
සත්ව ඝාතනය- විද්‍යාත්මක සහ ආගමික කෝණ වලින්
සත්ව ඝාතනය- විද්‍යාත්මක සහ ආගමික කෝණ වලින්
මිනිසා ගැන සහ ඔහු කෙසේ ක්‍රියා කළයුතු දැයි වඩා හොඳින්ම දන්නෙ මිනිසාගේ නිර්මාතෘ වන දෙවියන්වහන්සේය. විශ්වයට හිමිකම් කියන්නේද එහිත් නිර්මාතෘ වන දෙවියන්වහන්සේමය. එලෙස තමාටත්, විශ්වයටත් හිමිකාරීත්වයක් දරමින් සිටින සර්වබලධාරී දෙවියෙකු ගැන නොදන්නා කෙනෙක් වේ නම්, ඇත්ත වශයෙන්ම සත්ව ඝාතනය හෝ මාන්ස අනුභවය හෝ කුසල් අකුසල් යනාදිය ගැන හෝ එසේත් නැත්නම් වෙන කුමන දෙයක් ගැන වේවා කරුණු සෙවීමට හෝ තර්ක කිරීමට වඩා වටින්නේ එම දෙවියන්වහන්සේ ගැන කරුණු සොයා බැලීමය. එම දෙවියන් අපට ලබා දී ඇති මාර්ගෝපදේශය ගැන සොයා බැලීමය. අප පැමිණ ඇත්තේද ඔහු වෙතින්ම වන අතර අප නැවත යා යුතුව ඇත්තේද ඔහු වෙතමය.
මිනිසාවත් සතුන්වත් නිර්මාණය කළ දෙවියන් වහන්සේ මිනිසාට සතුන් සම්බන්ධව කටයුතු කල යුතු ආකාරය ගැන උපදෙස් දී තිබේ නම් අපට ඊටත් වඩා වෙන කාගේ හෝ උපදෙස් වලට මූලිකත්වයක් දිය හැකිද? මෙය වටහා ගැනීමට හැකි සරළ කාරනාවක් උනත් පහත උදාහරණයත් සලකා බලන්න.
ඔබ ටොයෝටා වාහනයක් මිලදී ගෙන ඇත්නම් එම ටොයෝටා වාහනය ගැන ඔබට නිවැරදිම උපදෙස් ලබා ගත හැක්කේ ටොයෝටා වාහන නිෂ්පාදිත ආයතනයෙන්මය. ටොයෝටා ආයතනය තිබේ නම්, ඒ හරහා ඔබට උපදෙස් ලබා දේ නම්, එය පහසුවෙන් ලබා ගත හැකි නම්, ඔබ වෙන අයගෙ උපදෙස් කෙරෙහි වද වන්නේ කුමටද?
දෙවිඳුන් ගැන පැහැදිළි අවභෝදයක් ලබා ගැනීමට පහත සබැඳිය ප්‍රමාණවත්ය.
දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට ලබා දී ඇති බොහෝ මාර්ගෝපදේශ සහ වරප්‍රසාද ඔහුගේ අවසාන පණිවිඩය වන අල් කුරානය තුලින් තම අවසාන දූතයා වන මුහම්මද් නබි (ﷺ) තුමාණන් හරහා අප වෙත දැනුවත් කර ඇත. ඒවායින් සමහරක් පහත සඳහන් වේ.
ඔහුම ඔබ වෙනුවෙන් භූමිය වාසස්ථානයක් බවටද, අහස වියණක් බවටද නිර්මාණය කර, වලාකුළෙන් වර්ෂාව වසින්නට සලස්වා, එමගින් ඔබට ආහාර වශයෙන් ගත හැකි පළතුරු වර්ගද ඔබට ඉකුත් කරන්නේය. එබැවින් (මේ සියල්ල) දැනගෙන අල්ලාහ්ට (කිසිම) සමානයක් ඇති නොකරනු. (2.22)
විහිදී තිබෙන වැල්ද, විහිදී නොයන පැළෑටීන්ද ඇති උයන් වතුද, ඉඳි ගස්ද, ආහාරයට ගත හැකි විවිධ ගස් වැල් පලා වර්ගද, ධාන්‍යය වර්ගද, (බැලූ බැල්මට) එක සමානවද, (රසයෙන්) විවිධ වූ ඔලිව් ද, දෙළුම් හා තව විවිධ වර්ගයේ පළතුරු ආදියද, ඔහුම උත්පාදනය කර ඇත්තේය, එබැවින් ඒවා ප්‍රයෝජනවත් වන්නේ නම් (ඕනෑ තරම්) ආහාරයට ගනු. ඒවා අස්වැන්න නෙලා ගන්නා කාලයෙහි (දෙවියන්ට ස්තුති කිරීම පිණිස) එහි ඔහුගේ කොටසද දුප්පතුන්ට දෙනු; (6:141)
(මිනිසුනේ!) ගමේ සතුන්වද ඔහුම උත්පාදනය කර ඇත්තේය. ඒවායින් ඔබ වෙනුවෙන් (ශීතය වැලැක්වීමට) භාණ්ඩද, විවිධ ප්‍රයෝජනවත් දැයද ඇත්තේය. ඒවායෙන් සමහරක් අනුභව කරන්නෙහුය. (16:5)
(එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගෙන්ද ඔබට පාඩමක් ඇත. ලේ වලටද, ගොම වලටද අතරේ උන්ගේ කුසෙන් කළවම් නොවුන කිරි (උත්පාදනය කර) අපි ඔබට පොවන්නෙමු. එය පානය කිරීමට ඉතා රසවත්ය. (16:66)
ආහාරයට ගත හැකි සහ ආහාරයට නොගත යුතු සත්ව මාංශ වර්ග ගැනද අපගේ නිර්මාතෘ අපට පැහැදිලිව දන්වා ඇත.
(විශ්වාසවන්තයිනී!) ඉබේ මැරුණු, ලේ, ඌරු මස්, අල්ලාහ් නොවන දැයෙහි නම් පවසනු ලැබූ ආදියද, බෙල්ල මිරිකා මැරුණු දැයද, පහර වැදී මැරුණු, (ඉහල සිට) වැටී මිය ගිය දැයද, අං වලින් අනිනු ලැබ මැරුණු, (සිංහ දත්, වීර නියපොතු වලින් යුත් මස් බුදින සතුන් වන සිංහයන්, කොටියන්, දිවියන් වැනි) දඩයම් සතුන් විසින් සපා (මැරුණු) දැයද ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. (එහෙත් මෙම සතුන් දඩයම් කරන ලද) ඒවායෙන් (පණ පිටින් සිටින විටදී) නියම අන්දමින් (බිස්මිල්ලාහ් කියා) ඔබ බෙල්ල කැපූ (කුර්බාන් කළ) දැය හැර. (එසේ බෙල්ල කැපූ දැය ආහාරයට ගත හැකිය). තවද පූජා කිරීම සඳහා සිටුවන ලද (කුළුණු, කොඩි, පිළිරූ වැනි) දැය සඳහා කැපූ දැයද, දුන්නෙන් විද (නිවිති බලා) පංගු බෙදා ගැනීමද (ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය). මේ සියල්ල පාපයන් වන්නේය....,
...කවුරුන්හෝ පාපයන් කිරීමේ අදහසක් නොමැතිව බඩගින්නේ දරුණු කම නිසා, බලකරණු ලැබ, (ඉහත සඳහන් තහනම් කරනු ලැබූ දැය අනුභව කර) හැරියහොත් (එය වරදක් වන්නේ නැත). මන්දයත් අල්ලාහ් (බල කරනු ලැබූ ඔහුගේ වැරදිවලට) සමාව ලබා දී, අනුකම්පා කරන්නෙකු වශයෙන් සිටින්නේය; (5:3)
(නබියේ! ආහාරයට ගැනීමට) තමන්ට අනුමැතිය දෙනු ලැබූ දැය කුමක්දැයි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට ඔබ මෙසේ පවසනු) (පාරිශුද්ධ වූ) හොඳ දැයම ඔබට අනුමත කරනු ලැබ ඇත්තේය. තවද අල්ලාහ් ඔබට උගන්වා දී ඇති අන්දමට දඩයම් කරන (බල්ලා, දිවියා වනි) සතුන්ට හා (රාජාලියා වැනි පක්ෂීන්ටද) ඔබ දඩයම් කිරීමට උගන්වා, ඒවා (දඩයම් කර, තමන් අනුභව නොකර) ඔබ වෙනුවෙන් වළක්වා (තබා ගත්) දැයද -(ඒවා මිය ගියා උවද)-ඔබට ආහාරයට ගත හැකිය. (එහෙත් දඩයමට මුදා හරින විට, බිස්මිල්ලාහ් යයි) අල්ලාහ්ගේ නාමය පවසා අත්හැරිය යුතුය; (5:4)
(විශ්වාසවන්තයිනී!) ජලයෙහි දඩයම් කිරීමද, ඒවා ආහාර වශයෙන් ගැනීමද, ඔබට අනුමත කරනු ලැබ ඇත්තේය;(5:96)
විශේෂයෙන්ම ආහාර සදහා සත්වයින් ඝාතනය කරන ක්‍රම පිළිබඳව මිනිසුන් අතර විවිධ අදහස් ඇත. මේ ඒ ගැන පැහැදිළි කිරීමකි.
බෙල්ලේ ඉදිරිපස තියුණු කැපුමකින් සතුන් ඝාතනය කිරීමේ ඉස්ලාමීය (HALAL) පිළිවෙත සත්ව හිංසනයේ ආකාරයක් ලෙස ඇතැම් සත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රහාරයට නිතර ලක්ව ඇත. එය සතුන් මැරීමේ වේදනාකාරී අමානුෂික ක්‍රමයක් බව ඔවුන් ප්‍රකාශ කරයි.
මීට අමතරව සත්වයා මිය යාමට පෙර වේදනාව දැනීම වැළැක්වීම සඳහා සතුන්ගේ හිසට වෙඩි තැබීමකින් ඝාතනය කිරීම සමහර රටවල අනුමත කර ඇත.
එබැවින් ජර්මනියේ හැනෝවර් විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය විල්හෙල්ම් ෂුල්ස් සහ ඔහුගේ සගයා වන වෛද්‍ය හසිම් විසින් කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵල දැනගැනීම හොඳ පණිවිඩයක් වේවි.
අධ්‍යයනය:- 'සාම්ප්‍රදායික (කැප්ටිව් බෝල්ට් පිස්තෝලයක් මගින් මොළයට වෙඩි තැබීමෙන්) සහ ඉස්ලාමීය චාරිත්‍රානුකූල (හෙවත් හලාල්) ක්‍රමයට පිහියෙන් ගෙල නහර කපා බැටළුවන් හා ගවයන් ඝාතනය කිරීමේ ක්‍රමවල වේදනාව සහ සවිඥානකත්වය පරීක්ෂා කිරීම.
[ඉස්ලාමීය (HALAL) ඝාතනය ඉතාමත් මානුෂීය ඝාතනයක් වන අතර වෙඩි තැබීම සත්වයාට දැඩි වේදනාවක් ඇති කරන බව අවසානයට තහවුරු වී ඇත. ඉස්ලාමීය ක්‍රමයට ලබා ගන්නා මස් වල ගුණාත්මක භාවය හා කල් තබා ගැනීමේ ගුණය, වෙඩි තබා ලබා ගන්නා සතුන්ගේ මස් වල ගුණාත්මග භාවය හා කල් තබා ගැනීමේ ගුණයට වඩා වැඩි බවද තහවුරු විය].
1 - ඉස්ලාමීය ක්‍රමය
ඉස්ලාමීය හලාල් ඝාතනය යනු ශරීරයෙන් හිස වෙන් නොකර ජුගුලර් නහර, කැරොටයිඩ් ධමනි, ස්වසනාලය සහ esophagus කපා දැමීමයි. මෙම ක්‍රමය මඟින් මොළයට රුධිරය හා ඔක්සිජන් සැපයීම නතර කරන අතර තත්පර කිහිපයකින් සත්වයාට සිහිය නැති වේ.
අධ්‍යයනයේ දී, මොළයේ මතුපිට ස්පර්ශ වන පරිදි සියලුම සතුන්ගේ හිස් කබලේ විවිධ ස්ථානවල ඉලෙක්ට්‍රෝඩ කිහිපයක් ශල්‍යකර්මයෙන් බද්ධ කරන ලදී. (ඉන්පසු සති කිහිපයක් සතුන්ට සුවය ලැබීම සඳහා ඉඩ ලබා දෙන ලදී).
පසුව, ඉන් සතුන් කිහිප දෙනෙකුගේ ගෙල මත තියුණු පිහියකින් වේගවත් ගැඹුරු කැපුමක් සිදු කර ජුගුලර් නහර සහ කැරොටයිඩ් ධමනි මෙන්ම ස්වසනාලය සහ esophagus (ඉස්ලාමීය ක්‍රමයට) කපා දමන ලදී.
අත්හදා බැලීමේදී, විද්‍යුත් එන්සෙෆලෝග්‍රැෆ් (EEG) සහ විද්‍යුත් හෘද රෝග සටහනන් (ECG) මගින් කැපුම් ඝාතන සහ වෙඩි තැබීම මගින් කල ඝාතන කාලය තුළ සියලුම සතුන්ගේ මොළයේ සහ හදවතේ තත්ත්වය සටහන් විය.
EEG හි සටහන් කර ඇති පරිදි ඉස්ලාමීය ඝාතනයේ සිට පළමු තත්පර තුන ඝාතනයට පෙර ප්‍රස්ථාරයෙන් කිසිදු වෙනසක් නොපෙන්වන අතර එමඟින් සත්වයාට කැපීමේදී හෝ වහාම වේදනාවක් දැනුණ බවක් නොපෙන්වීය. මෙම සිහිසුන් තත්ත්වය තුළ සත්වයාට වේදනාවක් දැනෙන්නේ නැත. මේ අතර, මොළයේ ඇති පිටියුටරි ග්‍රන්ථිය මගින් වකුගඩු වල ඇති අධිවෘක්ක ග්‍රන්ථි වෙත සංඥා යවමින් ඇඩ්‍රිනලින් නිකුත් කරයි.
ඊළඟ තත්පර 3 සඳහා, EEG ගැඹුරු නින්දේ තත්වයක් වාර්තා කළේය (සිහිසුන්ව). මෙයට හේතුව ශරීරයෙන් විශාල රුධිර ප්‍රමාණයක් පිටවීමයි.
ඉහත සඳහන් කළ තත්පර 6 කට පසුව, EEG ශුන්‍ය මට්ටම වාර්තා කළ අතර, කිසිදු වේදනාවක් දැනෙන බවක් නොපෙන්වයි.
මොළයේ පණිවිඩය (EEG) ශුන්‍ය මට්ටමට පහත වැටුණු විට, හදවත තවමත් ස්පන්දනය වෙමින් පවතින අතර ශරීරය දැඩි ලෙස කම්පනයට පත් වීම හේතුවෙන් (සුෂුම්නාවෙහි ප්‍රත්‍යාවර්ත ක්‍රියාවක් මත) ශරීරයෙන් ඉවතට උපරිම රුධිර ප්‍රමාණයක් ගෙන යන අතර එමඟින් පාරිභෝගිකයාට සෞඛ්‍ය සම්පන්න මස් ලැබේ.
2). කැප්ටිව් බෝල්ට් පිස්තෝලයක් භාවිතයෙන් සතුන් ගේ හිසට වෙඩි තබන බටහිර ක්‍රමය:
a). වෙඩි වැදුනු වහාම සතුන් සිහිසුන් විය.
b). වෙඩි වැදුනු වහාම EEG හරහා දැඩි වේදනාවක් පෙන්නුම් කළේය.
c). ඉස්ලාමීය ක්‍රමයට අනුව ඝාතනය කරන ලද සතුන් හා සසඳන විට, වෙඩි වැදුනු සතුන්ගේ හදවත් ඉක්මනින් නතර විය. එනිසා වැඩිපුර රුධිර ප්‍රමාණයක් ශරීරයෙන් ඉවත් නොවී මස්වලම රඳවා ගැනීමට හේතු විය. එනිසා එම මස් වල බැක්ටීරියා ක්‍රියාකාරීත්වයද අධිකය. මෙය පාරිභෝගිකයාට සාපේක්ෂව නුසුදුසුය.
ඉස්ලාමීය (HALAL) ඝාතනය සඳහා රෙගුලාසි
මුහම්මද් නබි (ﷺ) තුමාණෝ මෙසේ පැවසූහ: ඔබ ඝාතනය කරන විට එම සත්වයාට දයාවන්ත වන්න: එහි වේදනාව සමනය කිරීම සඳහා ඔබේ තලය මුවහත් කරන්න."
තවද එතුමානන් උගන්වා ඇත්තේ සතෙකු ඉදිරියෙහි පිහි තලය මුවහත් කිරීම හෝ තමන්ගේම වර්ගයේ අන් සතුන් ඉදිරියේ සතෙකු මරා දැමීම නොකල යුතු බවයි.
සත්වයා ඝාතනය කිරීමට පෙර "බිස්මිල්ලාහ්" යනුවෙන් අල්ලාහ්ගේ නාමය පැවසිය යුතුය. [සත්වයාගේ සැබෑ නිර්මාතෘ සහ හිමිකරු දෙවියන්යවහන්සේය].
සත්ව ඝාතනය සඳහා භාවිතා කරන පිහිය තියුණු විය යුතු මෙන්ම එය වේගයෙන් භාවිතා කළ යුතුය. ගෙල වේගයෙන් කපන විට වේදනාව සඳහා වගකිව යුතු මොළයේ ස්නායු වලට රුධිර ප්‍රවාහයද ඉක්මනින් විසන්ධි කරයි. එවිට සත්වයාට වේදනාවක් දැනෙන්නේ නැත. කැපීමෙන් පසු සතාගේ සිදුවන චලනයන් සහ මැලවීම සිදුවන්නේ වේදනාව නිසා නොව, රුධිරයේ ඌනතාවයෙන් යුත් මාංශ පේශි හැකිලීම සහ ලිහිල් කිරීම නිසාය.
කැපීම: සුසුම්නාලය (ශ්වාසනාලය), ගුලට් (එසොප්හගුස්) සහ ජුගුලර් නහර දෙක සම්බන්ධ විය යුතුය. (සුෂුම්නාව නොකැපෙන ලෙස මෙය කළ යුතුයි). මෙම ක්‍රමය මඟින් සත්වයාගේ ශරීරයෙන් වැඩි ප්‍රමාණයක් රුධිරය වහනය වීම වේගවත් කරයි. සුෂුම්නාව කපා දැමුවහොත් හෘදයේ ස්නායු තන්තු වලට හානි වී හෘදයාබාධ ඇති විය හැකි අතර එමඟින් රුධිර නාලවල රුධිරය එකතැන පල්වීමට හේතු වේ. හිස ඉවත් කිරීමට පෙර රුධිරය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය. ක්‍ෂුද්‍ර ජීවීන් සඳහා මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන රුධිරය ඉවත් කිරීමෙන් මස් පිරිසිදු කරයි; මස් ද වෙනත් ඝාතන ක්‍රමවලට සාපේක්ෂව නැවුම්ව පවතී.
එබැවින් සත්ව ඝාතනයේදී සිදුවන සත්ව හිංසන ගැන කතා කිරීමේදී මෙවැනි කරුණු කෙරෙහි දැනුවත්ව සිටීම ඉතා හොඳය.
මාංශ භක්ශක, ශාක භක්ශක, සර්ව භක්ශක, පරිණාමවාදය සහ කුසල්-අකුසල් ආදිය ගැන සළකා බලමු.

හිපපොටේමස් යනු පෘථිවියේ සිටින තුන්වන විශාලතම ක්ෂීරපායින් වේ. ශාක භක්ෂක වේ, බහුලව තණකොලද අමතරව පළතුරු අනුභව කරයි. ඔවුන් විශේෂ දෙකක් සිටී. ඔවුන්ට දිය යටින් වේගෙන් පිහිණිය හැක, මඩේත් ඔවුන් ජීවත් වේ. ගොඩබිමදී වේගයෙන් දිවීමට පුළුවන. සිංහයන් කිඹුලන් වැනි සතුන් සමග උවද සටන් කල හැක. ඔවුන්ට විශාල කටක් සහ විශාල බඩකුත් ඇත. අපි රඹුටන් ගෙඩියක් කටේ දාගන්නවා වගේ සටනකදී සිංහයෙකුගේ ඔලුවක් උනත් තම කටෙන් අල්ලා ගත හැක. ඔවුන් එකමුතු කමින් සතුරන්ට පහර දෙති. ඔවුන්ට දහවලට වඩා රාත්‍රී කාලයේදී වඩාත් හොඳින් ක්‍රියාශීලී විය හැක. ඔවුන්ට ගොම හෝ අසූචි වල සුවඳ දැනීමෙන් එය සතුරෙකුගෙන් මිතුරෙකුගෙන් ආදී ලෙස හඳුනාගත හැකිය.
"හිපපොටේමස් වඳවීමේ අවදානමට ලක්ව ඇති සත්ව කාන්ඩයකි".
පරිසරය අනුව සතුන්ගේ ස්වභාවය වෙනස් වී අදාල පරිසරයට සුදුසු ආකාරයට (ඩාවින් පරිණාම වාදයෙන් කියනා ලෙසට) ස්වභාවික වරණයක් වෙනවා නම් හිපෝ ලා තුන් වේලම මස්, මාලු, බිත්තර, තණකොල, මඩෙහි හැදෙන ඕලු මල් හා ඕලු අලත් කාල, වතුරෙත්, මඩෙත්, ගොඩබිමත් තම රාජධානිය කරගෙන ලෝකෙ බොහෝ ප්‍රදේශ වලටත් ව්‍යාප්ත වෙලා කිසිම වඳවීමේ තර්ජනයකට ලක් නොවී ඉන්න පුලුවන් වන විදිහට අනුවර්ථනය වෙන්න තිබුනා. සිංහයින්ට තණකොල එහෙමත් කන්න හැඩගැහෙන්න තිබුනා. බූරුවන්ටත් පොඩි හරි සතෙක් අල්ලන් කන්න හැඩ ගැහෙන්න තිබුනා. නමුත් එහෙම වෙලා නෑ. එනම්, මේ ලෝකේ සිටින සත්තු ඒ ඒ තත්ව වලට නියම වී ඇති බව පැහැදිළියි.
මිනිසාගේ ශරීරයම සර්වභක්ෂක තත්වයකින් නිර්මාණය වී ඇත.
හිපපොටේමස් කොච්චර ලොකු වැඩ්ඩෙක් උනත් ශාක භක්ෂකයි.
සිංහයා කැලේ රජා උනත් මස් නැත්නම් බඩගින්නෙ මැරෙන්නයි වෙන්නෙ. එයා මාංෂභක්ෂකයි. පරිසටවලට අනුව ඔවුන් එහෙම අනුවර්තනය වෙලා නෑ. යම් නියමයකට අනුවයි ඔවුන් හැඩ ගැසී තිබෙන්නේ. (එය නිර්මාතෘ ගේ නියමයයි).
දෙවියන් පවසනවා ඔහු මිනිසාව මිනිසෙක් ලෙසම නිර්මාණය කල බව. මිනිසා වානරයෙකුගෙන් පැවත එන බවක් මිනිසාගේ නිර්මාතෘ පවසා නැහැ. එනිසා නොමග ගිය මත වල තවත් රැදී සිටිය යුතු නැත.
මිනිසා ගැන, ඔහුගේ ආරම්භය - අවසානය ගැන, ඔහු පෘතුවිය තුල සිටින කාලය තුල කෙසේ ජීවත් විය යුතුද, මරනින් මතු ලෝකයේ තත්වය කෙසේද, විශ්වයේ ආරම්භය අවසානය වැනි අප නොදන්න බොහෝ දේ ගැන අපට ඒවායේ නිර්මාතෘගෙන්ම නිවැරදි තොරතුරු ලැබී ඇත.
කුසල් අකුසල් යාන්ත්‍රණය ගැන නොදැන අප විසින් ඒවාට නීති රීති සම්පාදනය නොකළ යුතුය. මිනිසාට හානිකර සතෙකු ඝාතනය කිරීම සම්බන්ධව කුසල් අකුසල් රැස් වන්නේ කෙසේද, ආහාර, ඖෂධ හෝ වෙනත් කාරණාවක් වෙනුවෙන් ජීවී තත්ව වල ඇති බැක්ටීරියා, දිලීර, ලොකු හෝ කුඩා ශාක, ලොකු හෝ කුඩා සත්වයින් ආදිය භාවිතයට ගැනීම ගැන කුසල් අකුසල් නිර්ණය කිරීම ඒ සියල්ලෙහි අයිතිකරුට අනුව සිදු කල යුතු දේවල්ය. එනිසා මිනිසා කුසල් යාන්ත්‍රණය කෙසේ සිදුවන්නේ දැයි පැහැදිළි අවභෝදයකින් සිට කටයුතු කල යුතුය. නැතිනම් ඔහු "තමා නිවැරදියි" යැයි සිතමින් නොමගෙහි සිටිය හැක. එය අවාසනාවන්ත තත්වයකි.
අවසානයට අකුසල් ප්‍රමාණය වැඩිවෙලා අපායට සේන්දුවන අයට දඬුවම් දෙනු ලබන යමපල්ලන් ගැනවත් මිනිසා පොඩියෙන් හරි දැනගෙන සිටීම ඔහුගේ සිතට සැහැල්ලුවකි. ඇත්තටම යමපල්ලන් යනු කව්රුන්ද? දෙවියන්ගේ තවත් ණාත්මක ජීවී සමූහයක් වන මලායිකාවරුන් ගැන දැනුවත් වීමෙන් එම ගැටළුවද විසඳා ගත හැක.
ඉස්ලාමය ප්‍රායෝගික දහමකි. එහි ඇති උපදෙස්, නීති රීති කුමන කාලයක, කුමන ප්‍රදේශයක, කුමන තරාතිරමක සිටින කෙනෙකුටද උවද අනුගමණය කළ හැකි උගැන්වීමකි.
සතුන්ට වඩා මිනිසාට සුවිසේශී බුද්ධියක්, මනා විචාර බුද්ධියක්, ස්වයං තීරන ගැනීමේ උපරිම නිදහසක්, ලොව ඇති සම්පත් ප්‍රයෝජනයට ගැනීමට හොඳ හැකියාවක් මෙන්ම ඒවා භාවිතයට ගැනීමට යම් කිසි අයිතිවාසිකමක් වැනි වරප්‍රසද රාශියකට හිමිකම් ලැබී ඇත. එසේම ඔහු දෙවියන් ඉදිරියේ පරීක්ෂනයකට ලක්ව ඇත.
අපි දන්නවා සෑම සතෙක්ම ජීවත් වීමට ආශා කරන බව. ඔවුන් දක්වන භිය හැසිරීම් වලින් එය අපට වටහා ගත හැක. එසේම සතුන් සියදිවි නසා ගැනීමක් කර ගන්නේ නැත. අධික ලෙස තුවාල වූ සතුන්ද ජීවත් වීමටම උත්සහ ගන්නා බව අප දැක ඇත.
තත්වය එසේ නම් ඔවුන්ට වඩා උසස් අපි ඔවුන්ව ඝාතනය කරන්නේ කෙසේද? බුදුදහම තුලින් නම් එය ගැඹුරින්ම අවධානය කර එය මහත් පාපයක්ම බව පවසයි.
නමුත් ප්‍රායෝගික ලෝකය තුල අපට ශාක හෝ සතුන්ගේ පණ නැසීමකින් තොරව ජීවත් වීමට නොහැකිය. පර පණ නැසීම අනිවාර්‍යයෙන්ම පාපකර්මයක් නම් එය නසන ජීවියා ලොකු හෝ පොඩි ලෙස වර්ග කළත් එය පාපකර්මයක්ම වන්නේය. උනක් හැදුනොත් එයට ප්‍රතිකර්මයක් ලෙස බෙහෙතක් බීමටද නොහැකිය. මදුරුවෙක් රෑ පුරාම වද දෙනවා නම් ඌ මැරීමටද නොහැකිය. වෙනත් විශාල විෂඝෝර සතෙක් උනත් මැරිය නොහැකිය. දරුණු මිනීමරුවෙකුට එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමටද නොහැකිය. සමහර අත්‍යාවශ්‍ය ඖෂධ නිපදවීමටද නොහැකිය. වෙනත් විද්‍යාත්මක පරීක්ෂන කිරීමටද, අත්හදා බැලීම් කිරීමටද නොහැකිය. ලෝකය අද මෙන් දියුණු වන්නට පෙර අධික සීත රටවල, අධික උෂ්ණ රටවල එලවළු පළතුරු නොතිබෙන්නට ඇත. ඔවුන්ට මස් නැතිව පැවැත්මකුත් නැත. මාංශ භක්ශක සතුන් උනත් උන් ජීවිත කාලයම යැපෙන්නෙත් පර පණ නසාගෙනමය.
මේ කරුණු සලකා බැලීමේදී අප කැමති උනත් නැතත්, මේ ලෝකය සහ එහි ජීවීන් නිර්මාණය වී පවතින්නේ පර පණ නැසීමත් එක්කම සහ සම්බන්ධතාවයකින්මය. එනිසා අප එයට මුහුන දිය යුතුයි. සියල්ලෙහි නිර්මාතෘ ,ඒ ගැන දන්න නිසයි මිනිසාට උනත් මාංශමය ආහාර සඳහා හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා යම් ප්‍රමාණයකට සත්ව ඝාතනය අනුමත කර තිබෙන්නෙ. අවශ්‍යතාවය මත එය කුහුඹියෙක් හෝ මිනිසෙක් පවා විය හැක. දෙවිදුන්ගේ උපදෙස් මත එය කිරීම පවක් ලෙස නොසලකන අතර නිකරුණේ ගහක කොලයක් කැඩුවොත් එයද පාපයක් බවත් පවසා ඇත. එනිසා මිනිසා මෙහිදී බුද්ධිමත් විය යුතුය.
මාංශ අනුභවය ගැන මගේ පුද්ගලික අදහස:-
පෙර කාලවල අධික ශීත සහ අධික උෂ්ණ ප්‍රදේශ වල එලවලු පලතුරු, ධාන්‍යය ආදිය නොතිබෙන්නට ඇත. එනිසා ඔවුන් දිනපතා මාංශමය ආහාර අනුභව කිරීම වරදක් ලෙස සැලකිය නොහැකිය. දෙවියන් පවා මාංශමය ආහාර අනුභවයට අවසර දී ඇත.
නමුත් අද අධික උෂ්න සහ අධික ශීත ලෙස සලකන බොහෝ රටවල (වෙළදසැල්වල) ශ්‍රී ලංකාවට වඩා නැවුම් එලවළු පළතුරු ඇත.
තම ශරීරයට අවශ්‍ය බොහෝමයක් පෝෂන පදාර්ථ මස් වලින් තොරවම ලබා ගත හැක. එලවළු පලතුරුවල මිළද මාංශමය ආහාර වලට වඩා අඩුය. එවන් තත්වයක් යටතේ දිනපතාම තම ආහාර වේල් සඳහා අහිංසක සතුන්ගේ මස්ම ලබාගන්න තත්වයක සිටිනවා නම් ඒ ගැන නැවත සළකා බැලිය යුතු වන්නේය. දෙවියන් අවසර දුන්න නිසාම සීමාව ඉක්මවා යාම තමන්ටම නරකක් විය හැක. මනුශ්‍යත්වය මතුකරගෙන මේ ලොව තුල සිටින සතුන් හා ශාක සමග අප ජීවත් වීමට වගබලා ගත යුතුය. එනිසා ඔබට හැකි නම් ඔබේ කෑම පිඟානට එන අහිංසක සහ හලාල් නොවන සතුන් ප්‍රමාණය අඩු කරන්න උත්සහ ගන්න.
by sjw
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us