සියල්ල සිදුවන්නේ අල්ලාහ්ගේ දැනුම සහ අනුමැතිය මතයි!

මෙම මාතෘකාව Qadar & Qada [කදර් & කදා] ලෙස ව්‍යාවහාරයේ භාවිතා කරයි.

  • Qada (කදා) යනු:- අල්ලාහ් සියල්ල පිළිබඳව දැනුවත්ව සිටින බව සහ,
  • Qadar (කදර්) යනු:- සියල්ල අල්ලාහ්ගේ අනුග්‍රහයෙන් සහ අනුමැතියෙන් යුතුව සිදුවන බවය. 

කදා සහ කදර් විශ්වාස කිරීම යන්නෙන් අදහස් කරන්නේ මෙම විශ්වයේ සිදුවන සෑම දෙයක්ම අල්ලාහ්ගේ කැමැත්ත සහ නියෝගය අනුව සිදු වන බවට නිශ්චිත විශ්වාසයකි.

මේ වචන දෙකම එකට එකතු කර ගත් විට මිනිසා සම්බන්ධව නම් ඔහු ගැන දිව්යමය ආඥාව, ඔහුගේ ඉරණම, ඒ සම්බන්ධව පූර්ව නියමය ආදී ලෙස අදහස් වේ. 

මේ පිළිබඳව විශ්වාස කිරීම මුස්ලිම්වරුන්ගේ ඊමානයේ හෙවත් විශ්වාසයේ අනිවාර්‍ය කුළුනකි. එම විශ්වාසය අන්ධ භක්තිය මත පදනම් වූවක් නොව. එය 'එසේ නොවේ යැයි කීමට බැරි තරමට' එය මනාව පැහැදිලි කරගත හැකි සහ පැහැදිලි කර දිය හැකි වෙනත් සාදක මත හිඳිමින් පූර්ණ ආත්ම විශ්වාසයක් මත තබන විශ්වාසයකි.

"කදර් & කදා" එක් ලිපියකින් වටහා දීම අපහසු කාර්යයකි. එම නිසා මෙයට අදාල වීඩියෝකුත්, අමතර තොරතුරු ඇතුලත් සබැඳි (ලින්ක්) ලිපි කිහිපයකුත් මෙයටම සම්බන්ද කිරීමට අදහස් කළෙමි.

දෙවියන් සිටින බවට සාක්ෂි

දෙවියන්ගේ නිර්මාණ: විශ්මිත රූප එකතුවක් (විශ්මිත සතුන්, විශ්මිත මිනිස් සිරුර, විශ්මිත සොබා දහම, විශ්මිත විශ්වය)

දෙවිඳුන්ගේ වෙනත් නිර්මාණ (මලායිකාවරුන්, ජින් වරුන්, ස්වර්ගය, නිරය)

අල්ලාහ්ගේ දැනුම සහ නිර්මාණශීලීත්වය

ඉස්ලාමය සත්‍යය බව තහවුරු කරගැනීමට සාදක


සර්වබලධාරී දෙවියන්වහන්සේ තමාගේ සියළුම නිර්මාණ කෙරෙහි ඉතාමත්ම දැණුවත් භාවයෙන් සිටී. ඒ බව ඉහත සදහන් දෙවියන්ගේ දැනුම සහ නිර්මාණශීලීත්වය යන ලිපියෙන් උපුටා ගත් වැකි කිහිපයක් මෙහි නැවත සඳහන් කරමි.

පහත කරුනු දෙස අවධානය යොමු කරන්න.

1). සදාකල් එක්කෙනෙක් පමණක් ලෙසම සිටින සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔහුගේ බල පරාක්‍රමයෙන් ඔහුට භාහිරින් ඇති දැය නිර්මාණය කරන ලදී. ඔහු කෙසේ හෝ ඒවා නිර්මාණය කළේ නැතිනම් ඔහු හැර වෙන කිසිවක් පැවතීමට හේතුවක් වත් අපිට සොයා ගත නොහැකිය. ඔබ කොතරම් අතීතයක සිදුවීමක් ගැන කතා කලත්, එය නිර්මාණය වීමට හේතුවද මෙම සර්වබලධාරී දෙවියන්මය. (මෙය තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් දෙවියන් සිටින බවට සාක්ෂි ලිපිය බලන්න).

2). ඔහු සදාකල් පැවතීමට නම් ඔහු වෙත දුර්වලතා කිසිවක් තිබිය නොහැක. ඔහුගේ නිර්මාණ වලින් ඔහුට හානියක්, අභියෝගයක්, හෝ එම නිර්මාණ කෙරෙහි ඔහුට සැකයක්, අතපසු වීමක්, බල රහිත බවක් තිබිය නොහැක. 

3). මේ අනුව බලන කල ඔහුට ඔහුගේ නිර්මාණ කෙරෙහි සම්පූර්ණ අවභෝදයක් තිබිය යුතුය. එය කෙතරම් සියුම් තත්වයක් ද යත්, එම නිර්මාණය ඇති කිරීමට පෙරම ඔහුට එහි මුල, මැද සහ අග පිළිබඳව සම්පූර්ණ ඇස්තමේන්තුවක්, සම්පූර්ණ සැලැස්මක් තිබිය යුතුය. එම නිර්මාණය විශාල විශ්වයක් හෝ වේවා කුඩා කුහුඹුවෙකුගේ ආහාර ජීර්ණ පද්ධතිය හෝ වේවා විය හැකියි. එසේම එම කුහුඹුවා තම ජීවිත කාලය තුල කොතරම් ආහර ප්‍රමාණයක් අනුභව කරනවාද යන්න පවා ඔහුගේ ඇස්තමේන්තුවට ඇතුලත් වී තිබිය යුතුය. එම නිර්මාණය පරමානුවේ කුඩාම කොටස හෝ විය හැකිය. එහි සැලැස්ම හා පැවැත්ම ගැන පවා ඔහුගේ දැනුමෙහි තිබිය යුතුය. මේ සියල්ල කෙරෙහි ගනනය කිරීමක් පවා ඔහුගේ ඇස්තමේන්තුව තුල තිබිය යුතුය. එසේ නොවුන හොත් ඔහුගේ නිර්මාණ කෙරෙහි කුමණ කෝ දෙයකින් ඔහු අසමත් උනොත් එය ඔහුගේ සර්වබලධාරී කමට නුසුදුසු කමකි. එය ඔහුගේ සදාකල් පැවැත්මට, ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයට හානියකි. මෙය අප වටහා ගත යුතුයි. 

4). අප දන්නා විශ්වයට වයස දැනට වසර බිලියන 13.7 කි. එය අංක වලින් පෙන්නුවොත් වසර 13,700,000,000 කි. දෙවියන් මීට වසර 1400 කට පෙර ශුද්ධ වූ අල් කුරානය පහළ කර එතුලින් ඔහු අපට පවසා තිබෙනවා ඔහු විසින් මෙම විශ්වයත් නිර්මාණය කල බව. 

ඔහුගේ නිර්මාණයේ එක් ග්‍රහලෝකයක් වන පෘතුවියම අරන් බැලුවත්, එය තුල තිබෙන මනා සැලසුම් සහගත බව, එහි සිටින ජීවීන්ගේ ශරීරවල විශ්මිත සැලසුම් සහගත බව, ඒවාට අවශ්‍යය සියළුම දෑ වල මනා පරිපාළන ස්වභාවය, එකිනෙක අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්දතාවය ආදිය අපේ ඇස් වලින්ම අපට බලා ගත හැක. එනම් මේ සියල්ල දෙවියන් විසින් ඉතාම සැලසුම් සහගත ආකාරයකට නිර්මාණය කර ඇති බවට කිසිඳු සැකයක් නැත. (වැඩි විස්තර සදහා දෙවියන්ගේ නිර්මාණ වෙත යොමුවී බලන්න).

ඉහත කරුණුත් සිහි තබා ගෙන දැන් අපි කදර් & කදා (හෙවත් දෙවියන්ගේ ආඥාව) පාඩම වටහා ගැනීමට අදාල කරුනු කිහිපයක් පෙළ ගස්සා බලමු.

1. දෙවියන් තම නිර්මාණ සියල්ල කෙරෙහි පූර්ණ වශයෙන් දැනුවත්ව සිටී.

2. දෙවියන් මේ සියල්ල පූර්ණ වශයෙන් ලව්හුල් මහ්ෆූල් නම් ඵලකයක ලියා ඇත. ලියා අවසන් කර ඇත. දැන් සිදුවන සෑම දෙයක්ම එහි ලියා ඇති ආකාරයටම සිදුවෙමින් පවතී. 

3. අල්ලාහ් සම්පූර්ණ නපුර හෝ සම්පූර්ණ හොඳ මේ ලෝකය තුලට අනුයුක්ත කර නැත. එය විශ්වාස කල යුතුයි.

4. අල්ලාහ් විසින්ම (ඔහු පමණක්ම) සියළුම වස්තූන්, ඒවායේ ලක්ෂන සහ ඒවායේ ක්‍රියාවන් නිර්මාණය කරන බව විශ්වාස කිරීම.

5. අල්ලාහ් තම නිර්මාණ ඔහුට කැමති ආකාරවලට කරන බව විශ්වාස කිරීම

6. යහපත සහ අයහපත යන මාර්ග දෙකම අල්ලාහ් අපට විවෘත කර දී ඇති අතර යහ මාර්ගයේ යාමට අල්ලාහ්ගේ දයාව කෙරෙහිත් විශ්වාසය තැබීම.

මුස්ලිම්වරු මෙම කරුණු විශ්වාස කළ යුතුය. එය තමයි මෙම (කදර් & කදා) පාඩමෙහි මූලිකම හරය.

මිනිසා සම්බන්දව කතා කිරීමේදී, දෙවිඳුන්ගේ අණින් (ඔහුගේ නිර්මාණයක් වන පෑන මගින් ලවුහූල් මහ්ෆූල් නැමති ඵලකයෙහි) මිනිසාගේ ජීවන සටහන කොටස් දෙකකට ලියා ඇත.

  1. පළමු අවස්ථාවේ මලායිකාවරුන්ට ලබා ගත හැකි ජීව දත්ත 
  2. දුආ ආදිය මත වෙනස් වන ලෙස දැකීමට ඇති ජිව දත්ත

මේ ආකාරයට මිනිසා ගේ සම්පූර්ණ හැසිරීම් රටාව, ඔහුගේ මරණින් මතු තත්වය ආදී සියල්ල එහි සටහන් කර ඇත.

මිනිසා ගේ හැසිරීම අල්ලාහ් කල්තියා දුටු නිසා සහ අල්ලාහ්ගේ අනුමැතිය මත ඔහු දක්වන හැසිරීම ලියා තිබීම අල්ලාහ්ගේ දැනුම සම්බන්ධ කාරණාවකි. නමුත් මිනිසා හැසිරෙනුයේ අල්ලාහ් ඔහුට ලබා දී ඇති නිදහස මත හිඳිමින්ය. එනිසා මිනිසා කරන හොඳ සහ නරක වලට කුසල් අකුසල් ඔහු එකතු කරගන්නේ අල්ලාහ්ගෙ කැමැත්ත මත හෝ ලව්හුල් මහ්ෆූල් හී ලියා ඇති නිසා නොවන බව නිවරැදිව වටහා ගත යුතුය.

3 :- අල්ලාහ් සම්පූර්ණ නපුර හෝ සම්පූර්ණ හොඳ මේ ලෝකය තුලට අනුයුක්ත කර නැත. එය විශ්වාස කල යුතුයි. අපි නපුර ලෙස දකින සමහර කාරණ පිටුපස අල්ලාහ්ගේ දැක්මෙන් නපුරට වඩා හොඳ තිබිය හැක. අපි හිතමු සුනාමියකින් යම් විශාල පලාතක් විනාශ උනා කියලා. අපි දකින්නේ එහි විනාශය තමයි. දැන් හිතල බලන්න අතීතයේ සිදු වූ යම් විනාශ හේතු කොට ගෙන මිනිසා ඉන් පාඩම් ඉගන ගෙන අනාගතයේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට යොමු වූ අවස්ථා. තාක්ෂනය, වෛද්‍ය විද්‍යාව, වාරි මාර්ග, ගමනාගමනය ආදිය පවා දියුනු වීමට සමහර අවාසනාවන්ත ලෙස අවසන් වූ අතීත සිදුවීම් හේතු විය. එනිසා අපි දකින නපුර පිටිපස යම් හොදක් ගැබ් වී තිබිය හැක. සම්පූර්ණ නපුර හෝ දුක නිරය තුලත් සම්පූර්ණ හොඳ හෝ සතුට ස්වර්ගය තුලත් දැකීමට හැකි වන ලෙස අල්ලාහ් ඒවා නිර්මාණය කර ඇති බව පවසයි. මෙලොව ජීවත් වන මිනිසාට මෙම විශ්වාසයන් තුළින් හොද පදණමක් ලබා දෙයි. 

ඔබට කුසල් රැස් කර ගැනීමට මාර්ග මේ ලොව තුල තිබිය යුතුය. සියල්ල පොහොසත් නම්, ඔබ දුප්පතෙකුට උදව් කර කුසල් රැස් කර ගන්නේ කෙසේද? සියල්ල හොඳ වැඩ කරන මිනිසුන් විතරක් මේ ලොව තුල ඉන්නවා නම් පව්කාරයෙකුට උදව් කර ඔබ කුසල් රැස් කර ගන්නේ කෙසේද? දෙපා අහිමි අය ඔබ නොදකින්නේ නම් ඔබට තියෙන ඔබේ දෙපා ගැන සතුටු වන්නේ කෙසේද? අල්ලාහ් මේ සියල්ල සැලසුම් සහගතව හේතූන් ඇතිව නිර්මාණය කර ඇති බව විශ්වාස කළ යුතුය.

4 :- අල්ලාහ් විසින් වස්තූන්, ඒවායේ ලක්ෂන, ඒවායේ ක්‍රියාවන් සහ චලනයන් නිර්මාණය කරන බව විශ්වාස කිරීම.

අල්ලාහ්ම සියළු වස්තූන් උත්පාදනය කළේය. ඔහුම සියල්ලෙහි ආරක්ෂකයාය. (39:62)

එම අල්ලාහ්ම උත්පාදකයාය. (ඔහුම උත්පාදයන්) සැලසුම් කරන්නේය. ඔහුම (උත්පාදනයන්ගේ) හැඩ රුව නිර්මාණය කරන්නාය; (59:24)


අල්ලාහ් විසින් අපේ ක්‍රියාවන් [Actions] (කථනය ඇතුලුව ශරීර චලනයන්) නිර්මානය කරණ බව මා මීට පෙර ලියා ඇති මම කවුද? WHO AM I ?  ලිපියෙහි විස්තර සහිතව සඳහන් වේ. පහතින් දැක්වෙන්නේ ඉන් උපුටා ගත් සටහනකි.

බාබර් කෙනෙක් දැලි පිහියකින් වෙන කෙනෙකුගෙ රැවුල කපන කටයුත්ත ගැන ටිකක් බලමු.

  • බාබර්ගේ අත (ඇතුළුව භාහිර ශරීරය) ද බාබර්ගෙම ස්ව-නිර්මාණයක් නොවෙයි. 
  • බාබර්ගේ අත සහ භාහිර ශරීරයම මේ ක්‍රියාවට භාවිතා කරන යාන්ත්‍රනයත්, එයට අදාළ වන ප්‍රෝටීන, විටමීන් වැනි ශක්තීන්ද ඔහුගේම නිර්මාණ නෙවෙයි.

බාබර්ට තනිවම තමන්ගෙ අතක් සොලවගන්නවත් බැහැ. ශරීරය ඇතුළුව මේතන තියෙන සියල්ල අයිති බාබර් නොවන වෙනත් කෙනෙකුටය. අත සෙලවීම පවා වෙනත් කෙනෙකුගේ යාන්ත්‍රණයක ප්‍රතිඵලයකි. බාබර්ගෙ ආත්මයත්, සිත ආදියත් බාබර්ගේ නිර්මාණ නොවේ. එසේනම් මෙතන බාබර්ට අයිති මොනවාද? ඔහුට ඇත්තටම අයිති තමන්ට ලැබී තිබෙන ආත්මය, ශරීරය සහ සිත නම් ව්‍යුහ තුල සිටිමින් සිත තුලින් අත නිශ්චිත ස්ථානය දක්වා සෙලවීමට අදහස ගැනීම සහ එම අදහස ක්‍රියාවට නැංවීමට අවසන් තීන්දුව ගැනීමේ අවස්ථාව පමණි. එවිට දෙවියන්ගේ සැලැස්මට අනුව සහ ඔහුගේ අනුමැතියට අනුව බාබර්ගේ ශරීරය බාබර්ට උදව් කරයි. එනම් අප අදහස් කර අවසන් තීන්දුව ක්‍රියාත්මක කරවීමට අවශ්‍යය ක්‍රියා [Actions] දෙවියන්ගේ නිර්මාණයක්ය යන්න අප විශ්වාස කල යුතුයි. මේ ගැන හොඳ අවභෝදයක් ඇති තැනැත්තා දෙවියන්ගෙන්ම උදව් අරන් නරක සහ නපුරු වැඩ කිරීමට යොමු වීමට භිය සහ ලැජ්ජා වනු ඇත.

තමා නිදා සිටින විට පවා තමාට නොදැනිවම තමාගේ ශරීරය තුල අල්ලාහ් අභ්‍යන්තර සහ භාහිර ක්‍රියා නිමාණය කරයි. ඔබේ හදවත ඔබ නොදැනීම ක්‍රියාත්මක වේ. එසේම ඔබ නින්දේ සිටින විට ඔබ නොදැනීම ඇඳේ එක් එක් පැති වලට හැරෙමින් සිටින්නේ එම ක්‍රියාවන් අල්ලාහ් නිර්මාණය කරන නිසයි. සමහර පුද්ගලයන්ට තම සිතින් ක්‍රියාවට අනුමැතිය දුන්නත් අල්ලාහ් එම ක්‍රියාව ක්‍රියාවට නොනගයි. කෝමා තත්ව, අංශභාගය ආදිය එහි ප්‍රතිඵලයන්ය.


තම නිර්මාතෘ (හෙවත් දෙවියන්), යමක් කිරීමට යන පුද්ගලයාට ආකාර හතරකින් ප්‍රතිචාර දක්වනවා.  

  1. දෙවියන් කැමති දෙයක් කිරීමට මිනිසා අදහස් කලා නම් එය වෙන්න ඉඩ දෙනවා. සරල උදාහරණයකින් කියනවා නම්, දුප්පතෙකුට ආහාර වේලක් දෙන්න මිනිසා අදහස් කලා නම්, එම මිනිසාගෙ නිර්මාතෘ එයට කැමතියි. ඔහු එයට උදව් කරනවා. එය වෙන්න ඉඩ දෙනවා. පසුව එම සිතුවිල්ල ගැනීම, නිර්මාතෘගේන් උදව් ගැනීම හා එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව කුසල් ලබා දෙනවා.

  2. දෙවියන් කැමති දෙයක් කිරීමට මිනිසා අදහස් කලත් දෙවියන් එය වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. දුප්පතෙකුට ආහාර වේලක් දෙන්න මිනිසා අදහස් කලා නම්, එම මිනිසාගෙ නිර්මාතෘ එයට කැමතියි. ඒත් ඔහු එයට උදව් කරන්නෙ නෑ, එය වෙන්න ඉඩ ඉඩ දෙන්නෙ නෑ. සමහර අයට යහපත් දේවල් කරන්න හිතුනට එවැනි දේ කරගන්න බැරි වන අවස්ථා අපි දකිනවා. පසුව එම සිතුවිල්ල ගැනීම, නිර්මාතෘගෙන් උදව් ගැනීමට උත්සහ කිරීම, හා එය ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම මත ඔහුට කුසල් ලබා දෙනවා. එම ආහාර වේල එම දුප්පතා දීමට නොහැකි වීමට හේතුව සමහර විට ඔහුට හිතා ගන්න බැරි වෙයි. එවිට ඔහු එක් එක් අණුමාන මත කල්පනා කරයි. නමුත් දෙවියන් දන්නවා එම දුප්පතා හට එම වෙලාවේ එම ආහාර වේල නොදීමට හේතුව. එය දෙවියන්ගේ විශ්මිත දැණුම. එසේම එය ඔහුට නොදෙන බව ඔහු ඉපදෙන්නටත් පෙරම ලවුහූල් මහ්ෆූල් හි ලියා ද අවසන්. එම ආහාර වේල අල්ලාහ්ගේ (මෙම ලෝකය නිර්මාණය කරන) ඇස්තමේන්තුවට අඩංගු කරද නොමැත. (මෙය නොදීමට බලපෑ හේතුව සමහර විට විනිශ්චය දිනදී දෙවියන් ඔවුන් දෙදෙනාටම පෙන්වීමටද ඉඩ ඇත).
  3. දෙවියන් අකැමති දෙයක් කිරීමට මිනිසා අදහස් කලා නම්, එහෙත් එය වෙන්න ඉඩ දෙනවා.
    උදා:- කිසියම් කෙනෙක් අදහස් කලා නම් තම නිර්මාතෘට (දෙවියන්ට) බනින්නට, දෙවියන් එයට අකැමතියි, නමුත් ඔහු එයට එයට ඉඩ දෙනවා, උදව් කරනවා. පසුව ඔහුට අකුසල් ලබා දෙනවා. (මිනිසා දෙවියන්ට බැන්නට දෙවියන්ට කිසිම හානියක් වෙන්නෙ නෑ, නමුත් එයින් මිනිසා මිනිසාටම හානි කරගන්නවා. ඇත්තටම දෙවියන්ට බනින අය කරන්නෙ දෙවියන්ගෙන්ම භාහිර හා අභයන්තර ශරීර ලබාගෙන දෙවියන්ම තමන්ට දුන් සීමිත නිදහසෙන් ප්‍රයෝජන ගෙන දෙවියන්ගේම උදව් අරන් දිව සොලවමින් දෙවියන්ටම බනින එකයි. දෙවියන්මයි ඔහුට මේ වෙනුවෙන් අකුසල් ලබා දෙන්නෙ. මේවා නොදන්න අය දෙවියන්ට බනිනවා. අවසන් විනිශ්චය දිනදී ඒ අකුසල් වලට දඩුවම් ලබන්න සිදු වෙනවා). 
  4. දෙවියන් අකමැති දෙයක් කිරීමට මිනිසා අදහස් කලා නම් එය වෙන්න ඉඩ දෙන්නෙ නෑ. සරල උදාහරනයකින් කියනවා නම්, ඔබ සතෙකු මැරීමේ අදහසින් එම සතාට ගලකින් ගසනවා. දෙවියන් එයට කැමැති නෑ. එනිසා ඔබ උත්සහ ගත්තත් එය සිදු වෙන්න ඉඩ දෙන්නෙ නෑ. තව උදාහරනයක්:- යම් කිසි රටක් අදහස් කරනවා තම බලය භාවිතා කරල ලෝකයම විනාශ කරන්නට. ඔවුන්ට එයට හැකියාව තිබෙන්න පුළුවන්. නමුත් අල්ලාහ් එයට ඉඩ දෙන්නේ නෑ. එම රටේ පාලකයන්ට අල්ලාහ්ගේ ඉදිරි සැලසුම් වලට හානියක් වන ලෙස කටයුතු කරන්නට ඉඩ දෙන්න බෑ. මේ උදාහරණය බලන්න:- අල්ලාහ් පවසා තිබෙනවා ලෝක විනාශයට පෙර ජේසු තුමා (ඊසා අලෙහිස්සලාම්) නැවත ලෝකයට එන බව. එසේ නම් ලෝකයේ සිටින කුමන බලවතෙක් ලෝකය විනාශ කරන්න උත්සහ ගත්තත් අල්ලාහ්ගේ පොරොන්දුව මත ඊසා අලෙහිස්සලාම් එනතෙක් ලෝකය විනාශ වෙන්න නොදී අල්ලාහ් එය ආරක්ශා කළ යුතුයි. අල්ලාහ් කල් තියාම දන්නවා එම රටේ උදවිය ලෝක විනාශ කරන්න සැලසුම් කරන බව. එයත් අල්ලාහ් ලව්හූල් මහ්ෆූල් ඵලකයෙහි සටහන් කරනවා. එසේම එය අල්ලාහ් විසින් වලක්වන බවත් එහිම සටහන් කරනවා. මේ සටහන ලියැවෙන්නේ අල්ලාහ් මිනිසාව නිර්මාණය කරන්නත් කලින්මය. ඒ සියල්ල දැනගෙනයි නිර්මාණය ආරම්භ කරන්නෙ.

5 :- අල්ලාහ් තම නිර්මාණ ඔහුට කැමති ආකාරවලට කරන බව විශ්වාස කිරීම:- එම නිර්මාණ ඍජු ආකාර වලින් හෝ වක්‍ර ආකාර වලින්, එසේත් නැතිනම් වෙනම ආකාරවලින් නිර්මාණය කරයි. තම නිර්මාණ කෙසේ කරන්නේද, කුමණ හැඩයෙන් කරන්නේද, කොපමණ ප්‍රමාණයන්ගෙන් සහ කවදා නිර්මාණය කරන්නේද යන සියල්ල අල්ලාහ් ගේ කැමැත්ත මත සිදුවන්නේය. උදාහරණයකට මිනිසාගේ නිර්මාණය ගෙන බලමු.

  1. අල්ලාහ් පළමු මිනිසා වන ආදම් (අ.ස) ගේ ශරීරය පෘතිවියෙහි ඇති පස ඍජුව භාවිතා කර එයට ජලය මිශ්‍ර කර එමගින් සැකසූ මැටි වලින් නිර්මාණය කරන ලදී. 
  2. ඔහුගේ බිරිද වන හව්වා (අ.ස)ව ආදම්ගේ ශරීරයෙන් ගත් එක් ඉල ඇටයකින් මැවීමක් ලෙස නිර්මාණය කරන ලදී. 
  3. ජේසු තුමා හෙවත් ඊසා (අ.ස), මරියම් (අ.ස) නැමති කාන්තාව පමණක් භාවිතා කරමින් උත්පාදනය කරන ලදී. 
  4. ඔබ සහ මම ඇතුළු අපිව මවක් සහ පියෙක් යන දෙදෙනෙකුගේ එක් වීමකින් එහි ප්‍රතිඵලයක් ලෙස උත්පාදනය කරන ලදී.

මේ ආකාරයටම අල්ලාහ් අපේ ක්‍රියාවන්ද වක්‍ර ආකාර වලින් නිර්මාණය කරයි. අල්ලාහ් තමයි සියල්ලෙහි නිර්මාතෘ. අපිට කිසිවක් නිර්මාණය කිරීමට නොහැක.

6 :- තම සිතුවිලිවල තම හොඳ තත්වය පදනම්ව අල්ලාහ්ගේ දයාව මත ඔහුට එහි ඍජු මාර්ගයේ යාමට මඟ පෙන්වීම සහ, තම සිතුවිලිවල නරක තත්වය මත අල්ලාහ් විසින් ඔහුට එම මාර්ගයේම යාමට මඟ පෙන්වීම සිදුවන බව විශ්වාස කිරීම:- මිනිසා මේ ලෝකය තුල කොතරම් දුරට අල්ලාහ්ව විශ්වාස කරගෙන කොතරම් දුරට කුසල් ලැබෙන කටයුතු වල නියැලුනත් එම කුසල් ප්‍රමාණය අවසානයේ ස්වර්ගයට ඇතුළු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව නබි ﷺ තුමානන් පවසා ඇත. කොටින්ම එතුමාට පවා. නමුත් අල්ලාහ්ගේ දයාව මතම යහපත් විශ්වාසවන්තයින්ව තම තරාතිරම් මත ස්වර්ගයට ඇතුළු කරන බවද පවසා ඇත.

සමහරුන්ව වැරදි මාර්ගයේම යාමට ඉඩ හරින්නේ අල්ලාහ් ඔහු පිළිබඳව සියල්ල දන්නා නිසයි. එනම් එම පුද්ගලයා තම කැමැත්තෙන් කිසි විටකත් සත්‍යය වෙත පියවර තැබීමට කැමතිම වන්නේ නැති තරමට හිත ගල් කර ගත් අයයි. 

එම නිසා අල්ලාහ්ගේ දයාව අපේක්ෂා කිරීම සියළුම මුස්ලිම් වරුන්ගේ යුතුකමකි. අල්ලාහ්ව ප්‍රතික්ශේප කරමින් සිටින අය හැකි ඉක්මනින් එයින් මිදී අල්ලාහ්ගේ මාර්ගයේ උත්සහ ගැනීමට කටයුතු කල යුතුයි. මිනිසා කොතරම් පාපකර්ම කර තිබුනත් ඔහු ඔහුගේ ජීවිත කාලය තුල පසු තැවී අල්ලාහ් වෙත හැරෙන්නේ නම් අල්ලාහ් කැමති ආකාරයට ඔහුට උපරිම සමාව දීමට පවා බලා සිටින බව අල්ලාහ්ම පවසා ඇත.

මෙතරම්ම ශ්‍රේෂ්ඨ අල්ලාහ්ව තව දුරටත් ප්‍රතික්ෂේප කරන්නන්ට නිරය සූදානම් කර ඇති බවද පවසා ඇත. තවද, ඔවුන් එහි සදාකල් සිටිනු ඇත.

කදර් & කදා කෙරෙහි විශ්වාස කිරීමෙන් ඇතිවන ප්‍රතිලාභ කිහිපයක්.

  1. තව්හීද් හෙවත් අල්ලාහ්ගේ ඒකීය භාවය පිළිබඳව මනා අවභෝදයක් ලැබීම. 
  2. ඊමානය හෙවත් තම ආගමික නැඹුරුතාවයේ ස්වභාවය වර්ධනය වීම. 
  3. අල්ලාහ් සුභානවතාලා කෙරෙහි ඇති විශ්වාසය තවත් වර්ධනය වීම. 
  4. අල්ලාහ් කෙරෙහි භිය භක්තිය සහ ඇත්තටම භිය වර්ධනය වී ඔහුට සමීප වීමට තවත් උත්සහ ගැනීමට පෙළඹීම. 
  5. අල්ල්හ්හ් කෙරෙහි තම හද තුල ආදරය තව තවත් වර්ධනය වීම. 
  6. තමා තුල ඉවසීම නම් ගුණාංගය ප්‍රගුණ වීම. 
  7. කුමණ තත්වයකට මුහුණ දුන්නත් තම දැඩි විශ්වාසය, කැපවීම අදිය නිසා අවසානයේ දී වඩාත්ම හොඳම දෙයක් වනු ඇතැයි සිතීමට යොමු වීම.
  8. ඊර්ෂ්‍යාව තම හද තුලින් අඩු වී යාම.

by sjw


මේ පිළිබඳව ඔබේ අදහස් අපට ලියන්න