ලෞකික ජීවිතය වෙනුවෙන් ස්වර්ගය අහිමි කර ගත යුතුද?
Should heaven be lost for the sake of worldly life?
December 14, 2019
දෙවියන් පහළ කල සෑම ආගම් පුස්තකයකම ස්වර්ගය සහ නිරය ගැන සඳහන් වේ. එබැවින් එහි යම් සත්‍යතාවයක් තිබිය යුතුය. ඒවා සත්‍යයක් නම් ඊට සුදානම් වන සියලුදෙනාම ස්වර්ගයට යනු ඇත. ඊට සුදානම් නොවන සියලු දෙනා නිරයට යනු ඇත. අනෙක් අතට එය අසත්‍යයක් නම් මරණයෙන් පසු ජිවිතයට සුදානම් වූ අය මෙන්ම ඊට සුදානම් නොවූ අය පසට එක්වී අවසාන වනු ඇත. මේ නිසා වඩාත් බුද්ධිමත් ක්‍රියාව වන්නේ මරණයෙන් පසු ජීවිතය සත්‍යයක් ලෙස සලකා ඊට සුදානම් වීම වේ. කෙසේ වෙතත් දෙවියන් තෝරා පත්කළ සෑම වක්තෘවරයෙකුම ප්රාතිහාර්යන් හරහා ඔවුන් පවසන දේ සත්‍යය බව මිනිසුන්ට ඒත්තු ගන්වා තිබේ. එබැවින් ඔවුන්ගේ දේව පණිවිඩය ඉවත දැමීම මුග්ධ කමකි.
මුහම්මද් නබිතුමාට පෙර පැමිණි සෑම නබිවරුන්ගේම ප්රාතිහාර්යන් එකල විසු ජනතාව සියැසින් දැක තිබේ. ඒ අනුව යුදෙව් ආගම දෙසු මුසා නබි තුමා ඔහුගේ හැරමිටිය නාගයෙකු බවට පත්කිරීම ද එම හැරමිටියේ අදාරයෙන් මුහුද දෙබෑ කිරීමද එකල විසු ජනතාව දැක තිබේ. එසේම ජේසු තුමා දෙවියන්ගේ නියෝගය අනුව පියෙකු නොමැතිව පිළිසිඳ ගැනීමද එතුමා ඉපදුනු පසු තොටිල්ලේදීම කතාකිරීම ද උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දීමද ලාදුරු රෝගීන් සුවපත් කිරීමද එකල විසු ජනතාව දැක තිබේ. එවැනි බලගතු ප්‍රාතිහාරයන් දුටු පසුත් එකල විසු බොහෝ අය ජේසු තුමාගේ පණිවිඩය පිළිගත්තේ නැත. ඒ වෙනුවට එකල සිටි යුදෙව්වෝ ජේසු තුමාව කුරුසයේ ගැසීමට තරම් කෘර වුහ. එහි පාඩුව ඔවුන්ටම මිස දෙවියන්ට නොවේ.
ජේසු තුමාට පෙර ජීවත්වූ නුහ් නබිතුමා ඔහුගේ ජනතාව දෙවියන් වෙත ඇරයුම් කල බව බයිබලයේද කුරානයේද සඳහන් වේ. අල් කුරානයේ සඳහන් වන පරිදි නුහ් නබිතුමා වසර 950 ක කාලයක් මෙම ඇරයුම සිදු කොට තිබේ. එහෙත් ඊට ප්රචිචාර දක්වා ඇත්තේ සියයකට වඩා අඩු පිරිසක් බව පැවසේ. බහුතර ජනතාව නුහ් නබිතුමාගේ පණිවිඩය පිලි නොගත්තා පමණක් නොව ඔහුට නොයෙකුත් අඩත්තේට්ටම් සිදු කොට ඇත. එහි ප්‍රතිපලයක් ලෙස නුහ් නබිතුමා ඔවුන්ට එරෙහිව දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කොට ඇත. එහි ප්‍රතිපලයක් ලෙස විශාල ජලගැල්මක් මගින් නුහ් නබිතුමාව පිළිගත් අය හැර සෙසු අයව විනාශයට පත් කොට තිබේ. මෙවැනි තව බොහෝ සිදුවීම් අල් කුරානයේ සඳහන් වේ. පුරා විද්‍යා කැනීම් වලින් ඒවා සොයාගෙන ඇත. ඒවා ආදර්ශයට ගන්නේ නම් අපගේ මතු ජීවිතය ජය ගැනීමට හැකි වනු ඇත.
මුහම්මද් නබිතුමා විසින් සිදු කරන ලද ප්‍රාතිහාරයන් අතීතයට පමණක් සිමා වන්නේ නැත. ඒ අනුව ඔහුට පහළ වූ කුරානය ලොව පවතින තාක් ප්රාතිහාර්යන් වන්නේය. එහි විශේෂත්වය වන්නේ එවැනි කෘතියක් අරාබි බසින් පාණ්ඩිත්‍ය ලැබූ එදා මෙදා ජීවත්වූ කිසිවෙකුට නිර්මාණය කිරීමට නොහැකි වීමයි. එපමණක් නොව අල් කුරානයේ ඇති අන්තර්ගතය හැදෑරීමෙන් එය කිසිසේත්ම මිනිස් නිර්මාණයක් නොවන බව පෙනී යන්නේය. හත්වන සිය වසේදී පහළ වූ අල් කුරානයේ ඇති බොහෝ දේවල් සොයාගනු ලැබුවේ 20 වන සිය වසේදී වීම ඊට එක් හේතුවකි. තවද කුරාණයෙන් පවසා ඇති පුරෝකථනයන් බොහොමයක් ඒ අකාරයෙන්ම සිදුවී ඇත. ඉන් පෙනී යන්නේ එහි සඳහන් අනෙක් කරුණුද ඒ අකාරයෙන්ම සිදු වනු ඇති බවයි. ඒ අනුව මරණයෙන් පසු සිදු වීමට නියමිත දේවල් එහි සඳහන් අකාරයටම සිදු වනු ඇත.
මිනිසුන්ගෙන් බොහෝ අයට මරණයෙන් පසු ජිවිතයක් ගැන කිසිම තැකීමක් නැත. එබැවින් ඔවුන් ලෞකික ජිවිතයට වැඩි ඇල්මක් දක්වති. ඔවුන් ගැන අල් කුරානයේ මෙලෙස පවසා ඇත.
"කවරෙක් මාගේ උපදේශය ඉවතලන්නේද නියතවශයෙන්ම ඔහුට දුෂ්කර ජිවිතයක් ඇත. තවද, අපි ඔහුව විනිශ්චය දිනයේදී අන්දයෙකු ලෙස නැගිටවන්නෙමු" (කුරානය 20:124).
එවිට ඔවුන් මෙලෙස පවසන බව කුරානය දැනුම් දෙන්නේය.
"මාගේ රබ්! පෙනුම ඇත්තෙකුව සිටි මාව අන්දයෙකු ලෙස නැගිට්ටෙව්වේ ඇයි?" (කුරානය 20:125).
එවිට ඔවුන් සඳහා මෙලෙස පිළිතුරු ලැබෙනු ඇත.
"එලෙසම, අපගේ වැකි නුඹ වෙත පැමිණියේය. ඒවා නුඹ නොසලකා හැරියේය. මේ අන්දමට අද දින නුඹද නොසලකා හැර ඇත'යි (අල්ලාහ්) පවසන්නේය" (කුරානය 20:126). තවද, "සීමාව ඉක්මවා තම රබ්ගේ වදන් විශ්වාස නොකළේද, ඔහුට අපි එලෙසින්ම කුලිය ලබා දෙන්නෙමු. තවද, එලොවෙහි දඬුවම වඩාත් දැඩිද ස්ථිරද වේ" (කුරානය 20:127) යැයිද දන්වනු ඇත.
විශ්වයේ ඇති අසීමිත සංඥා නිසා දෙවියන්ගේ පැවැත්ම තහවුරු වන්නේය. එහෙත් ඇතැම් අය ඒවා පිළිගැනීමට සුදානම් වන්නේ නැත. එබැවින් දෙවියන්ද ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වා දෙන්නේ නැත. තවත් සමහරු දෙවියන්ව විශ්වාස කරති. එහෙත් දෙවියන්ගේ නියෝග පිළිපැදීමට සුදානම් නැත. ඔවුන්ද පරාජිතයින් වනු ඇත. තවත් පිරිසක් දෙවියන්ව විශ්වාස කොට ඔහුට නැමදීමෙන් එය තහවුරු කරති. තවද, දෙවියන් තහනම් කළ වැරදි ක්‍රියාවලින් වැළකී සිටිති. සත්‍යවශයෙන්ම ඔවුන් මෙලොව ජීවිතය සහ මතු ජීවිතය ජය ගනු ඇත.
By Fasy Ajward.
B.Sc(Sp.Phy)Hons.Jpura,Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislam
https://truepath1.blogspot.com/