහ්) ඔහුට ස්වර්ගය හිමිවී ඔහු එහි සදාකල් සුවසේ සිටීවි. කාට උනත් එසේ වේවායි අපිත් ප්‍රාර්ථනා කරමු.

ඔහු මධ්‍යස්ථ මුස්ලිම්වරයෙක් ලෙස සිටියා යැයි උපකල්පණය කරමු. ඔහුගේ හොඳ නරක කටයුතු වෙනුවෙන් අල්ලාහ්ගේ තීන්දුව ඔහුට ලැබේ. ඔහුට එවන් ඉස්ලාමීය පරිසරයක පහසුවෙන් සිටීමට හැකි ජීවිත අවස්ථාවක් ලබා දීම අල්ලාහ්ගේ කැමැත්තය. එයට නියම හේතුව දන්නේ අල්ලාහ් පමණි. (සමහර අවස්ථාවල තර්ක මත නොයිඳින්ම විශ්වාස කිරීම ඉස්ලාමයේ එක් ගුණාංගයකි).

නමුත් මෙහිදී අප සංසන්දනාත්මකව උරගා බැලීමට යන ඊලඟ අවස්ථා දෙක ගැන සලකා බැලීමේදී අල්ලාහ් ඔවුන්ව ඉස්ලාමීය නොවන පරිසර වල ඉපදෙන්න සලස්වා සහ අවසානයේ ඔවුන්ට ඉතාම අපහසුවෙන් ස්වර්ගයට යාමට හෝ පහසුවෙන් අපායට යා හැකි ආකාරවලට ඔවුන්ගේ පරීක්ෂණය බැරෑරුම් කර ඔවුන්ට ලබා දී තිබීම ගැන අප නැවත සළකා බැලිය යුතුය. අල්ලාහ්සුභානවතාලා සර්වසාධාරණය. එනිසා ඒ ගැන අපි සැක ඇති කර නොගෙන මෙහිදී අප එකිනෙකාගේ සැබෑ පරීක්ෂණ අපි නිවැරදිව වටහා ගැනීමට උත්සහ කරමු.

දැන් බලමු බහුතර බෞද්ධයන් ජීවත් වන අපේ රටේ ඔවුන්ගේ තත්ත්වය කොහොමද කියලා. (බහුතරයක් හින්දූන් සහ බහුතරයක් ක්‍රිස්තියානිවරු සිටින පරිසරවල තත්වයත් මෙලෙසමයි).

මාව උදාහරණයට ගනිමින් බෞද්ධයින්ගේ වටපිටාව ගැන ලියමි. 

මෙය ලියන මම වයස අවුරුදු 34ක් වෙනතෙක් බෞද්ධයෙක් ලෙස බදුල්ල, නුවර සහ කොළඹට ආසන්න පෙදෙස්වල ජීවත් උනෙමු. මම ශ්‍රී ලංකාවේ 75% ක් පමණ නගර ආවරණය වන ලෙස ගමන් කරමින් සියළුම ආගමිකයින් සමග විවිධ රැකියාවන් කළ අයෙකි. 

මා ඉපදුනේ බෞද්ධ පරිසරයකය. පාසැලේදී ඉගන ගත්තේ බුදු දහම ගැනය. ආගමික කටයුතු පන්සල් සමග එක්ව කටයුතු කළෙමි. මුස්ලිම් යහළුවන් බොහෝමයක් සමගත් කාලය ගත කළ අතර මුස්ලිම් හිමිකරුවන්ගේ ආයතන වලත් වැඩ කළෙමි. අල්ලාහ් ගැන හෝ නබිතුමා ගැන හෝ අදාන් ගැන හෝ කිසිම අවභෝධයක් නොමැතිව වසර 34 ක්ම කාලය ගෙවින.  

මම ඉස්ලාමය ගැන දැනගත්තේ රැකියාවක් සඳහා විදෙස්ගත වූ පසුවය. ඉස්ලාමය ගැන දැනගත් පසු මම ඉස්ලාමය වැළද ගත්තෙමි. ඒ, මෙය ලියන මොහොතට වසර 15 කට පෙරය.

ඉස්ලාමයට අනුව මම වයස 34 දී හෝ ඊට පෙර මිය ගියා නම් මම අනිවාර්‍යයෙන්ම සදාකල් නිරාවාසියෙකි. ඉස්ලාමයට අනුව තම නිර්මාතෘව ප්‍රතික්ෂේප කර සිටිමින් මිය යන්නන්ගේ තත්වය එයය. [මෙවන් මුස්ලිම් නොවන අයගේ තත්වය සහ ඉපදුන ගමන් කණට අදාන් හඬ ඇසෙන ලමයාගේ තත්වය හා සසඳා බලන්න]. 

අපගේ රජයේ O/L විභාගයට එන ප්‍රශ්න පත්‍ර දෙස බලන්න. එයට අනුව ශ්‍රී ලංකාවේ සෑම පෙසෙදකම ඇති සෑම පාසැලකටම එකම ප්‍රශ්න පත්‍ර ලබා දෙයි. ඉතාම දුෂ්කර පාසැල් වල ළමයිනුත් ඉතාම ඉහල පහසුකම් සහිත පාසැල් වල ළමයිනුත් එක සමාන කර තිබීම තුල අපි එහි යම් අසාධාරණයක් දකින්නෙමු. නමුත් අල්ලාහ්ගෙ පරීක්ෂනයේ එවන් අසාධාරනකම් තිබිය නොහැක. සියල්ලටම වෙනස් ආකාරවලින් පරීක්ෂණ ලබා දී තිබුනත් (අපට නොතේරුනත්) කිසිවෙකුටත් වාසි සහගත තත්වයක්ද තවත් නෙකුට අවාසි සහගත තත්වයක්ද ලබා දී ඇතැයි සිතිය නොහැක.

හින්දු භක්තිකයන් පමණක් සිටින නුවරඑලියේ වතුකර පෙදෙස බලන්න. ඔවුන් හින්දු පරිසරය තුලම ඉපදී එහිම වැඩිවිය පැමිණ හින්දු භක්තිකයින් ලෙසම ජීවත් වී ඉස්ලාමය ගැන කිසිවක් නොදැන එහිම මිය පරලොව යයි. මොවුන්ට මුස්ලිම් අය විසින් ඉස්ලාමය ගැන කීවේ නැත්නම් එයාලා කොහොමද එය දැනගන්නෙ? (රට පුරා ඇවිදපු මටම දීන් අල් ෆිත්රා ගැන හෝ හදවත තුලින්ම අල්ලාහ් ගැන අදහස වසර 34ක් යන තෙක්ම අවදි උනේ නැත). එනිසා එවන් අයට පවා දෙවියන්ගේ පණිවිඩය ගෙනයාමේ වගකීම මුස්ලිම් අය වෙත පැවරී නැද්ද? එවැනි තත්ව සළකා බලද්දි අල්ලාහ් මුස්ලිම් පවුල්වල උපන් අයට පමණක්  ස්වර්ගයට යන ගමන පහසු කරාවිද? අල්ලාහ් මිනිසුන්ව පෘතුවියෙහි නියෝජිතයන් වශයෙන් පත් කර ඇත. මුස්ලිම් අයට අල්ලාහ්ගේ පණිවිඩය ලැබී ඇති නිසා ඔවුන්ට ඒ සම්බන්ධව තම වගකීම්භාවය වැඩිපුර දැරීමට සිදු නොවන්නේද?

මම දැන් ඉස්ලාමය ගැන තරමක් හෝ දුරට ඉගෙනගෙන ඇති නිසා දීන් අල් ෆිත්රා ගැනත් අල්ලාහ් ගැන අප හදවත් තුල ඇති සොභාවික තත්වය ගැනත් දනිමි. ඊට පෙර එය ඉස්මතුකර ගැනීමටවත් වටපිටාවක් මා හට නොවීය. එසේනම්, අල්ලාහ් කෙතරම් අසීරු පරීක්ෂණයකට මාව සහ මා වැනි අයව පත් කර ඇත්ද? 

එවන් අසීරු තත්වයක් සහිත පරීක්ෂණ අවස්ථාවක මුස්ලිම් නොවන (අල්ලාහ්ගේ දහම නොලැබුණු) යම් ජනකොටසක් ඉන්නා විට තවත් ජනකොටසක් ඉතාම පහසුවෙන් ඉස්ලාමීය මාර්ගයේ යමින් සදාකල් ස්වර්ගයේ සැනසීම ලබා ගත හැකිවන ලෙස අල්ලාහ් ඔවුන්ට විශේෂ සහනයක් ලබා දෙයි කියා සිතිය හැකිද? 

ඉස්ලාමය ගැන දැන් දැන් ටික ටික සමාජය දැනුවත් වෙමින් පවතින්නේ කිහිපදෙනෙකු සමාජමාධ්‍ය තුල ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන නිසාය. නමුත් බහුතරයක්ට ඉස්ලාමය අන් අයට දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක්ද නැත. එසේනම් ඔවුන්ගේ සැබෑ පරීක්ෂනය පහසු ලෙස අවසන් වේ යැයි සිතිය හැකිද? ඔවුන් කල්පනා කළ යුතුයි, ඉස්ලාමය සම්බන්ධ සියල්ල ඔවුන්ට ලබා දී තිබියදී, ඉස්ලාමය සම්බන්ධ කිසිවක් ලබා නොදුන් ජනකොටසකුත් තමා අවට සිටින බව. එය ඔවුන්ගේ පරීක්ෂණයේ කොටසක් විය නොහැකිද?

අන්ධයෙක් පාර මාරුවීමට උත්සහ ගනිමින් සිටින විට එය ඇස් පෙනෙන අයගේ පරීක්ෂනයේ කොටසක් ලෙස දකින ඉස්ලාමය තුල, අසල්වැසියා කුසගින්නේ ඉන්නා විට එයත් තමන්ගේ පරීක්ෂණයේ කොටසක් ලෙස පෙන්වා දෙන ඉස්ලාමය තුල, ඉස්ලාම් ගැන නොදන්නා අය බහුතරයක් සිටින විට එය ඉස්ලාම් ගැන දන්නා අයගේ පරීක්ෂනයේ කොටසක් නොවේදැයි සමහරුන්ට නොසිතෙන්නේ මන්ද?

ඊලඟට අපි බලමු මා වැනි (පසු කාළීනව) ඉස්ලාම් ආගම වෙත පැමිණි නවක මුස්ලිම්වරුන්ගේ පරීක්ෂණයේ තීව්‍රතාවය කෙසේද යන්න.

ඔවුන්ට තම උත්සහයෙන් ඉස්ලාමය ගැන සොයා බලා ඒ වෙත පැමිණීමට සිදු විය. ශ්‍රී ලංකාව වැනි රටක ඉස්ලාමය අලුතින් වැළද ගැනීමේ ප්‍රතිශතය නොගැනිය හැකි තරම් ඉතාම කුඩා අගයකි. එයින්ම පැහැදිළි වෙනවා එය සරළ හෝ සාමාන්‍ය දෙයක් නොවන බව. ඇත්තටම එය මුස්ලිම් නොවන්නන්ට අල්ලාහ්ගේ පරීක්ෂණයේ බරපතල අවස්ථාවකි.

ඔවුන්ගේ පරීක්ෂණය තවත් බරපතල වන්නේ ඔවුන් ඉස්ලාමයට පැමිණි පසුය. ඔවුන්ගේ පව්ල්වලින් ඇතිවන විරෝධය, හිතමිතුරන්ගෙන්, ගම්වාසීන්ගෙන්, රැකියා කරණ ස්ථානවලින් සහ ඇතැම් විට තම එදිනෙදා කටයුතු කරගැනීමට යන එන තැන් වල සිටින අයගෙන්ද ඔවුන්ට ඇතිවන්නේ ඍජු හෝ වක්‍ර අකැමැත්තකි. ඉස්ලාම්ය වැළද ගැනීමත් සමග ඔවුන්ගේ පව්ල්වල අළුතින් ආගමික, පුද්ගලික මෙන්ම නීතිමය ප්‍රශ්නද ඇති වේ. ඒ සියල්ලට වඩා තම පව්ලේ අය සහ හිතවත් අය ඉස්ලාමය වැළඳ නොගෙන සිටින විට ඔවුන්ගේ මරණින් මතු ලොව ගැන සිහිවී ඔවුන් පත්වන්නේ සියල්ලට වඩා බරපතල අසරණතාවයකටය. මේ සියල්ල සමග ඔවුන්ගේ පරීක්ෂණය මුස්ලිම් සහ මුස්ලිම් නොවන යන දෙගොල්ලටම වඩා සංකීර්ණය, අමාරුය.

නවක මුස්ලිම්වරුන්ගේ නව ඉස්ලාමීය ගමනට ඉස්ලාමය තුලින්ම අත්වැලක් නොලැබේනම් එය වෙන කාගෙන් හෝ ලැබිය හැකියැයි අපේක්ෂා කළ හැකිද?

අල්ලාහ් සුභානවතාලා ඔවුන් ගැන පෙන්වා දෙමින්, ඔවුන් වෙනුවෙන් සකාත් කොටසක්ද වෙන්කල යුතු බව දන්වා තිබියදී, මුස්ලිම් සමාජයේ කීයෙන් කීදෙනාද අඩුතරමින් අල්ලහ්ගේ එම අණට හෝ කීකරුව කටයුතු කරන්නේ? ඔවුන් සකාත් නම් අනිවාර්‍යය බද්ද නිසි පරිදි ගෙවනවාද? එයින් නවක මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතාවයන්ට ඒවා නිසි පරිදි යොදනවා දැයි සොයා බලනවාද? 

ඉස්ලාමීය පව්ල්වල උපත ලබා පහසුවෙන් ස්වර්ගයට යාමට අවස්ථාව ඇති අයට මෙම නවක මුස්ලිම්වරුන්ගේ කාරණාවත් තමන්ගේ පරීක්ෂණයේ කොටසක් ලෙස නොදැනේද?

ඔවුන් හිතනවාද තමන් ගැන විතරක් බලාගෙන ආගම තුල සිටියම ස්වර්ගයට පිවිසීම ඉතාම පහසු කාරණාවක් විය හැකි බව? අල්ලාහ්ගේ සාධාරණත්වය හමුවේ නබිවරුන් පවා අධික පරීක්ෂණවලට ලක් කර ඇත. එසේනම් සාමාන්‍ය මුස්ලිම්වරුන්ගේ තත්වය කෙසේ විය හැකිද?

අවසානයට, සාරාංශය ලෙස ගත හොත්, 

1). මුස්ලිම් නොවන අයට තමා තුලින්ම හෝ සමාජය තුලින් ඉස්ලාමය ගැන දැනගෙන එය අවභෝධකරගෙන තම සුපුරුදු සමාජයේ ප්‍රතිචාර පසෙක තබා විශාල කැප කිරීමක් කර ඉස්ලාමය වෙත පැමිණීමේ භාරධූර පරීක්ෂනයක් ඔවුන් හමුවේ ඇත. ඇත්තටම එය උඩුගම් බලා පිහිණනවා වැනිය.

2). එසේ පැමිණ ඉස්ලාමය වැළද ගත් නවක මුස්ලිම්වරුන්ට ඉස්ලාමය ගැන තව දුරටත් ඉගනගෙන, තම නව ජීවනරටාව තුල ඇතිවන නොයෙකුත් අපහසුතා ඉවසාගෙන, තම පව්ලේ සහ අන් අයටත් ඉස්ලාමය ගැන පවසමින් ජීවිතය ගත කළ යුතු වන ආකාරයේ භාරධූර වගකීමක් සහ භාරධුර පරීක්ෂණ අවස්ථාවක් ඇත.

3). මූස්ලිම් පව්ල්වල උපන් අයට තමාට උපන් ගෙයින්ම ලැබුණු ඉස්ලාමීය පරිසරය තුල යහපත් අන්දමින් ජීවත් වී, එය මුස්ලිම් නොවන අයට පවසමින්,  කුමණ හෝ ආකාරවලින් ඉස්ලාමය ලොව පුරා ප්‍රචාරය කිරීමේ කටයුත්තට දායක වීම සහ මේ වන විටත් ඉස්ලාමයට පැමිණ ඇති නවක මුස්ලිම්වරුන්ව ආරක්ෂා කරගැනීමත් යන කාරණා හරහා ඔවුන්ටත් භාරධූර පරීක්ෂණයක් ඇත.

සියළු දෙනාටම තුන් ආකාරයකින් කැපවීමෙන් වැඩ කළ යුතුව ඇත. එවිට අල්ලාග්ගේ දයාවෙන් ස්වර්ගය හිමිකර ගත හැකිවනු ඇතැයි විශ්වාස කළ හැක. එසේ නොවුනහොත් විනිශ්චය දිනදී අල්ලාහ් ඒ ගැන ප්‍රශ්ණ නොකරම ස්වර්ගය හෝ අපාය තීන්දු නොකරාවි යන්නයි මගේ අදහස.

මේ ගැන ඔබගේ අදහස් මා සමගත් බෙදා ගන්න අමතක නොකරන්න.

by; website's admin - sjw

මේ ගැන ඔබේ අදහස් අපට ලියන්න

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us